භාරතීය ජනතා පක්ෂය ලංකාවේ ලියාපදිංචි කළ හැකිද?

භාරතීය ජනතා පක්ෂයේ ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ පිහිටුවීමට සැලසුම්කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය සහ භාරතීය ජනතා පක්ෂයේ හිටපු සභාපති අමිත් ෂා විසින් ප්‍රකාශ කරනු ලැබූ බවට ඉන්දියාවේ ට්‍රිපුර ප්‍රධාන අමාත්‍ය බිප්ලබ් කුමාර් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

ඉන්දියාවේ රබීන්ද්‍රා ෂටබාර්ෂිකි භවන්හි උත්සවයක් අමතමින් ඔහු මේ පිළිබඳ අනාවරණය කළ බවට ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කළේය.

“භාරතීය ජනතා පක්ෂයේ ජාතික සභාපතිව සිටි අමිත් ෂා අපට කියා සිටියේ පක්ෂය සිය මෙහෙයුම් ජාලය පුළුල් කර නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ පාලන ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි” යැයි ඔහු ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් බවත් ශ්‍රී ලංකාව තුළ දේශපාලන පක්ෂයක් පිහිටුවීමට පසුගිය වසරේ ඉදිරිපත් වු අයැදුම්පත් 150ක් අතුරින් පක්ෂ පිහිටුවීමට අවසර ලැබී ඇත්තේ පක්ෂ 06 ක් සඳහා පමණක් බවත්ය.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ පිහිටුවන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුවයි. ඒ සඳහා දේශපාලන කටයුතු වල වසර 04 ක් අඛණ්ඩව නිරත වී සිටිය යුතු වෙනවා. ඒ වගේම එම පක්ෂයේ වසර 04 විගණනය කරන ලද ගිණුම් වාර්තා තිබිය යුතුයි. ඒ වගේම එම පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්තියක් සහ නිලධාරී මණ්ඩලය මැතිවරණ කොමිසමට ඉදිරිපත්කර තිබිය යුතුයි. එහෙම කරලා නැති අය කොහොමද අලුතින් පක්ෂයක් පිහිටුවන්නේ. පනතේ එය සඳහන් වෙන්නේ මෙහෙමයි.

පක්ෂයේ ඉල්ලීම ඉදිරිපත් කිරීමේ දින සිට අවම වශයෙන් අවුරුදු 04 කාලයකට පෙරාතුව සිට අඛණ්ඩව දේශපාලන කටයුතු වල නිරත වු බවට මැතිවරණ කොමිසම සෑහීමකට පත්විය යුතු වෙනවා.

ඒවගේම 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව  පක්ෂ ලියාපදිංචිය ලේසි නැහැ. පසුගිය වසරේ පක්ෂ ලියාපදිංචියට 150 ක් අයැදුම්කරලා තිබෙනවා. ඒ අතරින් 93 ක් පමණයි සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබෙන්නේ. එයිනුත් පිළිඅරගෙන තිබෙන්නේ පක්ෂ 06 ක් පමණයි. ඒවගේම එක් අවුරුද්දක ලියාපදිංචිය ප්‍රතික්ෂේප වූ පක්ෂයකට යලිත් අවුරුද්දක් ගතවනතුරු ලියාපදිංචියට ඉල්ලීම් කරන්න බැහැ.  ඒවගේම මේ සියල්ල අවසානයේ මැතිවරණ කොමිසම සැහීමකට පත්වෙනවානම් පමණක් තමයි ලියාපදිංචියට අවසර දෙන්නේ”

ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසුයේ 46 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව රැස්වෙන අවස්ථාවක ඉන්දියාව මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම අනුමත කළ නොහැකි බවයි.

ශ්‍රී ලංකාව තුළ දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු කරන බව භාරතීය ජනතා පක්ෂය සිදුකළ ප්‍රකාශය නීතිමය වශයෙනුත් සදාචාරාත්මක වශයෙනුත් සම්පුර්ණයෙන්ම බැහැර කළ යුතු සහ පදනමක් නොමැති ප්‍රකාශයක් බවද හෙතෙම කීවේය.

“ස්වාධීන රටවල් සියල්ල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින්.  ඉන්දියාව අපේ කලාපයේ බලවතා වුණත් කිසිම ආකාරයක වෙනත් රටක දේශපාලන කටයුතු වලට හෝ ඒ අයගේ පක්ෂ ශාඛා හෝ එම පක්ෂ  හෝ ආණ්ඩු පිහිටුවීම ස්වාධිපත්‍යයට දැඩි බලපෑමක් කරන නව යටත් විජිතවාදයට එළැඹීමක්. කුඩා රටවල් දෙකක් වන නේපාලනය සහ ශ්‍රීලංකාව සම්බන්ධකරගෙන, ඉන්දියානු දේශපාලන ව්‍යාප්තවාදය තමයි මේ පෙන්වන්න හදන්නේ.

මේ ප්‍රකාශයේ නෛතික පදනම ගත්විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් , 1981 අංක 01 දරන පාර්ලිමේන්තු  පනත සහ අනිකුත් ඡන්ද විමසීමේ පනත් අනුව කිසිම ආකාරයකට විදේශ දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට හෝ දේශපාලන කටයුතු කිරීමේ නෛතික අයිතියක් නැහැ. ඒ වගේම ‍මේ ප්‍රකාශයේ සමාජීය පදනමක් ලෙස මම දකින්නේ ලංකාව ඉන්දියාව අතර තිබුණු වරාය ගණුදෙනු වෙන්න පුළුවන්. ඒ වගේම 46 වැනි මානව හිමිකම් සමුළුවේදි යෝජනාවක් ගෙනාවොත් ඒ වෙනුවෙන් අපි ඉන්දියාව දිනාගත යුතුයි කියන දේ පෙන්වමින් ඉන්දියාවේ බලය ව්‍යාප්තකිරීමට උත්සහ කරන ව්‍යාපෘතියක් ලෙසයි මට මේක පෙනෙන්නේ.”

Leave a Reply