යාපනයේ පාලනය.

යාපනය නගරයේ පිරිසිදුබව  ආරක්ෂා කරගැනීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් නගර සභා ආරක්ෂණ පොලිස් බලකායක් ආරම්භ කල බවට යාපනය නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පවසා සිටියි.

මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී  විමසීමක් කරන ලදී.ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා පැවසුවේ ආරක්‍ෂක කටයුතු පිලිබඳ උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳව විමසිය හැකි බවයි.

ඒ අවස්ථාවේදී නැගී සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ යාපනය නගරාධිපතිවරයා ඩග්ලස් දේවානන්ද මහතාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී සංවිධානය නියෝජනය කරන්නෙක් බවය.

ඩග්ලස් දේවානන්ද මහතාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී සංවිධානය වත්මන් ආණ්ඩුවේ සන්ධානගත පාර්ශවයක් වන අතර දේවානන්ද මහතා වත්මන් ආණ්ඩුවේ ධීවර අමාත්‍ය ධුරයද දරයි.

කෙසේ වෙතත් අදාළ මහනගර සභා පොලිස් ඒකකය පිහිටුවීම සම්බන්ධයෙන් සහ අදාළ ඒකකයේ කාර්යභාරය පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නගරසභා නිලධාරීන්ට යාපනය පොලීසියට පැමිණෙන ලෙසටද දැනුම් දී ඇත.

එමෙන්ම පස් දෙනෙකුගෙන් යුත් නගරසභා පොලිස් ඒකකයේ නිලඇඳුම යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් පොලිස් නිලධාරීන් විසින් භාවිතා කරන ලද නිල ඇඳුමට සමාන කමක් ඇති බවටද යාපනයේ ජනතාව පවසයි.

අදාල පොලිස් ඒකකය පිහිටුවීම සම්බන්ධයෙන් යාපනය  නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පවසා සිටියේ යාපනය නගරයේ ප්‍රධාන වීදි අපවිත්‍ර කරන්නන්ට එරෙහිව නීතිමය පියවර සහ දඩ මුදලක්ද නියම කිරීමට සූදානමක් ඇති බවයි.

එහිදී මාර්ගයේ බුලත් විට කෙල ගසන්නන්, විවිධ අයුරින් මාර්ගයන් අපවිත්‍ර කරන්නන් ,සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හා පොදු ස්ථානවල අනවසරයෙන් වාහන නැවත්වීම් වැනි කරුණු වෙනුවෙන් රුපියල් 1000 සිට රුපියල් 5000 ක් දක්වා දඩ මුදලක් නියම කිරීමේ සුදානමක් පවතින බවට ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

එමඟින් යාපනය දිස්ත්‍රීක්කයේ පවතින කොරෝනා අවධානම මැඩපැවත්වීමත් නගරය පිරිසිදුව තබාගැනීමටද හැකිවන බවට යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවනන් මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply