73 වන ජාතික නිදහස් දිනය අද

නිදහස ලබා ගතවූ වසර 73 ක කාලය තුල අපි ජාතියක් වශයෙන් බොහෝ අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා. ආගමික හා වාර්ගික මත ගැටුම්, ජාතිවාදී හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, අනිසි විදේශ බලපෑම්, ව්‍යවස්ථා අර්බුද වැනි ගැටලු රාශියකට අපි විටින් විට මුහුණ දුන්නා.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, අපේ රටේ ජීවත් වන විවිධ ජනවර්ග අතර සැබෑ සංහිඳියාවක් ඇති කිරීම මෙන්ම, දුප්පත්කම සහමුලින්ම තුරන් කොට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා රටට තිරසාර සංවර්ධනයක් උදා කිරීමේ අභියෝගය තවමත් අප ඉදිරියේ තිබෙනවා.

මම සිංහල බෞද්ධ නායකයෙක්. එය ප්‍රකාශ කරන්නට මම කිසිවිටක මැලි වන්නේ නැහැ. මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම් වලට අනුවයි. සෑම ආගමකටම, සෑම ජාතියකටම නිසි ගරුත්වය ලබා දෙන අවිහිංසාවාදී සාමකාමී බෞද්ධ දර්ශනය තුල අපේ රටේ සෑම ආගමිකයෙකුටම, සෑම ජාතිකයෙකුටම, රටේ පවතින නීති රාමුව තුල එක හා සමානව නිදහස භුක්ති විඳීමේ අයිතිය තිබෙනවා.

දේශීයත්වය අගයන, රටේ ස්වෛරීත්වය සුරකින ජාතික නායකත්වයකට එරෙහිව ජාතිද්‍රෝහී බලවේග එක්වී කඳවුරු බැඳගැනීමත්, තම අරමුණු ඉටුකර ගැනීම සඳහා දේශීය මෙන්ම විදේශීය බලවේග වල සහාය පැතීමත් හැමවිටම සිදුවෙනවා. මේ අය ඉතා සූක්ෂම ලෙස විවිධ බොරු ප්‍රචාර හරහා ජනතාව නොමග යවන්නට කටයුතු කරනවා.

මා ඉල්ලනවා, මේ රටේ ජනතාවගෙන් සැමවිටම විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියා. දත්ත මත පදනම් කොට කරුණු විමසා බලා, සත්‍යය හඳුනාගෙන තීන්දු තීරණ ගන්නවා නම් කිසිවෙකුට ජනතාව නොමග යවන්නට බැහැ.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ රටේ ජීවත්වන සෑම පුරවැසියෙකුටම හිමිවන්නේ සමාන අයිතියක්. වාර්ගික හෝ ආගමික හේතු මත පුරවැසියන් බෙදා වෙන් කිරීමේ උත්සාහයන් අපි ප්‍රතික්ෂේප කරනවා.

සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කරන අතර අපේ රටේ ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් යන ප්‍රතිපත්තිය වෙනුවෙන් අපි හැම විටම පෙනී සිටිනවා.

නීතියේ ආධිපත්‍යයට අප සැමවිටම ගරු කරනවා. පසුගිය කාලයේ දේශපාලනඥයින් විසින් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ අධිකරණයට සිදු කළ ආකාරයේ බලපෑම් ජනතාව ප්‍රතික්ෂේප කළා.

එසේ වුවත් ජනතාව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීගෙන් සාධාරණ, අපක්ෂපාතී මෙන්ම කාර්යක්ෂම සේවාවක් බලාපොරොත්තු වෙනවා.

ගෝඨාභය රාජපක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති.

ශ්‍රී  ලාංකේය සියලු පුරවැසියන් 73 වන ජාතික නිදහස් දිනය සමරනු ලබන්නේ ඉමහත් අභිමානයෙනි.

යටත් විජිතයක් බවට පත් වූ දින පටන් නිදහස දිනා ගැනීමට ලක්වැසියන් කළ කැපවීම හා සටන් ලෝක ඉතිහාසයේ නම් දරා තිබේ.

යුද ශක්තිය මෙන්ම දේශපාලන, ආගමික හා සංස්කෘතික මුහුණුවරින් ද උපක්‍රමික අරගලවල යෙදෙමින් නිදහස දිනාගත් අතීතයක් ශ්‍රී ලාංකේය ජාතියට හිමිය.

අද වන විට අපගේ මාතෘභූමියට අවශ්‍යව ඇත්තේ ලැබූ නිදහස අර්ථවත් කර ගැනීමේ ක්‍රියාවලියයි. ජාතීන් අතර සමගිය වර්ධනය කර ගැනීම හා ආගමික සංහිඳියාව ඊට දක්වන්නේ ප්‍රබල පිටුබලයකි.

විවිධ අභියෝග හමුවේ දේශියත්වය අගයන ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් මාතෘ භූමිය සංවර්ධනය කරා ගෙනයාමේ මාවතට අප දැන් ප්‍රවිෂ්ට වී තිබේ.

