ප‍්‍රවීණ සන්නිවේදනඥයකු වූ විජයානන්ද ජයවීර මහතා විසින් පසු ගිය රාවය පුවත්පතකට ලියන ලද ‘විචක්ෂණ ජනමාධ්‍ය සම්ප‍්‍රදායක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම ප‍්‍රවර්ධනය කිරීම’ මැයෙන් යුතු ලිපිය කියවීමෙන් මා තුළ මහත් සතුටක් ඇති විය. මක් නිසාද යත් ශ‍්‍රී ලංකාව තුළ ස්වාධීන හා විචක්ෂණ ජනමාධ්‍ය පද්ධතියක අවශ්‍යතාව ඒ ලිපියේ තහවුරු කර තිබූ නිසාය. මෙම ලිපියෙන් අදහස් කරන්නේ විජයානන්ද ජයවීර මහතාගේ ලිපියට ඌන පූරණයක් එක් කිරීමයි.
නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පැවැත්මට සංහතික මාධ්‍යයේ ඇති අවශ්‍යතාව කිසිසේත් අවතක්සේරු කළ නොහැකිය. ස්වාධීන ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයක් මගින් සමාජයේ යහපත සදහා කළ හැකි හා කළ යුතු දේ බොහෝය. සංහතික මාධ්‍ය යනු සිව්වැනි ආණ්ඩුව ලෙස මාධ්‍ය අධ්‍යාපනයේදී දක්වන්නේ ඒ නිසාය. පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල පවතින සංහතික මාධ්‍ය හා එම සමාජය අතර ඇති අන්‍යෝන්‍ය පරිණත ගනුදෙනුව අප වැනි රටවලට ආදේශ කර ගන්නේ කෙසේද යන්න පිළිබදව බරපතළ ලෙස සාකච්ඡුා කළ යුතුව ඇත.
වඩාත් පුළුල් ලෙස ස්වාධීන සංහතික මාධ්‍ය පද්ධතියක් රටක ස්ථාපිත කිරීමේදී එයට හිතකර නෛතික පසුබිම නොසලකා හැරිය නොහැකිය. උදාහරණයක් වශයෙන් ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතින් මාධ්‍යවේදීන්ට ලබා දුන් තොරතුරු මූලාශ‍්‍ර හෙළි නොකිරීමේ අයිතිය ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයෙහි ඉතා වැදගත් සන්ධිස්ථානයකි.
ශ‍්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍ය ආරම්භයේ සිටම පෞද්ගලික අයිතිය යටතේ ව්‍යාප්ත වී තිබුණත් ගුවන් විදුලිය මාධ්‍ය ආරම්භ වූයේම රාජ්‍ය මාධ්‍යය ලෙසිනි. රූපවාහිනී මාධ්‍යයද පෞද්ගලික හිමිකම යටතේ ආරම්භ වුවත් ඉතා ඉක්මනින් එය රජයේ මාධ්‍යයක් බවට පත් විය. එසේ වුවත් අද වන විට මාධ්‍යයේ රාජ්‍ය ඒකාධිකාරය අහෝසි වී ඇත. ඒ අනුව පුවත්පත්ද. ගුවන් විදුලියද, රූපවාහිනියද රාජ්‍ය හා පෞද්ගලික හිමිකම යටතේ ව්‍යාප්ත වී ඇත. සමාජ මාධ්‍ය බිහි වූයේම පෞද්ගලික මාධ්‍යයක් ලෙසිනි. අද වන විට සමාජ මාධ්‍ය ඉතා නිදහස්ව කටයුතු කරනු දකින්නට ලැබේ.
මාධ්‍යයේ ස්වාධීනත්වය සදහා අවශ්‍ය පුඵල් නීති රීති දැනට පවත්නා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නැති බව ඇත්තකි. එහෙත් වඩාත් පුළුල් අවකාශයක සිට සිය මාධ්‍ය මෙහෙයවන්නට සියලූම මාධ්‍යයන්ට අවකාශ ලැබී ඇත. මේ නිදහස් – ස්වාධීන මාධ්‍ය වපසරිය තුළ අප එක් ප‍්‍රශ්නයක් ඉතා බරපතළ ලෙස ඇසිය යුතුය. ඇත්තටම මේ රටේ මාධ්‍ය අපගේ ලාංකීය සමාජය පරිණත සමාජයක් බවට කටයුතු කරමින් සිටින්නේද? යන්නයි.
