විසිරී ගිය බලයක් ඒකරාශීවීම නිසා ඇතිවන ශක්තිය මෙන්ම මතවාදී විවිධත්වය නිසා ඒකමතික භාවයට බාධා ඇතිවීමද සභාග දේශපාලනයට උපතින්ම උරුම වේ. එම තත්ත්වය ශ්‍රී ලංකාවට නුහුරු දේශපාලන අත්දැකීමක් යැයි කිව නොහැකිය. කෙසේ වුවද රටක් බලගතු සතුරකුට මුහුණ දෙන අවස්ථාවකදී සභාග දේශපාලනයෙහි ඇති වැදගත්කම චීනයේ අසහාය නායක මාඕ සේතුං විසින් 1945 අප්‍රේල් 27 දාතමින් ප්‍රකාශයට පත්කරන ලද ‘සභාග ආණ්ඩුව’ නමැති රචනයෙන් පෙන්වා දී තිබේ. එම අවස්ථාව වනවිට ජපන් ආක්‍රමණයකට මුහුණ දී සිටි චීනය, තවමත් භේද භින්න වී ඇතැයි පෙන්වා දුන් මාඕ, නිසැකවම වහාම කළ යුත්තේ සියලු දේශපාලන පක්ෂවල හා කණ්ඩායම්වල පාක්ෂික බැඳීම්වලින් තොරව සභාගයකට එළඹීම බව පෙන්වා දෙනු ලැබීය. මෙය විදේශ ආක්‍රමණයක් හමුවේ පමණක් නොව වෙනත් අර්බුද හමුවේ වුවද ප්‍රගතිශීලී කොටස් අනුගමනය කළ යුතු වලංගු තත්ත්වයකි.
මතවාදී නොගැළපීම් හමුවේ විසිරී ගොස් තරග වැදුණු 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 95 න් 42 ක් පමණක් ලබා සිටි එජාපයට ආණ්ඩු බලය ලැබිණ. එහිදී ඉතිරි මන්ත්‍රීවරුන් 53 දෙනා හට වඩා වැදගත් වූයේ මතවාදී ස්වාධීනත්වයයි. එම පළමු දේශපාලන අත්දැකීම පසුකාලීන සභාග ආණ්ඩු බිහිවීම සඳහා ඉතාමත් උපකාරී වූ අතර වර්තමානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමැති සන්ධානය බිහිවන්නේද එම දේශපාලන පරිණත භාවය තුළිනි.
වර්තමාන ආණ්ඩු බලය හොබවන ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ තුළ ශ්‍රීලනිපය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලසසප, කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා කම්කරු කොන්ග්‍රසය, යුතුකම සංවාද කවය හා ටිරාන් අලස් නියෝජනය කරන පක්ෂය ආදී කණ්ඩායම් දොළහක් පමණ ඒකරාශී වී තිබේ. එබැවින් ඔවුන් අතර මතවාදී විවිධත්වය හා නොගැළපීම් පැවැතීම ඉතාමත් ස්වභාවිකය.
දේශපාලන පක්ෂ ක්‍රමයෙහි නිජබිම එංගලන්තය බව විශේෂයෙන් කිව යුතු නැත. දේශපාලන පක්ෂ බිහිවීමට අවශ්‍ය පදනම සකස් වූයේ පාර්ශ්ව දෙකක් අතර තිබූ බෙදීමයි. එම බෙදීම් පැවැති කණ්ඩායම් දෙක හඳුන්වන ලද්දේ කැවලියර්ස් හා රවුන්ඩ්හෙඩ්ස් යනුවෙනි. පළමුවන චාර්ල්ස් රජු (1600-49) ගේ පාලන සමයේ මුල් වසර හතර තුළ පාර්ලිමේන්තු තුනක් විසුරුවා හැරීම නිසා විශාල දේශපාලන අර්බුදයක් නිර්මාණය විය. එහිදී රජුට ආධාර කළ පිරිස කැවලියර්වරු ලෙසද, රජුට හා පල්ලියට විරුද්ධ වූ පිරිස රවුන්ඩ් හෙඩ්වරු ලෙසද හඳුන්වන ලදී. මෙම කණ්ඩායම් දෙකම රාජ පාක්ෂිකයන් හා විරුද්ධවාදීන් මිස දේශපාලන පක්ෂ ස්වරූපයෙන් සංවිධානය වී නොසිටියේය. එහෙත් 17 වැනි සියවස අවසාන භාගයේ කැවලියර්වරු ටෝරි පක්ෂයද, රවුන්ඩ් හෙඩ්වරු විග් පක්ෂයද නියෝජනය කරන්නට වූහ. ටෝරි පක්ෂය සමාජයේ ඉහළ පන්තියද විග් පක්ෂය සමාජයේ දිළිඳු කොටස්වල අවශ්‍යතාද නියෝජනය කරන්නට වීම නිසා දේශපාලන වුවමනාවන් මත බිහිවූ එංගලන්තයේ ප්‍රථම පක්ෂ දෙක බවට ටෝරි හා විග් පත්විය.
