පළාත් සභා මැතිවරණය පවත්වන හැටි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා දැනට පවතින මැතිවරණ නීති සංශෝධනය විය යුතු තැන් ඇති බවත්, ඒ සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට කටයුතු කරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති බවත්, ඒ සඳහා අගමැතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් මැතිවරණ කොමිසමේ නව සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහනුවරදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ විද්‍යුත් ඡන්ද ක්‍රමයක් ගැන සාකච්ඡා වන බවත්, එය කුමන ආකාරයේ එකක් වියයුතුද යන්නත්, ඇමරිකන් ක්‍රමයද, කොරියන් ක්‍රමයද, ජපන් ක්‍රමයද එසේ නොමැතිනම් ඉන්දියන් ක්‍රමයද යන්න තීරණය විය යුතු බවත්, එම විද්‍යුත් ඡන්ද ක්‍රමය පිළිබඳව පත්කරන තේරීම් කාරක සභාවේදී එය තීරණය කළ හැකි බවත් හෙතෙම පැවසීය.

එසේම මැතිවරණයකදී දේශපාලන පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයන් සිදුකරන අසීමිත වියදම් පාලනය පිළිබඳවද අවධානය යොමු කරමින් ඒ සඳහා වූ නීති ගෙන ඒමේ වැඩපිළිවෙළක් පිළිබඳවද අවධානය යොමු කරමින් සිටින බව පුංචිහේවා මහතා කීය.

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මේ අදහස් ප්‍රකාශ කළේ නව තනතුරට පත්වීමෙන් පසුව දළදා සමිඳුන් වන්දනාමාන කරගෙන මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණ සිටි අවස්ථාවේදීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වන්නේ සියලුම දෙනාටම නිදහසේ තම ඡන්දය පාවිච්චි කිරීමට හැකියාව තිබීම බවත්, හැම දෙනාටම එම අවස්ථාව තිබිය යුතු බවත්ය. නමුත් දැනට පවතින තත්ත්වය මත සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවල ඇතැම් පිරිස්වලට මෙන්ම මාධ්‍ය කටයුතුවල යෙදෙන පිරිසටද ඡන්දය දිනයේම ඡන්දය ප්‍රකාශ කිරීම ඔවුන්ට පැවරෙන කටයුතු නිසා නොහැකි වන බවය. ඒ නිසා මෙම පිරිසට තැපැල් ඡන්ද හිමිකම්ද නොමැති බැවින් පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ වැඩසටහනක් පිළිබඳව සාකච්ඡා වෙමින් පවතින බවයි. ඒ සඳහා පවතින නීති වෙනස් විය යුතු බැවින්, මේ නීති වෙනස්වීම් පිළිබඳව ඉදිරියේදී පත් කිරීමට නියමිත  තේරීම් කාරක සභාවේදී කටයුතු කළ හැකිවනු ඇති බවත් නිමල් ජී. පුංචිහේවා මහතා කියා සිටියේය.

ඊට අමතරව අවුරුදු 18 පිරුණු විගසම ඡන්දය පාවිච්චි කිරීමට හැකිවන ආකාරයෙන් පනතක් ගෙන ඒම පිළිබඳව පසුගිය මැතිවරණ කොමිසම පැවැති සමයේදීද කටයුතු කරමින් තිබූ බවත්, එය දැනට සකස් කර ඇති බැවින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට හැකිවනු ඇති බවත් ඒ මහතා කීය.

පළාත් සභා මැතිවරණය ගැන විමසා සිටීමේදී සඳහන් කළේ තමන් තනතුරට පත්වූ පසුව පක්ෂ ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවේදී බහුතර පිරිසක් පළාත් සභා අවශ්‍ය බව ප්‍රකාශ කළ බවත්, ඒ අනුව පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නම් පනත සංශෝධනය විය යුතු බවත්, එම පනත සංශෝධනය වුවහොත් ඒ අනුව මැතිවරණය පැවැත්විය හැකි බවත්ය.

මැතිවරණ කොමසාරිස් ඇතුළු පිරිස අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් බැහැදුටු අවස්ථාවේදී අනුශාසනාවක් කළ මහානායක හිමියන් සඳහන් කළේ දැනට පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුතු බවත්, එසේ නොමැතිව රටට ඉදිරි ගමනක් යාම අපහසු විය හැකි බවත්ය.

Leave a Reply