ලාංකීය සාමාන්‍ය ජනතාවගේ දෘෂ්ටියෙන් බැලූ විට සිංහල මෙන්ම දෙමළ මාධ්‍යයද කටයුතු කරන්නේ සිය ග‍්‍රාහකයන් උගුලකට හසු කර ගැනීමේ අරමුණ ඇතිව බව පෙනේ. එය ඇත්තෙන්ම විටෙක ‘වෙළෙද උගුල’කි. තවත් විටෙක ‘දේශපාලන උගුල’කි. විවිධ දුක් පීඩාවලින් සිය ජිවිතය ගත කරන බහුතර ජනතාවකට මේ වෙළෙද උගුල හෝ දේශපාලන උගුල හෝ තේරුම් ගැනීමට හැකියාවක් නැත. ඔවුහු ඒ වෙළෙද උගුලට හා දේශපාලන උගුලට ආදරය කරන තත්ත්වයට පත්ව සිටිති. එපමණක් නොව සංහතික මාධ්‍යය අටවා ඇති දේශපාලන උගුලට අනුව සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡුන්දය තීරණය කරන්නට පෙළඹෙති. එයට හොදම උදාහරණය නම් එක් අවස්ථාවක ප‍්‍රතික්ෂේප කරන පක්ෂයක් ඊළඟ අවස්ථාවේදී නැවතත් පිළිගැනීමට ලාංකීය සමාජය සූදානම් වීමයි. එහි සැබෑ අර්ථය නම් මේ රටේ පොදු ජනතාව මාධ්‍ය විසින් පෙරහැරේ යවන නැට්ටුවන් පිරිසක් බවට පත් ව සිටින බවයි. එය අද පවතින ‘ස්වාධීන’ මාධ්‍යයේ ජයග‍්‍රහණයකි.
ලාංකීය සංහතික මාධ්‍යයේ ස්වාධීනතාව හෝ විචක්ෂණභාවය පිළිබඳ කොන්දේසිය වන්නේ එසේ ‘වෙළෙද උගුල’ හෝ ‘දේශපාලන උගුල’ හෝ තුළ නන්නත්තාර වී සිටින පොදු ජනතාව විචක්ෂණශීලීන් බවට පත් කිරීමයි. කිසිදු මාධ්‍යයක් පොදු ජනතාව විචක්ෂණශීලීන් බවට පත් කිරීමේ කාර්යය ඉටු නොකරයි. එයට හේතුව වන්නේ පොදු ජනතාව විචක්ෂණශීලීන් බවට පත් වූ විට අද ‘ස්වාධීන’ මාධ්‍ය විසින් අටවනු ලබන ‘වෙළෙ`ද උගුල’ හා ‘දේශපාලන උගුල’ පොදු ජනතාව ඉදිරියේ නිෂ්ක‍්‍රීය වීමයි. නිරුවත් වීමයි. එසේත් නැතිනම් හෙළිදරව් වීමයි. එවැනි සමාජයක් බිහි වූ විට පොදු ජනතාව මේ ‘ස්වාධීන’ මාධ්‍ය ප‍්‍රශ්න කිරීමට ලක් කරනු ලබයි.
මේ තත්ත්වය ඉතා නිවැරදිව තේරුම් ගන්නට යුනෙස්කෝව සමත් වූයේ අද තරම් මාධ්‍ය ප‍්‍රචලිත නැති වකවානුවකය. එනම් 1982 තරම් ඈත කාලයේදීය. යුනෙස්කෝව විසින් ප‍්‍රකාශිත ගෲන්වෝල්ට් සම්මුතිය මඟින් යුනෙස්කෝව ඉතා වැදගත් යෝජනා හතරක් ලෝකයට ඉදිරිපත් කරන ලද්දේය.
1. පෙර පාසල් මට්ටමේ සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වාද, වැඩිහිටි අධ්‍යාපනය තුළද මාධ්‍ය අධ්‍යාපන වැඩ සටහන් ක‍්‍රියාත්මක කළ යුතුය.
2. ගුරුවරුන් හා වෙනත් සමාන්තර පිරිස්වලට අවශ්‍ය මාධ්‍ය පුහුණු වැඩ සටහන් සංවර්ධනය කිරීම හා ක‍්‍රියාත්මක කිරීම කළ යුතුය.
3. මාධ්‍ය අධ්‍යාපනයේ ප‍්‍රතිලාභ පිළිබ`දව හා මාධ්‍ය පිළිබ`දව පර්යේෂණයන් හා සංවර්ධනයන් දිරි ගැන්වීම හා ඒ සඳහා පහසුකම් සලසා දීම කළ යුතුය.
