කොවිඩ් -19 ලෝක වසංගතයට වසරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ලෝක වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර අදට වසරක් සපිරේ.

2019 වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ කොවිඩ් වෛරසය පසුව ලෝකයේ දුබල රාජ්‍ය මෙන්ම බලවත් රාජ්‍ය රැසකටම දැඩි බලපෑම් එල්ල කළේය.අමෙරිකාව, ඉතාලිය, මහා බ්‍රිතාන්‍ය මෙන්ම ඉන්දියාව, බ්‍රසීලය වැනි රටවලට කොවිඩ් -19 වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර මේ වන විටත් එම රටවලින් දෛනිකව දහසකට අධික වෛරස ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වේ.

රාජ්‍ය නායකයින් රැසක් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් රැසක් ද කොවිඩ් වෛරසයට ගොඳුරු විය.එමෙන්ම ලෝකයේ ජනප්‍රිය පුද්ගලයින් ද කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මියගියේය.

කෙසේවෙතත් මේ වන විට වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විවිධ රටවල් අත්හදාබැලීම් සිදුකරමින් එන්නත් නිෂ්පාදනය කර ඇති අතර එන්නත් කිහිපයක් ජනතාව වෙත ලබාදීම මේ වන විටත් සිදුකෙරෙයි.ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇතැම් රටවල් කොරෝනා ව්‍යාප්තියේ සිව්වන අදියරට පැමිණ ඇති බවට මේ වන විටත් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 118,648,421ක් වන අතර ලොව පුරා කොවිඩ් මරණ 2,632,348ක් සිදුව ඇත.මේ වන විට කොවිඩ් ආසාදිතයින් 94,256,914ක ප්‍රමාණයක් සුවය ලබා තිබේ.

එමෙන්ම මෙරටින් කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයකු හමු වී අදට  වසරක් සම්පූර්ණ වේ.

එලෙස ආසාදිතයකු ලෙස හඳුනාගැණුනේ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි සංචාරක මග පෙන්වන්නකු වූ ජයන්ත රණසිංහ මහතාය.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 86,685ක් වන අතර ඉන් 83,210 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා ඇත.

‍මෙරටින් වාර්තා වී ඇති කො‍විඩ් මරණ සංඛ්‍යාව 515 කි.

Leave a Reply