නැවත වතාවක් විදුලි බල මණ්ඩලයට ගල් අඟුරු මාෆියාවේ සෙවණැලි වැටෙමින් තිබෙන බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වෙමින් පවතී. ඊට හේතුවී ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ස්විස් ඉන්ටර්නැෂනල් සහ ස්විස් AG ආයතනවලට ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 90ක් බැගින් ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය ලබාදීමට විදුලි බල අමාත්‍යාංශය සූදානම් වීමයි. චෝදනා නගන පාර්ශ්ව පවසන්නේ මේ වන විට ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු මිල ඩොලර් 65කට අඩුවෙන් පවතින තත්ත්වයක් තුළ විදුලි බල විෂයට සම්බන්ධ නිලධාරී මාෆියාව විසින් නැවත වතාවක් වැඩි මිලට ගල් අඟුරු මිලදී ගැනීමට සැලසුම් කරන බවයි.
පුනර්ජනනීය බල ශක්ති ඉලක්කය
එම චෝදනාවලට යම් පදනමක් පවතින බව පෙන්වීමට ඉදිරිපත් කර ඇති තර්ක කිහිපයක්ද කැපී පෙනේ. ඉන් පළමුවැන්න වන්නේ, අවසාන වශයෙන් මෑතකදී මෙරටට රැගෙන ආ ටොන් 01ක් ඩොලර් 60 බැගින් වූ ගල් අඟුරු තොගයයි. පවතින කොරෝනා වසංගතය හමුවේ යම් ප්‍රමාණයකට ගෝලීය ගල් අඟුරු ඉල්ලුම පාලනය වී ඇති අතර ඒ අනුව හදිසියේ ඩොලර් 30කින් ගල් අඟුරු මිල ඉහළ ගොස් ඇතැයි පැවසීම අතාර්කික බව යම් පමණක සත්‍යයකි. ඇතැම් ශීත කාලවලදී ශීත රටවල පවතින වැඩි ඉල්ලුම හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යෑමක් සිදුවේ. එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් වර්තමානයේ සමස්ත ලෝකය පුරාම ඉන්ධනවලට ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් අඩුවී තිබේ. ඒ නිසා ගල් අඟුරු මිලත්, තෙල් මිලත් පවතින්නේ පාලිත තත්ත්වයකය. ඒ අනුව ගල් අඟුරු මිල පවතින්නේ ඩොලර් 50 – 60 ත් අතර පාලිත තත්ත්වයකය. විශේෂ ස්ථාන කිහිපයක, උදාහරණයක් ලෙස චීනය හා ඔස්ට්‍රේලියාව අතර පවතින වෙළෙඳ යුද්ධය මත මතුවී තිබෙන කරුණු හැරුණු කොට ලොව අනෙක් ස්ථානවල සාමාන්‍ය තත්ත්වය මෙයයි.
කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ මෙම ගල් අඟුරු මිලදී ගැනීම් හේතුවෙන් මතුව ඇති චෝදනා පිළිබඳව නොව ප්‍රකාශයට පත්කර ඇති ශ්‍රී ලංකාවේ බලශක්ති ප්‍රතිපත්තිය සමග ගැටෙන ගල් අඟුරු ආශ්‍රයෙන් තවදුරටත් විදුලිය ජනනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවයි. වසර ගණනාවක විළිලෑමකින් අනතුරුව 2019 වර්ෂයේ අගෝස්තු 08 වැනිදා විදුලි බල අමාත්‍යාංශය විසින් මෙරට ජාතික බලශක්ති ප්‍රතිපත්තිය ගැසට් පත්‍රයක් මගින් එළිදැක්වීය. වසර 20කට වැඩි, මෙරට විදුලි බලය ප්‍රමුඛ බලශක්තිය සඳහා වූ රාජ්‍ය ප්‍රතිපත්තියක් සැකසීමේ කූටප්‍රාප්තිය එයයි. රටේ පුනර්ජනනීය බලශක්තිය ඉහළ නැංවීමේ දායකත්වය පිළිබඳව එහි සඳහන් කර ඇත්තේ මේ ආකාරයෙනි.