එංගලන්තයේ 1832 ප්‍රතිසංස්කරණ පනත සම්මත කළ පසු විග්වරු තම පක්ෂය ලිබරල් යනුවෙන්ද, ටෝරිවරු තම පක්ෂය කොන්සර්වෙටිව් යනුවෙන්ද නම් කරන ලදී. මෙලෙස උපන් පක්ෂ දෙක නිසා එරට ද්විපක්ෂ ක්‍රමය ශක්තිමත් වූ අතර විසිවන සියවසේදී බිහිවූ කම්කරු පක්ෂය බලවත් වී ලිබරල් පක්ෂය පිරිහී ගියේය. වර්තමානය වන විට එංගලන්තයේ පාර්ලිමේන්තු බලය ලබාගත හැකි පක්ෂ දෙක බවට කම්කරු හා කොන්සර්වෙටිව් යන පක්ෂ දෙක බලවත් වී තිබේ. එහෙත් බොහෝ බෙදීම් පවතින රටවල වාර්ගික, ආගමික, භාෂාමය, ආර්ථික, ප්‍රාදේශීය වුවමනාවන් ආදී විවිධ ස්වරූපයේ දේශපාලන පක්ෂ බිහිවී ඇත. ද්විපක්ෂ ක්‍රමයක් නොමැති ශ්‍රී ලංකාව වැනි රටක පක්ෂ රාශියක් පැවැතීම මෙන්ම පක්ෂ ගණනාවක් එකතු වී සභාගයකින් ආණ්ඩු බලය ලබාගැනීම සාමාන්‍ය තත්ත්වයකි. මේ අනුව 1956 මහජන එක්සත් පෙරමුණු සභාගය, 1960 ජූලි වාමාංශික එක්සත් පෙරමුණ, 1965 එජාප හත් හවුල, 1970 සමගි පෙරමුණ, 1994 පොදුජන එක්සත් පෙරමුණ, 2010 එක්සත් ජනතා නිදහස් සන්ධානය, 2020 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආදී සභාග ආණ්ඩු විශේෂයෙන් කැපී පෙනේ.
අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනය, සන්ධාන දේශපාලනයේ දුබලතාවක් ලෙස හැඳින්වීමට ඇතැම් විචාරකයන් උත්සාහ දරා තිබේ. 1956 දී මඑපෙ ආණ්ඩුව බිහි කිරීමට දායක වූ කැලණිය විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් භාණ්ඩ ආනයන ටෙන්ඩරයක් ලබා ගැනීමට දැරූ උත්සාහය අසාර්ථකවීම අගමැතිවරයා ඝාතනය කිරීමෙන් කෙළවර වූ බව එම විචාරකයන්ගේ අදහසයි. මාපිටිගම බුද්ධරක්ඛිත හිමි හා ඇමැතිනී විමලා විජයවර්ධන අතර තිබූ සබඳතාව උපයෝගී කරගනිමින් අගමැතිවරයා ඝාතනය කළද එහි සැබෑ කුමන්ත්‍රණකරුවන් දෙස් විදෙස් දේශපාලන වුවමනාවන් මත එය සිදු කළ බව ප්‍රසිද්ධ රහසකි. එම කුමන්ත්‍රණයේ සැබෑ කතාව තේරුම් ගැනීම සඳහා ලොව ප්‍රථම අගමැතිනියගේ ආණ්ඩුව බිඳ දැමූ ආකාරයද විමසා බැලිය යුතුය.
බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් 1960 ජූලි මහ මැතිවරණයට තරග කොට පිහිටුවූ ආණ්ඩුව වඩාත් ශක්තිමත් වූයේ 1963.08.12 වැනිදා එක්සත් වාමාංශික පෙරමුණේ සහයෝගය ලැබීමත් සමගය. ආචාර්ය එන්. එම්. පෙරේරා (ලසසප), වෛද්‍ය එස්. ඒ. වික්‍රමසිංහ (කො.ප.), පිලිප් ගුණවර්ධන (ම.එ.පෙ.) යන වාමාංශික නායකයන් එකතු වී බිහිකළ එක්සත් වාමාංශික පෙරමුණ, ආණ්ඩුව සමග එකතු වූ විට ආණ්ඩුවේ සිටි ඇතැම් දක්ෂිණාංශික නායකයන් එතරම් සතුටු වූයේ නැත. එම තත්ත්වය උපයෝගී කරගනිමින් 1964.12.03 වැනි දින පැවැති රාජාසන කතාව සඳහා ඡන්ද විමසීමේදී ආණ්ඩුවට ඡන්ද 73 ක් හා විපක්ෂයට ඡන්ද 74 ක් ලැබී ආණ්ඩුව බිඳ වැටිණ. එහිදී ආණ්ඩු පක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් 14 දෙනකුගේ සහයෝගය එජාපය විසින් ලබාගන්නා ලදී. එය සභාග දේශපාලනයේ මහා පාවාදීම ලෙස හැඳින්වීමට පුළුවන. ලේක්හවුස් ආයතනයේ මුදල් යොදවා එම මන්ත්‍රීවරුන් මිලදී ගෙන තිබූ අතර එය ජේ. ආර්. ප්‍රමුඛ එජාපයේ මෙහෙයුමක ප්‍රතිඵලයකි.
තමාට පිටුපසින් සිට පිහියෙන් අනින ලදැයි බණ්ඩාරනායක අගමැතිනිය විසින් හඳුන්වන ලද එම පාවාදීමේ ක්‍රියාවලියද සභාග දේශපාලනයේ එක්තරා පොදු ලක්ෂණයකි. ආණ්ඩුව පරාජය කිරීමට මුල්වූ ආණ්ඩුවේ ප්‍රධානියකු වන සී. පී. ද සිල්වා ඇමැති තනතුරුවලට අමතරව සභානායක ලෙසද ක්‍රියා කළේය. බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීමෙන් පසු එහි නායකත්වය ඔහු බලාපොරොත්තු වූ අතර වාමාංශික නායකයන් ආණ්ඩුවට පිවිසීම නිසා ඔහුගේ වටිනාකම බාලවී තිබිණ. එමනිසා ආණ්ඩුවට සිය වටිනාකම දැනවීමට අවශ්‍ය වී සිටි පිරිසට පුවත්පත් ව්‍යාපාර ජනසතු කිරීමේ යෝජනාව සමග අවස්ථාව උදාවිය. එහිදී ලැබෙන විශාල ආර්ථික වටිනාකමද සලකා ආණ්ඩුවට එරෙහි වන්නට ඇත.
ඉන්පසු සභාග දේශපාලනයේ විශාලතම අර්බුදය මතුවූයේ 1970 පිහිටු වූ සමගි පෙරමුණ ආණ්ඩුවේය. ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දී බ්‍රිතාන්‍යය සමග පැවැති නෛතික බැඳීම අවසන් කළ එම සමගි සන්ධානය බිඳ වැටීම රටේ සමස්ත දේශපාලනයට අහිතකර ලෙස බලපෑ බව කිව යුතු නොවේ. සභාග ආණ්ඩුවේ සියලු පක්ෂ අගාධයකට ඇද දමා ජේ. ආර්. ජයවර්ධන හට එජාපයේ ඉහළම ජයග්‍රහණය වාර්තා කිරීමට හැකිවූයේ සන්ධානයේ අසාර්ථකත්වය නිසාවෙනි.
සමගි පෙරමුණ ආණ්ඩුවද කොළඹ වරාය නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජන යෝජනාව වැනි අභියෝගයකට මුහුණ දුන්නේය. කර්මාන්ත ඇමැති ටී. බී. සුබසිංහ විසින් 1972 දී ඇමැති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කොට හඳුන්වා දීමට උත්සාහ කළ විදේශ ආයෝජන අධිකාරිය පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක නොවීමට හේතුවූයේ ආණ්ඩුවේ සිටි වාමාංශික නායකයන්ගේ විරෝධතාව යැයි කියනු ලැබේ. සමගි පෙරමුණු ආණ්ඩුව 1974 දී අතහැර දමන ලද එම යෝජනාව, නිදහස් වෙළෙඳ කලාප යනුවෙන් නම් කොට 1978 දී එජාපය ක්‍රියාත්මක කරනු ලැබිණ. මහ කොළඹ ආර්ථික කොමිසම ලෙස ජේ. ආර්. විසින් එය ක්‍රියාත්මක කිරීමට යෑමේදී ලසසප නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා පළ කළ අදහස්වලින් ඔවුන්ගේ විරෝධය පැහැදිලි විය. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ද නිදහස් වෙළෙඳ කලාප යෝජනාවට විරුද්ධව දැඩි විවේචන එල්ල කළ අතර මේ රටේ බහුතර ජනතාව ජනතා විමුක්ති පෙරමුණ මගින් මේ රටේ සමාජවාදී ආණ්ඩුව පිහිටුවපුදාට මේ සියලු විදේශ ධන ආයෝජන වන්දි නොගෙවා ජනසතු කරන බව කීය.
