ශ්‍රී ලංකා රේගුව විමර්ශනයට ලක්කරමින් සිටින කාබනික පොහොර තොගය ආනයනය සඳහා සිය දෙපාර්තමේන්තුව බලපත්‍රයක් ලබාදී නැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් පැවසීය. ඔහු ඒ බව පැවසුවේ දැනට රේගුව භාරයේ තිබෙන කන්ටේනර් තුනක අඩංගු කාබනික පොහොර සම්බන්ධයෙන් බලපත්‍රයක් ලබාදී ඇත්ද යන්න පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති බවට රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා ලබාදුන් පිළිතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
ආචාර්ය වීරකෝන් මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම පොහොර තොගයේ සාම්පල් පවා පරික්ෂා කිරීමට නිල වශයෙන් සිය ආයතනයට ලැබී නොමැති බවය.
එමෙන්ම ඔහු අවධාරණය කළේ ශාක නිරෝධායන පනත අනුව කාබනික පොහොර ආනයනය තහනම් බැවින් මෙතෙක් ඒ සඳහා කිසිදු ආනයන බලපත්‍රයක් නිකුත් කර නැති බවය.
මේ වනවිට කොළඹ තොටළඟ පිහිටි ග්‍රේලයින් කන්ටේනර් අංගණය තුළ කාබනික පොහොර අඩංගු ප්‍රශ්නගත කන්ටේනර් තුන රඳවා තිබෙන අතර එම කන්ටේනර් විවෘත කර පරීක්ෂා කිරීමෙන් පසු ඒ පිළිබඳ වාර්තාවක් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යොමු කර තිබේ.
මෙම කන්ටේනර් තුනේ අඩංගු කාබනික පොහොර යැයි සඳහන් ද්‍රව්‍ය ආනයනය කර ඇත්තේ යැයි රේගු ලියැවිල්ලේ සඳහන් වන්නේ කොළඹ 12, පරණ යොන් වීදියේ අංක 333 1/16 ලිපිනය සඳහන් ටායියන් ඕගනික් ෆර්ටිලයිසර් ප්‍රයිවට් ලිමිටඩ් නැමැති ආයතනයකි.
ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ මෙම භාණ්ඩ ගෙන්වීම සඳහා භාවිත කර ඇති භාණ්ඩ වර්ගීකරණ අංකයද වැරදි බවත්, ආනයනකරුගේ ලිපිනයද සැක සහිත බවත්ය.
මෙම ද්‍රව්‍ය ඕගනික් ෆර්ටිලයිසර් ප්‍රොඩක්ට්ස් යනුවෙන් රේගු ලියැවිල්ලේ සඳහන් වන අතර ඒවා පැමිණ ඇත්තේ තමිල්නාඩුවේ මදුරෙයි සිටය. ගෙනැවිත් ඇති ද්‍රව්‍යවල ශුද්ධ බර කිලෝ 77,881.41කි.