4. යුනෙස්කෝව හා අන්තර්ජාතික සහයෝගිතාව විසින් මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳව ක‍්‍රියාත්මක කරනු ලබන විවිධ කාර්යයන් ශක්තිමත් කිරීම හා ඒ ස`දහා උපකාර කිරීම කළ යුතුය. යනු ඒ යෝජනා හතරයි.
යුනෙස්කෝව විසින් ගෲන්වෝල්ඞ් යෝජනා ඉදිරිපත් කරන විට ශ‍්‍රී ලංකාව තුළ ජනසන්නිවේදන උපාධි පාඨමාලා ආරම්භ කර තිබුණි. 71 කැරැුල්ලෙන් පසු ඇති වූ අධ්‍යාපනික වෙනස්කම් තුළ මෙම පාඨමාලාව සම්පාදනය කරන ලද්දේ වෘත්තියාභිමුඛ පාඨමාලාවක් ලෙසිනි. එහෙත් මෙසේ විශ්වවිද්‍යාල තුළ පැතිරී ගිය ජනසන්නිවේදනය හා ජනමාධ්‍ය පිළිබද උපාධි පාඨමාලා මාධ්‍ය කර්මාන්තය විසින් පිළිගත්තේ ඉතා සුඵ වශයෙනි. එපමණක් නොව මේ රටේ පුරවැසියන් තුළ මාධ්‍ය සාක්ෂරතාව ප‍්‍රවර්ධනය කරන්නට මෙම උපාධි පාඨමාලාවලින් කිසිදු මෙහෙවරක් ඉටු නොවුණි. පසු කාලයේදී ගුවන් විදුලිය පෞද්ගලික අංශයට විවෘත වූයේද, රූපවාහිනියේ ආගමනය හා එය පෞද්ගලික අංශයට විවෘත වූයේද, සමාජ මාධ්‍ය සමාජය පුරා ප‍්‍රචලිත වූයේද මෙවැනි පසුබිමකය.
එක් පැත්තකින් මාධ්‍ය පුළුල් ලෙස සමාජගත වූ අතර, අනෙක් අතින් මාධ්‍ය විසින් ඉහත කී ‘වෙළෙද උගුල’ හා ‘දේශපාලන උගුල’ ඉතා නිදහස්ව පුරවැසියන් ඉලක්ක කොට අටවන ලද්දේය. මාධ්‍යයේ ස්වාධීනත්වය හා අයිතිවාසිකම් පිළිබ`දව බොහෝ මානව හිමිකම් ක‍්‍රියාකාරීන් මැදිහත් වූ නමුත්, පොදු ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාව ප‍්‍රවර්ධනය කිරීමට ඔවුන් මැදිහත් වූයේ නැත. මේ නිසා පොදු ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවේශය මහත් අවුලක් බවට පත් කරන ලද්දේය.
යුනෙස්කෝව විසින් 2007 දී මාධ්‍ය පිළිබද පැරිස් සමුඵව පවත්වන ලද්දේ ගෲන්වෝල්ඞ් ප‍්‍රකාශනයෙන් අවුරුදු 25කට පසුවය. ඔවුන් එහිදී තක්සේරු කරන ලද්දේ ගෲන්වෝල්ඞ් ප‍්‍රකාශනයේ යෝජනා ලෝකයේ කෙසේ ක‍්‍රියාත්මක කර ඇත්දැයි යන්නයි. ඒ අනුව අනාවරණය වූ කරුණ නම් ගෲන්වෝල්ඞ් යෝජනා ලෝකය තුළ සක‍්‍රීය වී නැති බවයි. මෙරට කිසිදු විශ්වවිද්‍යාලයක් සිය උපාධි පාඨමාලාවල අන්තර්ගත විෂය ඒකකයක් ලෙස හෝ මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාව ඇතුළත් කර නොතිබීම විශේෂ කරුණකි. සියලූ ජනසන්නිවේදන හා ජනමාධ්‍ය උපාධි පාඨමාලා යොමු වූයේ මාධ්‍ය කර්මාන්තය කෙරෙහිය. එහෙත් එම උපාධිධාරීන්ට මාධ්‍ය කර්මාන්තය තුළ ප‍්‍රවේශයක් අත්පත් කර ගන්නට නොහැකි විය.
