රට ලබන 14 වැනිදා විවෘත කරන්නේ රටේ බරපතළ තත්වයක් ඇති නොවන බවට සෞඛ්‍ය විශේෂඥයන් තහවුරු කළහොත් පමණකැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන් සමඟ ඉදිරියේදී පුළුල්ව සාකච්ඡා කරන බව පැවැසු යුද හමුදාපතිවරයා, රට විවෘත කිරීමට පෙර කොවිඩ් ව්‍යාප්තිය ගැන පුළුල් විද්‍යාත්මක විශ්ලේෂණයක් කළ යුතු වන බවද සඳහන් කළේය.
දැනට පවතින නිර්දේශවලට අනුව සංචරණ සීමා ලිහිල් කිරිමට නියමිතව ඇත්තේ ලබන 14 වැනිදාය. මේ අතර, පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වාවත් දීර්ඝ කළ යුතු බව වෛද්‍ය විශේෂඥයන් රැසක් රජයට දැනටමත් කරුණු පෙන්වා දී ඇත.
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කෙරුණු දිවයිනේ දිස්ත්‍රික්ක 11ක ග්‍රාම නිලධාරි වසම් 189 කින් වසම් 77ක් හුදෙකලා භාවයෙන් පසුගිය 7 වනදා සිට නිදහස් කෙරිණි. හුදෙකලා භාවයෙන් මෙසේ නිදහස් කෙරුණද එම ප්‍රදේශවල සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ්19 පැතිරීම පාලනය කිරිමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. කොවිඩ් 19 තෙවැනි රැල්ල ආරම්භ වීමෙන් පසුව රටපුරය සංචරණ සීමා පනවනු ලැබූවේ පසුගිය 21 වැනිදා සිටය. රටපුරා සංචරණ සීමා පැනවුවද අත්‍යවශ්‍ය සේවා කටයුතු එම කාලය පුරා දිගටම ක්‍රියාත්මක කෙරේ.
සංචරණ සීමා පැනවීමේ නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් අවම වශයෙන් තවත් මාසයක පමණ කාලයක් මෙම සීමා ක්‍රියාත්මක වියයුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා. ආර්ථික වශයෙන් කෙතරම් හානියක් සිදු වුවත තවත් මාසයක් පමණ හෝ සීමා ක්‍රියාත්මක නොවුවහොත් ඉන් ඇතිවන ප්‍රතිඵල භයානක විය හැකි බවයි එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ.
මාධ්‍ය හමුවකදී වෛද්‍යවරිය සඳහන් කළේ සංචරණ සීමා ක්‍රියාත්මකව පවතිද්දී සාමාන්‍ය ජනතාවගේ හැසිරීම සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවයි. ඇතැම් පුද්ගලයන් වගකීම් විරහිතව කටයුතු කරන බව පෙන්වා දෙන ඇය පවසන්නේ සංචරණ සීමා පැනවීමේ නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් ජනතාවගේ සහාය අනිවාර්ය වන බවයි.
තවමත් දෛනිකව ආසාදිතයන් 3000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන නමුත් වාර්තාවලට හසු නොවන 10,000 ක් පමණ සමාජයේ සිටිය හැකි බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ. ඒ අනුව ඉදිරියේදී ඇතැම් විට දෛනික ආසාදිතයන් ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවත්, තවත් සති තුනක් – හතරක් යනතෙක් දෛනික ආසාදිතයන් ප්‍රමාණ පහත නොබසිනු ඇති බවත් එම සංගමය අවධාරණය කරනවා.
