පවරා ඇති බලතල ෆෙඩරල් පාලන අධිකාරියකට වඩා බලවත්.

කොළඹ වරාය ඇසුරෙන් කෘතිම ලෙස ඉදි කළ මේ “කොළඹ වරාය නගරය” යැයි වන භූමි ප්‍රදේශය ශ්‍රී ලාංකීය රාජ්‍යයේ අනෙක් ඕනෑම භූමි ප්‍රදේශයකින් නෛතික වශයෙන් වෙන් නොවිය යුතු නමුත් ගැසට් කරනු ලැබූ පනත් කොටුම්පතෙහි සඳහන් එවැනි සියලු බලතල එක ගොනුවකට ගත් කළ, එය වෙනම කුඩා රාජ්‍යයක් බඳුය. එහි යාමට විදෙස් සංචාරකයින්ට මෙන් ශ්‍රී ලාංකිකයින්ටද හේතු දක්වමින් විශේෂ අවසරයක් ලබා ගැනීමට සිදුවනු ඇත.

මෙම පනත් කෙටුම්පතට අනුව යෝජිත කොමිසමට අදාළ භූමියේ අයිතිය ජනාධිපතිවරයා විසින් පිරිනැමීමට නියමිත අතර එය ස්ථිර හා සදාකාලික පැවරීමක් වනු ඇත.එතුළින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලතල ද මෙම භූමියට අදාළව පාර්ලිමේන්තුව විසින් අත් හැර යෝජිත කොමිසමට පවරනු ඇත. 

එම භූමියට අදාළ බදු හෝ වෙනත් රජයේ ආදායම් ශ්‍රීලංකාවේ ඒකාබද්ධ අරමුදලට බැරවීම මෙම කෙටුම්පත තුළින් බැහැර කර ඇත.  

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායක ඇන්ටන් මාකස් මහතා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත මේ පිළිබඳව විශේෂ ලිපියක් යොමුකර තිබේ.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසමේ ගැසට් පත්‍රය පිළිබඳව මහජන අදහස් විමසීමට තුන් මසක කාලයක් ලබාදීම පිළිබඳ ඉල්ලීම.

කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපය සඳහා නියාමන කළමනාකරණ කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාලව 2021 මාර්තු 19 දිනැති “කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව” යනුවෙන් ප්‍රකාශිත ගැසට් පත්‍රය සහ ඒ හා බැඳුනු කැබිනට් තීන්දුව පිළිබඳව වගකිවයුතු වෘත්තීය සමිතියක් වන අප බරපතල ලෙස කණස්සලුව ඇති බව දන්වනු කැමැත්තෙමු. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් වන මෙම ආණ්ඩුව නිතර පොරොන්දු වන “එක රටක් – එක නීතියක්” යන්න නොසලකා හරිමින් “රටේ නීතිය” බරපතල ලෙස අතහැර දමන සහ ඉන් නිදහස් කෙරෙන බව මෙයින් හෙළිවේ. 

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සඳහා ගැසට් කරන ලද පනත් කෙටුම්පත මඟින් එවන් කලාපයක් තුළ සිට සහ කලාපය සමඟ ව්‍යාපාර සහ වෙනත් කටයුතු කරගෙන යාම සඳහා ලියාපදිංචි කිරීම්, බලපත්‍ර, අවසර සහ වෙනත් අනුමැති ලබාදීමේ පූර්ණ බලය යෝජිත කොමිෂන් සභාවට ලබා දී ඇත. එමඟින් අලුතින් නිර්මාණය කරන ලද කොළඹ වරාය නගරයේ භූගෝලීය ප්‍රදේශය තුළ සුවිශේෂී බලයක් මෙම කොමිෂන් සභාවට ලබා දෙන අතරම, මෙම විශේෂ ආර්ථික කලාපයට පහත දැක්වෙන නීති පනත් හත (07) බල නොපාන බවද ගැසට් පත්‍රයේ දක්වා ඇත

නාගරික සංවර්ධන අධිකාරි පනත 

මහ නගර සභා ආඥා පනත (252 වන පරිච්ඡේදය) 

ශ්‍රී ලංකා වාණිජ සමථකරණ මධ්‍යස්ථාන පනත 

නගර සහ ග්‍රාම නිර්මාණ ආඥා පනත (269 වන පරිච්ඡේදය) 

ක්‍රමෝපායන සංවර්ධන ව්‍යාපෘති පනත 

පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත සහ 

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය.

විශේෂ ආර්ථික කලාපය තුළ ගනුදෙනු සඳහා අවසර දී ඇති ප්‍රධාන මුදල් ඒකකද විමතියට හේතුවන සාධකයකි. කෙටුම්පත් පනතේ දක්වා ඇති සියල්ලට අනුව එක්සත් ජනපද “ඩොලරය” ප්‍රධාන වූ සහ අනෙක් විදේශ මුදල් ඒකක මත ගනුදෙනු කෙරෙන්නේය. ඉතා දැඩි කොන්දේසි යටතේ ශ්‍රී ලංකාවේ රුපියල භාවිතා කිරීමට අවසර ලබාදී ඇති බවත් ඉන් පෙන්නුම් කරයි.