“සුනිත්‍ය බලශක්ති අධිකාරිය හරහා ආරම්භ කරන පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන වැඩසටහනක් හරහා ආයෝජනයට සුදුසු මට්ටමකට සංවර්ධනය කරන ලද නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සමූහයක් 2020 මැද භාගයේදී තරගකාරී මිල ගණන් කැඳවීමකට සූදානම් කෙරේ.මේ හරහා 2023 වසර වන විට මෙගාවොට් 1600ක ධාරිතාවකින් විදුලි ජනනයෙන් 20%ක් සම්පාදනය කෙරෙනු ඇත.”
ඒ අනුව වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන ධාරාවද ඇතුළුව මෙරට සමස්ත දේශපාලන තන්ත්‍රයම යහපාලන ආණ්ඩුවේ අවසන් සමයේ එකඟතාව පළ කර ඇත්තේ 2023 වසර වනවිට මෙරට සමස්ත බලශක්ති අවශ්‍යතාවෙන් අවම තරමින් 20%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් (ජල, සුළං හා ස්වභාවික වායු ඇතුළුව) හරහා ජනනය කිරීමටයි.
මීට සමගාමීව වත්මන් ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ සිය ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සම්බන්ධයෙන් දක්වා ඇති යෝජනාද සලකා බැලිය හැක. එහි 58 වැනි පිටුවේ සැලකිව යුතු ඉඩක් වෙන් කරමින් ඒ පිළිබඳව මෙසේ සටහන් කර ඇත.
“…2030 වන විට රටේ සමස්ත බලශක්ති අවශ්‍යතාව උපරිමයෙන් පුනර්ජනනීය ප්‍රභවයන්, ජල විදුලිය සහ ස්වභාවික වායු භාවිතයෙන් පරිසර හිතකාමීව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බලශක්ති සැපයුම අපි සකස් කරන්නෙමු. දැනට පවතින සැලසුම අනුව 2020දී බ්‍රෝඩ්ලන්ඩ් බලාගාරයත්, 2021දී උමා ඔයත්, 2023දී මොරගොල්ල බලාගාරයත්, 2024දී තලපිටිගල සහ සීතාවක ගඟ යන ජල විදුලි බලාගාරත් හරහා මෙගාවොට් 230ක පමණ විදුලි බලය නිපදවනු ඇත.
කැලණිතිස්ස බලාගාරය නොපමාව ස්වභාවික ගෑස් ටර්බයින් ආශ්‍රිත බලාගාරයක් බවට පත්කිරීමටත් 2030ට පෙර හම්බන්තොට සහ කෙරවලපිටියේද එවැනි බලාගාර දෙකක් ආරම්භ කිරීමටත් කටයුතු යොදන අතර පරිසර හිතකාමී ප්‍රතිපත්තිය යටතේ ඉදිරි වසර තුළ කොළඹ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඉන්ධන ආශ්‍රිත බලශක්ති බලාගාර ස්වභාවික ගෑස් (LNG) වලට මාරු කිරීම අපගේ සැලසුම වේ.”
මේ අනුව බලන විට විදුලිබල නිෂ්පාදනය සම්බන්ධයෙන් මේ වනවිට පවතින ජාතික ප්‍රතිපත්තිය මෙන්ම ආණ්ඩුවේ න්‍යාය පත්‍රයද පැහැදිලිවම එකිනෙක සමපාත වෙයි. මෙම දෙතැනදීම අවධාරණය කර ඇත්තේ තවදුරටත් පොසිල ඉන්ධන දහනය මගින් විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවට පුනර්ජනනීය බලශක්තියට ප්‍රමුඛතාව ලබාදීමයි. එහිදී කිසිදු ආකාරයකින් ගල් අඟුරු හෝ ඩීසල් බලාගාරවලට ප්‍රමුඛතාව ලබාදීමක් ගැන කියවෙන්නේ නැත.
ගල් අඟුරු හොදම විකල්පයද?