2007 පැරිස් යෝජනාවලින් අනාවරණය වූ ඉතාම වැදගත් කරුණ වන්නේ ලෝකය පුරා සමාජයන්හි මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාව ප‍්‍රචලිත කිරීම කළ හැක්කේ පාසල හරහා බවයි. සියලූ ගුරුවරුන්ට මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාව පිළිබද නිපුණතාවක් අත්පත් කර දීමෙන් ඔවුන් මගින් පන්ති කාමරයට මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාව ගෙන යා හැකි බව යුනෙස්කෝව විසින් තීරණය කරනු ලැබිණි. එහි ප‍්‍රතිඵලය වූයේ 2008 දී යුනෙස්කෝව විසින් ගුරුවරුන් සදහා මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාව පිළිබඳ විෂය නිර්දේශයක්(Media and Information Literacy Curriculum for Teachers) ප‍්‍රකාශයට පත් කිරීමයි. (මෙම විෂය නිර්දේශය සම්පාදනය කිරීමේ කාර්යය ඉටු කරන ලද්දේ එවකට පැරිස්හි යුනෙස්කෝ ප‍්‍රධාන කාර්යාලයේ සන්නිවේදන සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි විජයානන්ද ජයවීර මහතාගේ මෙහෙයවීමෙනි.)
මෙම යුනෙස්කෝ විෂය නිර්දේශය ලෝකයේ කලාප තුනක අත්හදා බලන ලද්දේය. ආසියා – පැසිපික් කලාපයේ අත්හදා බැලීම 2008 දී පවත්වන ලද්දේ ශ‍්‍රී ලංකාවේදීය. එය සම්බන්ධීකරණය කරන ලද්දේ ශ‍්‍රී ලංකාවේ යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව විසිනි. මේ සඳහා ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, භූතානය, පාකිස්ථානය, බංගලාදේශය හා මාලදිවයින යන රටවල නියෝජිතයෝ සහභාගි වූහ. මෙම විෂය නිර්දේශය මේ වන විට අරාබි, චීන, ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, ග‍්‍රීක්, ජපන්, මොන්ගෝලියන්, පෘතුගීසි, රුසියන්, ස්පාඤ්ඤ හා මොන්ටිනෙග‍්‍රින් යන භාෂාවලට පරිවර්තනය කොට ප‍්‍රකාශ කර ඇත.
ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාව ප‍්‍රචලිත කිරීමේ ඉතා වැදගත් ක‍්‍රියාමාර්ගයක් වූයේ පාසලට මාධ්‍ය අධ්‍යාපනය හදුන්වා දීමයි. එහෙත් එය කිසිසේත් 1982 ගෲන්වෝල්ඞ් ප‍්‍රකාශනය නිසා සිදු වූවක් නොවේ. එය සිදුවූයේ 2000 වර්ෂයේදී පාසලට හදුන්වා දුන් ‘පාසල් මාධ්‍ය සමාජ’වල සාමාජික දරු දැරියන්ගේ ඉල්ලීම පරිදිය. මේ වන විට අඩු වශයෙන් පාසල තුළ මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාව පිළිබදව සාකච්ඡුා කෙරෙන විෂයයන් ලෙස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය දැක්විය හැකිය. ඒවා පාසලට හදුන්වා දුන්නේ 2006 වර්ෂයේදීය.
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ආරම්භක විෂය නිර්දේශයන්හි මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාවට සම්බන්ධ පාඩම් ඇතුළත් කර තිබිණි. මෙරට පාසල් විෂය මාලාව පිළිබදව වග කියන ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම පාඩම්වල අන්තර්ගතය 10වන ශ්‍රේණියෙන් පහළට ගෙන යා යුතුව තිබිණි. උදාහරණයක් වශයෙන් 10වැනි ශ්‍රේණියෙන් පහළට ඇති පුරවැසි අධ්‍යාපනය විෂය නිර්දේශය තුළ මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාව පිළිබද ඉගැන්වීම් කළ යුතුව තිබුණි. එසේම ප‍්‍රාථමික පන්තිවලදීද මේ පිළිබද මූලික ඉගැන්වීම් කළ යුතුය. උදාහරණයක් වශයෙන් පින්ලන්තයේ මාධ්‍ය අධ්‍යාපනය ආරම්භ කර ඇත්තේ පෙර පාසලිනි. පින්ලන්තයේ අධ්‍යාපනය මෙරට අධ්‍යාපන පද්ධතියට එක් කරන්නට උත්සාහ ගන්නා කිසිවෙකු මේ පිළිබදව අවධානය යොමු කර නැත. ප‍්‍රාථමික පන්තිවලදී සන්නිවේදනය පිළිබඳ නිපුණතා යනුවෙන් අදහස් කරන්නේ කියවීම, ලිවීම, අසා සිටීම හා කතා කිරීම පමණි. සිතීම සන්නිවේදන නිපුණතාවක් ලෙස ජාතික අධ්‍යාපන ආයතනයේ ප‍්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ඒත්තු ගන්වන්නට සමත් කිසිවෙකු මෙරට නැත.
