ජගත් මිහිතල දිනය අද.

ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර ජගත් මිහිතල දිනයේ  තේමාව වන්නේ පෘථිවිය යථා තත්ත්වයට පත් කරමු (Restore our Earth) යන්නයි. 

මෙහිදී අපේ සමස්ත පෘථිවි තලයටම බරපතළ හානියක් කරන ප්ලාස්ටික් හා පොලිතින්වලින් මිහිතලය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව අවධානය යොමු වී තිබේ.

මිහිතල දිනය, සෑම වසරක ම අප්‍රේල් 22 වැනිදා ලොව පුරා සියලු රටවල සැමරෙන වැදගත් දිනයක්. මෙවර එය සැමරෙන්නේ 51 වන වතාවටයි. 

මුළු ලෝකය ම වසංගත තත්ත්වයකට ගොදුරු වෙලා ඉන්න මේ වසරේ, ලෝක මිහිතල දිනය වෙනදාට වඩා විශේෂත්වයක් උසුලනවා.

මේ කාලේ සමස්තයක් විදිහට මිනිස් ප්‍රජාව අන් කවදාටත් වඩා පෘථිවිය ගැන හිතමින් ඉන්න කාලයක් වීම තමයි ඊට හේතුව.කොරෝනා වසංගතය අපට අප වෙසෙන ලෝකය ගැන නැවත වරක් හිතා බලන්නට අවකාශය සලසා දුන්නා. සෑම පුද්ගලයෙක් ම අන් අය කෙරෙහි වගේ ම, තමා අවට පරිසරය කෙරෙහිත් දැන් දැන් වෙනදාට වඩා සංවේදී වෙමින් ඉන්නවා. මිනිසුන් විසින් අපවිත්‍ර කරන ලද, විනාශ කරන ලද පෘථිවිය දැන් ටිකෙන් ටික සුවය ලබමින් ඉන්න ආකාරය,

පළමු වතාවට මිහිතල දිනය සැමරුණේ 1970 වර්ෂයේදී. ඒ අනුව 2021 මේ අවුරුද්දේ සැමරෙන්නේ 51 වැනි මිහිතල දිනයයි. මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමට පුරෝගාමී වූයේ ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ සෙනෙට් සභික ගේලෝඩ් නෙල්සන්. එකල වියට්නාම යුද්ධයට එරෙහිව මිනිසුන් හඬ නඟමින් සිටියද, යුද්ධයෙන් සිදු වන පරිසර විනාශය ගැන කිසිවෙකුත් අවධානය යොමු නොකරන බව දුටු ඔහු, තෙල් වැගිරීම්, කෘමිනාශක, දුමාරය වැනි දෙයින් පෘථිවියට බලපෑම් ඇති වන ආකාරය මහජන අවධානයට ලක් කළා. ඒ අනුව ප්‍රථම වතාවට 1970 දී සැමරූ මිහිතල දිනයට ඇමරිකානුවන් මිලියන 20ක් සහභාගි වූ බව කියැවෙනවා.

මිහිතල දිනය වශයෙන් අප්‍රේල් 22 යොදාගෙන ඇත්තේ ගේලෝඩ් නෙල්සන් සහ හාවඩ් විශ්වවිද්‍යාලයේ දේශපාලනිකව ක්‍රියාකාරී සරසවි සිසුවෙකු වූ ඩෙනිස් හේස් විසින් හිතාමතා. ඊට හේතුව මේ දිනය සරසවි සිසුන්ගේ වසන්ත නිවාඩුව සහ අවසාන විභාග අතර යෙදෙන දිනයක් වීම. සරසවි සිසුන් වියට්නාම යුද්ධයට එරෙහිව බෙහෙවින් දේශපාලනිකව ක්‍රියාකාරී වූ පිරිසක් නිසා, ඔවුන්ගේ වැඩි අවධානය මිහිතල දිනය දෙසට යොමු කරවාගැනීමයි මෙහි අරමුණ වී ඇත්තේ. පසුව මිහිතල දිනය ජාත්‍යන්තරයට ගෙන යෑමටත්, මිහිතල දින ජාලය ඇරඹීමටත් මූලිකත්වය ගත්තේ ද ඩෙනිස් හේස්.

මිහිතල දිනය යනු ඇමරිකාවේ ආරම්භ වූවත් පසුව ලොව දසත ව්‍යාප්ත වුණු සංකල්පයක්. 1990 වන විට ලොව රටවල් 141ක පුද්ගලයන් මිලියන 200ක පිරිසකගේ සහභාගිත්වයෙන් සැමරෙන දිනයක් බවට ලෝක මිහිතල දිනය පත් වුණා. 2000 වසර වන විට ලෝකයේ පරිසර සංවිධාන 5000ක දායකත්වයෙන් රටවල් 184ක ලෝක මිහිතල දිනය සැමරුණා. එතෙක් Earth Day නම් වුණු මේ දිනය 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහ සභාව විසින් International Mother Earth Day නමින් නම් කෙරුණා.

2016 සිට හැම වසරක ම ලෝක මිහිතල දිනයට ඊට ම වෙන් වූ තේමාවක් ලැබෙනවා. 2016 වසරේ එහි තේමාව වුණේ ‘මිහිතලය වෙනුවෙන් ශාක’ යන්නයි. 2017 වසරේ ‘පාරිසරික සහ කාලගුණික සාක්ෂරතාව’ යන තේමාව ගත් මිහිතල දිනය, 2018 දී ‘ප්ලාස්ටික්වලින් සිදු වන දූෂණය නවතමු’ යන්න තේමාව කොට ගත්තා. 2019 වසරේ මිහිතල දින තේමාව වුණේ ‘අපගේ ජීවී විශේෂයන් සුරකිමු’ යන්නයි. මේ වසරේ, එනම් 2020 දී ‘කාලගුණික විපර්යාස වෙනුවෙන් ගත යුතු පියවර’ යන්න එහි තේමාව වුණා.

සෑම වර්ෂයක ම මිහිතල දිනය සැමරීමට ලොව විවිධ රටවල් එක් එක් ක්‍රියාකාරකම්වල නිරත වෙනවා. කාබන්ඩයොක්සයිඩ් වායු දූෂණය පිටුදැකීම සහ ඉන්ධන පිරිමැස්ම අරමුණු කරගනිමින්, 2012 වසරේ මිහිතල දිනයේ දී චීනයේ පුද්ගලයින් ලක්ෂයකට වඩා පිරිසක්, වාහන භාවිතයෙන් තොරව බයිසිකල් පදිමින් ලොවට ම මනා ආදර්ශයක් සැපයුවා. මිහිතල දින ජාලය මඟින් 2011 වසරේ මිහිතල දිනය සමරමින් ඇෆ්ගනිස්තානයේ පැල මිලියන 28ක් රෝපණය කිරීමේ වැඩසටහනක් පැවැත්වූවා. එසේ ම, පැනමාවේ වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ ඕකිඩ් වර්ග 100ක් අලුතින් රෝපණය කර නඩත්තු කිරීමට කටයුතු කරනු ලැබුවා.

Leave a Reply