එහෙත් දැන් නැවත වතාවක් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවන අදියරේ ඉදිකිරීම් කඩිනමින් ඇරඹීම ගැන කනින් කොණින් වාර්තා ලැබේ. විදුලි බල අමාත්‍යංශ වාර්තා අනාවරණය කරන ආකාරයට,මේ වන විට රට දරුණුතම විදුලි හිඟයකට මුහුණ දී සිටින අතර දැන් තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇති බවත්, උත්පාදන ධාරිතාව ඉහළ නැංවීමට මෙන්ම සැලසුම් කළ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය (CEB) අපොහොසත් වී ඇති බවත් අවධාරණය කරමින් ‘නිලධාරීහු පිරිසක්’ මෙම ‘ලක්විජය බලාගාරයේ’ තෙවන අදියරේ ඉදිකිරීම් ඉදිරි මාස කිහිපයේදී කෙසේ හෝ ඇරඹීමට උත්සාහ කරමින් සිටිති. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ ස්වභාවික වායු බලාගාර සැලසුම්වලට පෙර ලක්විජය බලාගාරයේ තෙවන පියවර 2023 වර්ෂය වනවිට අවසන් කිරීමට ගෙන ඇති ‘ප්‍රතිපත්තිමය තීරණය’ විදුලි බල මණ්ඩලයේ ‘ජනන සැලැස්මට’ අනුව ක්‍රියාත්මක කළ යුතු බවයි. එසේ නොවුණහොත් මෙම වසරේදී රටට වරින් වර විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.එසේම ඉල්ලුම සපුරාලීම සඳහා වැඩි විදුලි උත්පාදනයක් සඳහා ලාභදායී හා පහසුම ක්‍රමය සඳහා ලංවිම යා යුතු බවත්, එබැවින් දැනට පවතින නොරොච්චෝලෙ වෙත දිගුවක් ඉදිකිරීම ගල් අඟුරු බලාගාරය වර්තමානයේ රටට ඇති හොඳම විකල්පය බවත් මෙම පිරිස අවධාරණ කරති.
එහෙත් පුනර්ජනනීය බලශක්ති සැලසුම් මගහරින අතරතුර ඔවුන් නොපෙන්වන තවත් තත්ත්වයන් කිහිපයක්ම ඇති බව පෙන්වාදිය යුතුය. ඉන් එකක් මෙසේය. නොරොච්චෝලෙහි යෝජිත තුන්වන මෙගාවොට් 300ක ගල් අඟුරු බලාගාරය පිළිබඳව මේ වන විට ප්‍රශ්න මතු වී ඇති අතර ක්ෂේත්‍රයේ විශේෂඥයන් චෝදනා කරන්නේ බලාගාරයේ ඉදිකිරීම් චීන සමාගමකට භාරදීම ශ්‍රී ලංකා විදුලිබල පනත උල්ලංඝනය කිරීමක් බවයි. මෙගාවොට් 25ට වැඩි විදුලි බලාගාර සඳහා විදුලිබල පනතේ දක්වා ඇති අනිවාර්ය තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය මෙහිදී රජය විසින් උල්ලංඝනය කරමින් මෙම ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම චීන යන්ත්‍රෝපකරණ ඉංජිනේරු සංස්ථාවට (CMEC) භාරදී තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති. එසේම, යෝජිත බලාගාරය සම්බන්ධයෙන් තවමත් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් (EIA) ලබාගෙන නොමැත. වර්තමාන බලධාරීන් විසින් නොසලකා හරින ලද සම්ප්‍රේෂණ මාර්ග සම්බන්ධ ගැටලු ඇතුළු තාක්ෂණික දුෂ්කරතා රාශියක්ද මෙහි වෙයි.
විදුලිබල ඇමැති කියූ දේ
මෙම කඩිමුඩිය පිළිබඳව සලකා බලමින් එය මේ මොහොතේ ආණ්ඩුවේත් සැබෑ කඩිමුඩිය දැයි විෂය භාර ඇමැති (විදුලිබල) ඩලස් අලහප්පෙරුමගෙන්ද මේ පිළිබඳව විමසීය. එහිදී අපට පෙනී ගියේ ඇමැතිවරයාගේ දැක්මද මෙම ගල් අඟුරු වැඩපිළිවෙළ සමග සමපාත නොවන බවයි.
“ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයේ අනාගත හැරවුම් ලකුණක් සනිටුහන් කරමින් මන්නාරම පිහිටුවනු ලැබූ මෙරට ප්‍රථම සුළං විදුලිබලගාර උද්‍යානය වන ‘තම්බපවනි’ පසුගිය දෙසැම්බර් අටවැනිදා විවෘත කළා. පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය ගැන දශක කිහිපයක් සිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ සිදුවන විශාල පරිසර හානිය නිසාය. එම නිසා ඉන්ධන දහනය මගින් විදුලිය නිපදවීමේදී වන පරිසර හානිය අවම කරගැනීමට ලෝකයටම බලකර තිබෙනවා. මෙය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද බලපවත්වන තත්ත්වයක් නිසා මෙම සුළං බලාගාරය ඉදිකිරීමට පියවර ගනු ලැබුවා. මේ අනුව ඉදිරි වසර දහය ඇතුළත මෙරට ඉහළ යන විදුලි බල අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් මෙගාවෝට් අටසීයක විදුලි බල උත්පාදනයක් මෙම සුළං විදුලි බලාගාරයෙන් උත්පාදනය කිරීමට අපේක්ෂා කරනවා.
