සමාජ මාධ්‍ය විරෝධය.

සමාජ මාධ්‍ය ජාලාවන්හි අසත්‍ය පුවත් පළකරන පුද්ගලයන් සෙවීම සදහා රහස් පොලිස් කණ්ඩායමක් පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේම මන්ත්‍රීවරයකු වන මහාචාර්ය චරිත හේරත් මහතා අප්‍රසාදයෙන් යුතුව අදහස් පළ ‌කොට තිබේ.

මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති කෝප් කමිටුවේ සභාපතිවරයාද වන චරිත හේරත් මහතා එවැනි තීන්දුවක් ආණ්ඩුවේ සෞඛ්‍යයට එතරම් හිතකර නොවනු ඇති බව සදහන් කොට ඇත.

එවැන්නක් ජාත්‍යන්තර අනුමැතිය සහිත තොරතුරුවල නිරවද්‍යතාව සෙවීමේ ආයතන සමග එක්ව සිදු කළ යුතු එකක් බවත්, ඉන්දියාව මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ඉතා වැදගත් බවත් ඒ මහතා සදහන් කොට ඇත.

වට්ස්ඇප් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ බව කියමින් ඊයේ අත්අඩංගුවට ගත් රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් තරුණයා අද දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

මෙම තරුණයා ඊයේ රහස් පොලිසියේ යැයි කියා ගන්නා පිරිසක් පැමිණ චෝදනා පැහැදිලි කර දීමකින් තොරව රැගෙන ගොස් තිබිණි.

ඊයේ කියා තිබුණේ ඔහු වට්ස්ඇප් සම්බන්ධයෙන් පළ කළ නිවේදනයක් ගැන මෙම විමර්ශනය යන බවයි. කෙසේ වෙතත් ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය දැනුම් දුන්නේ ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට මෙම තරුණයා ව්‍යාජ නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

තරුණයා වෙනුවෙන් නීතීඥ ඩිලාන් නාලක, සංජය ආරියදාස, මිගාර ඩොස් සමඟ තිෂ්‍ය වේරගොඩ යන මහත්වරු පෙනී සිටියහ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මීට පෙර ප්‍රකාශයක් ලබා ගෙන එය අවසන් කළ බවත්, ඊයේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වට්ස්ඇප් සම්බන්ධයෙන් නිවේදනයකට බව කියමින් බවත් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා ප්‍රකාශ කළේය.

මෙවැනි නිවේදනයක් පළ කිරීමට ඇති අයිතිය කුමක්දැයි මහේස්ත්‍රාත්වරිය විමසීමක් කළ අතර නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා ප්‍රකාශ කළේ තරුණයා පුරවැසියෙක් වීමම ප්‍රමාණවත් බවයි.

මෙය භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය සීමා කිරීමක් බවත් දීර්ඝ කරුණු දැක්වීමක් කරමින් නීතීඥවරයා පැහැදිලි කළේය. මෙම නඩුව ඇසීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් නැති බව ද නීතිඥවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙම නඩුව යොමු කළ යුත්තේ තමාට නොව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට බැවින් හෙට මෙම තරුණයා ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Leave a Reply