ආදායම, අගය එකතු කිරීම, සුරාබදු, රේගු සහ හර බදු සහ වරාය, ගුවන්තොටුපල සහ අපනයන සංවර්ධන බදු වැනි දෙවන උපලේඛනයේ ලැයිස්තුගත කර ඇති පනත් දහහතරකින් (14) ව්‍යාපාර අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් නිදහස් කිරීමට මෙම කොමිෂන් සභාවට බලය ඇත. තවද, මෙහි දැක්වෙන ආකාරයට කොමිෂන් සභාවට අවශ්‍ය විටෙක කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත මෙන්ම “1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත” බලපාත්මක කිරීමෙන් නිදහස් කළ හැකිය.

“කලාපය තුළ” පමණක් යැයි තීරණය කරන ලද ව්‍යාපාර සඳහාවන සහන සහ වරප්‍රසාද කොමිෂන් සභාව නීත්‍යානුකූලව ස්ථාපිත කළ දින සිට වසර 05 ක කාලයක් ඇතුළත රටේ ඕනෑම ප්‍රදේශයකට අදාල කළ හැකි බව 64 (1) වගන්තියේ සඳහන් වේ.

කොළඹ වරාය නගර කොමිෂන් සභාව පනතේ 64 (1) වගන්තියේ සඳහන් විශේෂ හිමිකම් සහ නිදහස නීතියක් ලෙස සම්මත වුවහොත්; එය මූලික අයිතිවාසිකම් සහතික කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තියට පටහැනි විය හැකි අතර පෞද්ගලික අංශයේ සියලුම හෝ බොහෝ සේවකයින්ගේ තත්ත්වය, අයිතිවාසිකම් සහ වරප්‍රසාද කෙරෙහි එය අහිතකර ලෙස බලපැවැත්වීමට ඉඩ ඇත. තවද, කම්කරු නීති නිදහස් කිරීමට හෝ සංශෝධනය කිරීමට කොමිෂන් සභාවට ලබා දෙන බලය සමග මෙය බරපතල නීතිමය විධිවිධානයක් වන අතර, එය රට තුළ නීති කට්ටල් දෙකක් තහවුරුවීමට අනිවාර්යයෙන්ම හේතු විය හැක.

මීට වසර 40 ට පමණ පෙර මහා කොළඹ ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නිදහස් වෙළඳ කලාප පිහිටුවීමට නියමිතව තිබියදීද මෙවන් උත්සාහයක් තිබුණි. වෘත්තීය සමිති මැදිහත්වීම් තුළින්, එවකට පැවති ජනාධිපති ජයවර්ධන ආණ්ඩුව විසින් මහා කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතේ එවැනි කම්කරු විරෝධී විධිවිධාන පැනවීම වළක්වාලනු ලැබුණේ  රට තුළ වෙනස් නීති මාලාවක් තිබිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළ බැවින් ඒ අනුව මහා කොළඹ ආර්ථික කොමිෂන් සභා පනත සංශෝධනය කරන්නට සිදු වූයෙනි. 

කොළඹ වරාය නගරය කොමිෂන් සභාව වෙත පවරා ඇති මෙවැනි සියලු බලතල ෆෙඩරල් රාජ්‍යයක් තුළ ෆෙඩරල් පාලන අධිකාරියකට වඩා බලවත් යැයි කෙනෙකුට කියැවිය හැක.

එබැවින් ගැසට් පත්‍රයේ පළකළ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සඳහාවන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමද ඇතුළුව සියලු ඉදිරි පියවර තාවකාලිකව නවත්වන ලෙසත් වෘත්තීය සමිති, වෘත්තිකයින්ගේ සංවිධාන සහ සමාජ සංවිධානවලට අදාල කෙටුම්පත සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමට සහ නිසි නියෝජනයක් ආණ්ඩුවට ලබා දීමට අවම වශයෙන් මාස 03 ක කාලයක් ලබා දෙන ලෙස අප ඔබගේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නෙමු. අප විශ්වාස කරන අයුරු එය ජනතාව සතු අයිතියකි. යනුවෙන් ලිපිය අවසන් කර ඇත.

මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ ගැටෙන පනතක් බැවින් ඉදිරියේදී මේ පිළිබඳව ජනතාව අතර පුළුල් සංවාදයක් ඇති කල යුතු බවත් දීර්ඝ කාලීනව රටට අයහපතක් තත්ත්වයක් උදාවීම වැලැක්වීම සඳහා කටයුතු කිරීම ජනතාවගේ වගකීමකි.

Leave a Reply