අද වන විට ප‍්‍රාථමික පන්තිවල පමණක් නොව පෙර පාසල්වල දරුවන්ද පුඵල් වශයෙන් මාධ්‍ය පරිහරණය කරන අතර, ඔවුන් තුළ පෝෂණය කළ යුතු සන්නිවේදන නිපුණතාවක් ලෙස මාධ්‍ය තේරුම් ගන්නට – ඒ පිළිබඳව විචාරාත්මක සිතන්නට – මාධ්‍යයේ රැවටිල්ල අර්ථකථනය කර ගන්නට දරුවන්ට ඉගැන්වීමට අවශ්‍යයැයි ජාතික අධ්‍යාපන ආයතනයේ අදාළ නිලධාරීන්ට පමණක් නොව, විෂය නිර්දේශ අනුමත කරන ශාස්ත‍්‍රීය කටයුතු මණ්ඩලයටද තේරුමක් නැත. මෙයට හොඳම උදාහරණය වන්නේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ආරම්භක විෂය නිර්දේශ සංශෝධනය කිරීමේ මණ්ඩලය ආක‍්‍රමණය කළ ජනසන්නිවේදන ආචාර්ය මහාචාර්යවරුන් විසින් මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාවට අදාළ පාඩම් විනාශයට ලක් කිරීමයි. එසේ විනාශයට ලක් කරන ලද විෂය නිර්දේශ කිසිම විමසීමකින් තොරව ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත‍්‍රීය කටයුතු මණ්ඩලය විසින් අනුමත කරන ලදුව අද වන විට පාසල්වල උගන්වමින් පවතී.
යුනෙස්කෝව විසින් සම්පාදනය කරන ලද ‘ගුරුවරුන් සදහා වූ මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාව’ විෂය නිර්දේශය ගැන ශ‍්‍රී ලංකාවේ යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ නිලධාරීන්ට අමතක වී ගොස්ය. එම විෂය නිර්දේශයේ කොටස් අඩු වැඩි වශයෙන් ශ‍්‍රී ලංකාවේ ගුරු පුහුණු පාඨමාලාවලට ඇතුළත් කරන ලෙස යුනෙස්කෝව මුඵ ලෝකයෙන්ම ඉල්ලා සිටී. සමහර රටවල් එයට අනුගත වී ඇති බව වැටහෙන්නේ ඔවුන් විසින් එම විෂය නිර්දේශය තමන්ගේ භාෂාවන්ට පරිවර්තනය කර ගෙන ඇති බැවිනි. මෙම විෂය නිර්දේශය පිළිබද ආසියා පැසිපික් පුහුණු වැඩසටහන මෙරටදී පවත්වන ලද බව ශ‍්‍රී ලංකාවේ යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවට පෙන්වා දුන් නමුත් ඔවුන්ට එය ඒ තරම් වැදගත් රාජකාරියක් වී නැත. එම විෂය නිර්දේශය සිංහල හා දෙමළ භාෂාවන්ට පරිවර්තනය කොට ප‍්‍රකාශයට පත් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයට සුඵ කාර්යයකි. එහෙත් එයට මැදිහත් වන්නට කෙනෙක් නැත. ගුරු පුහුණු පාඨමාලාවලට මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාව පිළිබඳ කොටස් ඇතුළත් කරන්නට ජාතික අධ්‍යාපන ආයතනයේ වගකිවයුත්තන්ට පෙන්වා දුන්නත් එය ඔවුන්ට තේරෙන්නේ නැත.