පුනර්ජනනීය විදුලිබල උත්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් පරිසරයට වන හානිය මෙන්ම විදුලිබල උත්පාදනයට වන විශාල වියදමත් අවම කරගැනීමට හැකිවීම ජාතියේ ජයග්‍රහණයක්. එම ප්‍රතිපත්තිය ඉදිරියටත් ක්‍රියාත්මක වීම වෙනුවෙන් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් සිය ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩපිළිවෙළටත් ඇතුළත් කර තිබෙනවා. සාමාන්‍යයෙන් පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට ඒකකයකට රුපියල් තිහකට ආසන්න මුදලක් වැය වන නමුත් සුළං විදුලි නිෂ්පාදනයට වැය වන්නේ රුපියල් අටකට ආසන්න අගයක්. මෙමගින් මෙරටට ගෙන්වනු ලබන ඉන්ධන ප්‍රමාණය විශාල ලෙස අඩුකර ගැනීම මගින් විදේශ විනිමය ඉතිරිකර ගැනීමටත් පුළුවන්. ඒ වගේම කාබන් මෙට්‍රික් ටොන් මිලියන පහයි දශම හතක් පරිසරයට මුදා හැරීමද වළකිනවා. ඒ වගේම පුනර්ජනනීය බලයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය සවිමත් කිරීමට ඉදිරිපත්වන ඕනෑම ව්‍යවසායකත්වකට වසර හතක බදුසහන ලබාදෙන්නත් රජය සූදානම්.“‘
සියඹලාණ්ඩුවේ සූර්යබල උද්‍යානය
එසේ පැවසූ ඇමැතිවරයා, පුනර්ජනනීය බල ශක්ති ප්‍රවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී සියඹලාණ්ඩුවේදී පළමු සූර්යබල උද්‍යානය ඉදිකරන්නට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
ඇමැතිවරයා පවසන මෙම සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක සූර්යබල විදුලි බලාගාරයට 2020 දෙසැම්බර් පළමු සතියේ කැබිනට් අනුමැතියද ලැබී ඇති අතර ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන මත එය ඉදිකිරීමට නියමිතය. ඊට සමගාමීව ත්‍රිකුණාමලයේ මෙගාවොට් 10ක තවත් කුඩා සුළං බලාගාරයක් වෙනුවෙන්ද අනුමැතිය ලබාදී තිබේ. මීට අමතරව බෝලවත්ත, මාදම්පේ සහ කප්පල්තුරේ යන ස්ථානවලත් කුඩා සුළං විදුලි උපපොළ ඉදිකිරීමට නියමිතය. ඉදිකිරීම් අවසන් වූ විට ඒවායේ සමස්ත ධාරිතාව මෙගාවොට් 60ක් පමණ වනු ඇත.
මේ අතර ඉන්දියානු සාගර කලාපයේ සිය බලශක්ති ප්‍රක්ෂේපණය වැඩසටහනේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති උද්‍යානයක් ඉදිකිරීමට ඉන්දියාව ඉදිරිපත් කර ඇති යෝජනාවද විදුලිබල අමාත්‍යාංශය විසින් මේ වන විට සලකා බැලූවකි. එසේම පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Ltd) විසින් මීට පෙර ශ්‍රී ලංකාවේ ස්වාභාවික ද්‍රව වායු බලාගාරයක් පිහිටුවීමේ සැලසුම් ප්‍රකාශයට පත් කර තිබිණි. දකුණු ආසියානු අසල්වැසි ප්‍රදේශවල නව බලශක්ති පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව සමග පොදු විදුලි සම්බන්ධතාවයක් ඇති කිරීම සිය අභිප්‍රාය බව ඉන්දියාව ප්‍රකාශ කර ඇත.
