රට ආරක්‍ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙන බව වේදනාවෙන් වුවත් ප්‍රකාශ කරන්නට සිදුව ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
වත්මන් රජය ගැන ජනතාවගේ සිත් තුළ ගොඩනැගී තිබූ සියලු බලාපොරොත්තු සුණු විසුණු වී ගොස් රට තුළ ඉතා අවිනිශ්චිත පරිසරයක් ඇතිවෙමින් තිබෙන බවයි කාදිනල් හිමියන් පැවසුවේ.
‘යහපාලනය’, ‘සෞභාග්‍යයේ දැක්ම’ ආදී කුමන තේමාවකින් බලයට පැමිණියත් ඒ රජයන් කර ඇත්තේ පාවාදීම් පමණක් බව කී කාදිනල් හිමිපාණන් දැන්වත් මේ ගමන නැවැත්විය යුතුව ඇතැයි ද කියා සිටියා.
බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කර සිටියා.
වර්තමානයේ රට පවතින තත්වය සම්බන්ධයෙන් කණගාටු වන බවත් රට ගමන් කරන්නේ කුමන දිශාවකටද, රටේ තීන්දු තීරණ ගන්නේ සහ පාලනය කරන්නේ කවුද යන්න ගැන ගැටලුවක් මතුව තිබෙන බවයි කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ.
තිබෙන සම්පත් විකුණාදැමීම පහසු නමුත් දියුණුව යනු රටේ සම්පත් සියල්ල විකුණා දැමීම නොවන බවත්, මේ අවස්ථාවේ රටේ භූමිය වෙනත් රටවලට පූජා කරන්නට එපා යැයි රජයෙන් ඉල්ලා සිටින බව ද කාදිනල් හිමියන් මෙහිදී කියා සිටියා.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එදා දැඩි විරෝධය දැක්වූ කණ්ඩායම දැන් බලයට පැමිණ ඊටත් වඩා දරුණු ලෙස කටයුතු කරමින් සිටින බව කී කොළඹ අගරදගුරුතුමෝ රට තුළ ඒකාධිපතිවාදයකට හෝ බොරු කියා ගේම් ගසන ආකාරයේ වාදයකට ඉඩදිය නොහැකි බව සඳහන් කර සිටියා.
ආණ්ඩුවක් තීරණ ගත යුත්තේ ධනවතුන්, බලවතුන් හෝ විදේශ රටවල් පැත්තේ සිට නොව ජනතාව ගැන සිතා බවත්, දැහැමි ප්‍රතිපත්තිගරුක, විනිවිද පෙනෙන පාලනයක් වෙනුවට ටිකෙන් ටික රට බිලිගන්නා මෙම දූෂිත පාලන ක්‍රමයෙන් රට විනාශ වනු ඇතැයි ද සඳහන් කර සිටියා.