ලාංකික සමාජය පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුරවැසියන්ගෙන් පරිපූර්ණ වීම යනු එක් දිනකින් – එක් රැයකින් කළ හැක්කක් නොවේ. ඒ සදහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් අවශ්‍යය. එය ආරම්භ කළ යුත්තේම පාසලිනි. මාධ්‍යයේ වෙළෙද උගුලට හසුවන්නේ වැඩිහිටි පුරවැසියන්ම නොවේ. සෑම දරුවෙකුම සිය බාල වියේ සිටම මාධ්‍යයේ වෙළෙද උගුලට හසුවෙති. එපමණක් නොව දේශපාලන උගුල දෙසට ඔවුහු ප‍්‍රවේශ වෙති. පුරවැසියන් තුළ මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාව ප‍්‍රවර්ධනය කිරීමෙන් උසස් සමාජ සාක්ෂරතාවක් ඇති පුරවැසියෝ බිහිවෙති. අප රටට සාපේක්ෂව දියුණු රටවල වඩාත් හොද සංහතික මාධ්‍ය කර්මාන්තයක් බිහි වී ඇත්තේ එම කර්මාන්තයේ කැමැත්ත නිසා නොවේ. පුරවැසියන්ගේ දැනුවත්භාවය නිසා ඔවුන්ට එම මාධ්‍ය කර්මාන්තය පුරවැසියන්ට පිළි ගත හැකි ලෙස හැඩ ගස්වන්නට සිදු වී තිබේ.
එහෙත් ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය පුරවැසියන්ට වඩා මාධ්‍ය කර්මාන්තය ශක්තිමත්ය. ඔවුහු එම ශක්ති සම්පන්නභාවය නිදහසේ භූක්ති විඳින්නේ ඉහත කී පරිදි ‘නිදහසේ උගුල්’ අටවමිනි. ඉතාම සරල උදාහරණයක් පමණක් මෙහි දක්වනු කැමැත්තෙමි.
වෙළෙද දැන්වීම් යනු අනෙකුත් මාධ්‍ය ප‍්‍රකාශනයන්ගෙන් වෙන්ව හදුනා ගත හැකි එකක් බව ලෝක පිළිගැනීමයි. දැන්වීම්කරණය ගැන උගන්වන ජනසන්නිවේදන හෝ ජනමාධ්‍ය පාඨමාලාවලද එසේ උගන්වනවා ඇත. එහෙත් මෑත කාලයේ සිට පුවත්පත් මාධ්‍ය තුළ පුවත්පත් විශේෂාංග ආකෘතිය යොදා ගනිමින් වෙළෙද දැන්වීම් පළ කරයි. එවැනි විශේෂාංගයක ඉහළින් ඉතා කුඩා අකුරින් ‘මෙය වෙළෙද දැන්වීමකි.’ යනුවෙන් සඳහන් කොට ඇත. ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍යයේද නිවේදක නිවේදිකාවන් හෝ ඉදිරිපත් කරන්නන් සිය මාධ්‍ය ප‍්‍රකාශන තුළ විවිධ භාණ්ඩ හා සේවා ප‍්‍රචාරණය කිරීමේ යෙදී සිටිති. මේ ගැන අවධානය යොමු කර ඇත්තේ කවුරුන්ද? පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මේ ගැන මැදිහත් වී තිබේද? ඔවුන් සිටින්නේ ඇස් – කන් නැති ආකාරයෙනි. ජනසන්නිවේදනය හා ජනමාධ්‍ය උගන්වන විශ්වවිද්‍යාල කිසිවක් මේ ගැන යම් මතයක් ඉදිරිපත් කර නැත. ඔවුන්ට එසේ කළ නොහැක්කේ ඔවුන්ගේ යැපීමටද මේ මාධ්‍ය අවශ්‍ය බැවිනි. ඒ අතර පොදු ග‍්‍රාහකයන් නිෂ්ක‍්‍රීය වී ඇත. මක්නිසාදයත් ඔවුන් තුළ මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාව නොමැති බැවිනි. මුදල් ලැබෙන්නේ නම් මේ ඕනෑම උගුලක් සිය ග‍්‍රාහකයන්ට අටවන්නට මාධ්‍යකරුවන් සූදානම් නැතැයි කිසිවෙකුට කිව හැකිද?
මේ සියලූ කරුණුවලින් පැහැදිලි වන්නේ අප රට තුළ උසස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කරන්නේ නම් එහි පැති දෙකක් ගැන අවධානය යොමු කළ යුතු බවයි. එකක් නම් මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාවෙන් මාධ්‍යකරුවන් පෝෂණය කිරීමයි. දෙවැන්න නම් මාධ්‍ය ග‍්‍රාහකයන් වූ පොදු ජනතාව පෙර පාසලේ සිටම වැඩිහිටි විය දක්වාම මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාව අත්පත් කර ගැනීමේ පුළුල් සමාජ වැඩපිළිවෙළක් මගින් බලවන්තයන් බවට පත් කිරීමයි.
–බන්දුල පී. දයාරත්න-
-රාවය-