සමගි පෙරමුණ ආණ්ඩුව විදේශ ධන ආයෝජන යෝජනාව ක්‍රියාත්මක කළේ නම්, 1977 දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවට අලුතින් කිසිවක් හඳුන්වා දීමට ඉඩ නොලැබෙනු ඇත. එදා සමගි පෙරමුණ තුළ ගැටුම් නිර්මාණය වීම නිසා 1975 අගෝස්තු මස ලසසපයට ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවිය. ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වුවද පාර්ලිමේන්තුවේ ආසන 151 න් 91 ක් ශ්‍රීලනිපය සතුව තිබිණ. ලසසපයද සටන අතහැරියේ නැත. 1975.12.23 වැනි දින අගමැතිනියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කොට ඡන්ද 43 ට 100 ක් ලෙස පරාජයට පත්වුවද කොල්වින් ආර්. ද සිල්වා ඉදිරිපත් කළ නීති තර්ක ආකර්ෂණීය විය. සභාග දේශපාලනයේ වෛරී අස්වැන්න නෙළාගත් ජේ. ආර්. 1977 දී බලයට පත්වූ වහාම හිටපු අගමැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එම තර්ක යොදා ගන්නා ලදී. එහි අවසාන ප්‍රතිඵලය වූයේ සභාග දේශපාලනයේ අදූරදර්ශී හැසිරීම ඡන්දදායකයන්ට අමතකවීමට වසර 17 ක් ගතවීමයි.
වර්තමාන ආණ්ඩුවේ හවුල්කාරී සුළු පක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්නය ආදී අවස්ථාවලදී තම ගෞරවය පිණිස වීදි සටන්වලට එළෙඹි බව පෙනෙන්නට තිබිණි. සභාග දේශපාලනයේ මෙබඳු මතවාදී ගැටලු අභ්‍යන්තර වශයෙන් විසඳා ගත යුතුය. ප්‍රමාණයට වඩා ප්‍රදර්ශනකාමීවීම මෙන්ම වැදගත් යෝජනාවලදී ආණ්ඩුව ප්‍රමාණයට වඩා සංවෘත වීමද වරදකි. සභාග දේශපාලනයේදී වඩා වැදගත් වන්නේ තීරණවලට වඩා තීරණවලට එළඹෙන ආකාරයේ සුහදත්වයයි.
මෙබඳු පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට පොඑපෙ නායකත්වය ලබාදිය යුතු යැයිද, එසේ නොකර ජනාධිපති කාර්යාලයේ ඔහු තනි කිරීම සුදුසු නැතැයිද ඇමැති විමල් වීරවංශ සති අන්ත පුවත්පතක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ. මෙයට වහා ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, එයට තම පක්ෂයෙන් ඇමැතිවරයා සමාව ගත යුතු වරදකැයි කීය. මෙම වාග් ප්‍රහාර ආණ්ඩුවේ අවසානයේ ආරම්භය ලෙස විපක්ෂය දැක තිබිණ.
එහෙත්, මන්ත්‍රීවරුන් 14 දෙනකු මිලදී ගෙන ආණ්ඩුව බිඳ දමා, සමගි පෙරමුණු ආණ්ඩුවේ සමගිය බිඳ දැමීමට අනුර බණ්ඩාරනායක මෙහෙයවා අත්දැකීම් සහිතව බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩු පෙරළන සූත්‍රය 1978 දී අක්‍රිය කළේය. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමේ මූලික පරමාර්ථය වූයේ සුරක්ෂිත ආණ්ඩුවක් යන සංකල්පයයි. එබැවින් සන්ධාන ගතවී සිටින පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වුවද ආණ්ඩුවේ ආයු කාලය නිරුපද්‍රිතව ගත කරනු ඇත. එය පමණක් ප්‍රමාණවත් නොවන බවද දියුණුවට වඩා පවුලේ සමගිය වැදගත් බවද අවධාරණය කළ යුතු කරුණකි.
