ආසන්න දින දෙකකදී වාර්තා වූ ඌරුජුවා සහ කොස්ගොඩ තාරක යන සැකකරුවන් දෙදෙනා ඝාතනය වීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ එම මරණවල අධිකරණමය නොවන ඝාතනවල පවතින සියලු ලක්ෂණ පවතින බවය.
පුද්ගලයන්ගේ ස්වභාවය සහ ඒ ඒ පුද්ගලයින්ට එරෙහි චෝදනාවල ස්වභාවය නොසලකා තමන් භාරයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට පොලීසියට මෙන්ම රජයට ද අත්හළ නොහැකි වගකීමක් පැවරී ඇති බවද නීතීඥ සංගමය පෙන්වාදෙයි.
අත්අඩංගුවේ සිටින නිරායුධ සැකකරුවන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලීසිය අවස්ථා ගණනාවකදී අපොහොසත් වී ඇති බවත් එම සිදුවීම පිළිබඳව බැරූරුම් ලෙස අවධානය යොමු කර එවැනි සිදුවීම් වළක්වාගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
