පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදය මාර්තු 10 වැනි දින ආරම්භවේ. මේ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට එම රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.
මාර්තු 9 වැනිදා (හෙට) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ කරන අතර පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරෙනු ඇත.
ඉන්පසුව පසුගිය පාර්ලිමේන්තු වාරයේදී කල්තබන ලද මැණික් හා ස්වර්ණාභරණ පනත යටතේ ගෙන එනු ලබන රෙගුලාසි පිළිබඳ විවාදය, විදේශ විනිමය පනත යටතේ වන රෙගුලාසියක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග 2ක් පිළිබඳ විවාදය ද පෙ.ව 11.00 සිට ප.ව 03.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයන් තීරණය කොට ඇත.
මෙරට කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ඉදිරිපත්කර ඇති යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙදින සිදුවන බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසුවේය.
පාර්ලිමේන්තුව මාර්තු 09 වැනි දින ප.ව 3.30ට කල් තැබීමෙන් පසුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය විසින් ඉදිරිපත් කරනු ලබන කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම පිළිබඳව ගෙන එනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගනු ඇත. එම විවාදය පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.
මාර්තු 10 වැනි බදාදා අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න මෙවර ක්‍රියාත්මක නොවුවද පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරෙනු ඇත.
ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගනු ලබන බව ධම්මික දසනායක මහතා පැවසුවේය.
මාර්තු 12 වැනි සිකුරාදා දින පාර්ලිමේන්තුව රැස් නොවේ.