ගල් අඟුරු විදුලිබල උත්පාදනය කිරීමේ හදිසි සැලැස්ම
මෙම සියලු ප්‍රතිපත්ති සහ සක්‍රිය වැඩසටහන් පවතිද්දී ගල් අඟුරු විදුලිබල උත්පාදනය පුළුල් කිරීමේ ලංකා විදුලිබල අමාත්‍යාංශයේ සහ මණ්ඩලයේ (CEB) මෙම ‘හදිසි සැලැස්ම’ පිළිබඳව විශාල ගැටලුවක් පැනනැගී ඇත. මෙම උත්සාහයේ අනතුරුදායක බව පෙන්වාදෙන පාර්ශ්ව පවසන්නේ අන්තර්ජාතික ගල් අඟුරු අලෙවිකරුවන් විසින් සකස්කර ඇති ගල් අඟුරු උගුලකට රට වැටෙනු ඇතැයි කියාය. පරිසරවේදීන්ගේ ඇසින් ගත් කලද මෙය රට තුළට කුණු පොම්ප කිරීමකි. සෞඛ්‍ය හා පාරිසරික අවාසි සැලකිල්ලට ගනිමින් ගල් අඟුරු බලයෙන් ඉවතට යන ධනවත් රටවල් විසින් දැන් භාවිත කරන යන්ත්‍රෝපකරණ ලබා දීමෙන් හා අපිරිසුදු ගල් අඟුරු රට තුළට පොම්ප කිරීමෙන් ශ්‍රී ලංකාව කුණු කන්දක් ලෙස භාවිතා කිරීමට උත්සාහ කරන බවටද ඔවුහු චෝදනා කරති. අදහස් දක්වමින් පරිසර සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර කියා සිටියේ ලෝකයේ පිරිසුදු ගල් අඟුරු නිධි දැනටමත් ධනවත් රටවල් විසින් සූරාකෑමට ලක්ව ඇති බවත්, එම රටවල් අන්තර්ජාතික වෙළෙඳුන්ගේ සහාය ඇතිව එම ගල් අඟුරු තොග ශ්‍රී ලංකාවට බැහැර කිරීමට උත්සාහ කරන බවත්ය.
අවසාන වශයෙන් ලිපියේ ආරම්භයේ සඳහන් කළ ගල් අඟුරු වියදම පිළිබඳවද යම් ප්‍රමාණයකට යළි සලකා බැලිය හැක. වර්තමාන විනිමය අනුපාතයට අනුව ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී ගල් අඟුරු කිලෝග්‍රෑමයකට රුපියල් 24ක පමණ මිලක් දැරීමට සිදුවන බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දෙති. මෙමගින් ඒකකයකට ගල් අඟුරු පිරිවැය රුපියල් 9.12 ක් පමණ වන අතර බලාගාර සඳහා ඩීසල් පිරිවැයද එක් කිරීමත් සමග ඒකකයකට ඉන්ධන පිරිවැය රුපියල් 9.90ක් පමණ වේ. බලාගාරයේ අනෙකුත් වියදම් එකතු කිරීමේදී (මූල්‍යකරණය හැර) ඒකක පිරිවැය රුපියල් 14.50ක් පමණ වන බව පොදු ගණනය කිරීමයි. වර්තමාන විනිමය අනුපාතයට ණය සහ කොටස් ප්‍රතිලාභ යෙදීමෙන් ඕනෑම නව ගල් අඟුරු බලාගාරකදී අවසන් වශයෙන් ඒකකයක පිරිවැය රුපියල් 20ක් වීම නොවැලක්විය හැකිය. එම නිසා පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කෙරෙන විදුලි ඒකකයකට සාපේක්ෂව ගල් අඟුරු විදුලි ජනනය වඩා ලාභදායී බවට නැගෙන තර්ක පැහැදිලිවම බැහැර කළ හැකිවේ. එම නිසා ජාතික ප්‍රතිපත්තිවලට පරිබාහිරව නව ගල් අඟුරු බලාගාර ඉදිකිරීම හෝ හදිසි මිලදී ගැනීම් යටතේ ගල් අඟුරු ප්‍රවර්ධනය කිරීම පිළිබඳව රාජ්‍ය තන්ත්‍රය විසින් වඩාත් අවධානයෙන් පසුවීම අත්‍යාවශ්‍ය වේ.
– නයන තරංග –