සෑම ක්ෂේත්‍රයකම සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ අවබෝධ කරගනිමින් ජනතාව මත තැබූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් නිදහස තවත් අර්ථවත් වනවිට “ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක්” යන්න යථාර්තයක් වනු ඇත.

ඉතිහාසය පුරාවට මාතෘ භූමියට එරෙහි දෙස් විදෙස් බලවේග මෙන්ම ත්‍රස්තවාදය පරාජය කිරීමේ ස්ථිර ප්‍රතිපත්තියක අපි කටයුතු කළෙමු. කොතරම් අභියෝග පැමිණිය ද අපගේ මාතෘ භූමිය අප කිසි ලෙසකින් පාවා දී නැත.

කොවිඩ් – 19 දැන් ලෝකය හමුවේ ඇති විශාලම අභියෝගයයි. ජනතාව මෙම අර්බුදයෙන් නිදහස් කර ගැනීමේ සටනට අප දැන් උර දී සිටී. සතුරු බලවේග පරාජය කිරීමට මෙන්ම කොවිඩ් – 19 පරාජය කිරීමට ද ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස අපි නැගී සිටිමු.

අපගේ මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ හා අපරිමිත කැපවීම් කළ සියලු දෙනාටත් වර්තමානයේ එම අභියෝගය හමුවේ නොසැලී කැපවන දෑ හිතකාමී සියලු දෙනාටත් මාගේ ගෞරවය පුද කරමි.

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

අග්‍රාමාත්‍ය

දේශයේ අභිමානවත් නිදහස් සැමරුම අදට යෙදී තිබේ.අපේ මාතෘභූමියට නිදහස ලබා ගැනීම උදෙසා ජාති ආගම් පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනාම එක මවකගේ දරුවන් සේ කටයුතු කළ ඉතිහාසය අතිශයින්ම හැගුම්බරය. 

ස්වෛරී රටක එකම ධජයක සෙවනෙහි සහෝදරත්වය පෙරදැරිව ජීවත්වීමේ පවිත්‍ර අපේක්ෂාවන් ඔවුන් තුල වූහ.ඒ උදෙසා ස්වකීය ජීවිත පූජා කළවුන්ද, ලේ, දාඩිය, කදුලු, හෙලූ විරුවන්ද උත්තමාචාරය පෙරදැරිව සිහිපත් කරමු.

ඔවුන්ගේ ප්‍රාණ වායුව මේ රටේ උදාර ඉතිහාසයේ අනභිභවනීය සටහනක් වෙනවා මෙන්ම ඔවුන්ගේ ඉතිහාසය අපට කියාදෙන අපූර්වතම පණිවිඩය වන්නේ එක්ව සමඟියෙන් ඉදිරියට යෑමෙහි වටිනාකමයි.

කෙසේ වෙතත්, දේශයක් ලෙස ලද ජයග්‍රහණ, ලැබූ පසුබෑම් මෙන් ම පරාජයන් ද ඉක්ම ගිය වසර 73 තුළ අපට අත්දැකීම් සපයයි. බාහිර අතපෙවීම් තුලින් දේශයේ ස්වෛරීත්වයට බලපෑම් වීමට නොදීමත්,දේශීය සම්පත් සුරක්ෂිත කිරීමත් දේශපාලන ,ආර්ථික,සමාජ,සංස්කෘතික ,ආගමික,මාධ්‍ය යනාදී සකලවිද  අභ්‍යන්තර නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සුරක්ෂිත කිරීමත් අප ඉදිරියේ ඇති අභියෝගය යි.

එමෙන්ම ලෝකය දිනන, ප්‍රෞඩ දේශයක් ලෙස  ශක්තිමත් ව පෙරට ඒමේ බලය සමස්ථ ජනතාවට ලබා දෙන, උතුම් මානව සබදතා වලින් පරිපූර්ණ  ප‍්‍රබුද්ධ සමාජයක් අපගේ ප‍්‍රාර්ථනය විය යුතුය.දේශයේ ස්වාධීනත්වයට, ස්වෛරීත්වයට මෙන්ම භෞමික අඛණ්ඩතාවට ගරු කරන සියලු ජන කොටස්වල සංස්කෘතික හා ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමට කැපවෙන අරමුණු අප කා තුලත් වර්ධනය විය යුතුය.

මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන් අරුත් ගැන්වූ පංචවිද නිදහස අර්ථවත් කොට එය සැබෑවක් කිරීමට පෙළ ගැසීම සමස්ත  පුරවැසියන්ට පැවරෙන අත් නොහැරිය හැකි වගකීමකි. ඒ වෙනුවෙන් ඇප කැපවෙන උදාර මිනිසුන් අනාගත ස්වර්ණමය ශ්‍රීලංකාවේ ශ්‍රේෂ්ඨතම වීරයින් වනවාට සැක නැත.

සජිත් ප්‍රේමදාස,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විපක්ෂ නායක

Leave a Reply