අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව නිරන්තරයෙන් යොදාගැනීම පිළිබඳ දෙවරක් සිතා බලන මෙන් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය (IBAHRI) පවසයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් “සිර දඬුවම් පැනවීම පිළිතුර නොවන,” බව ද එම ආයතනයේ අධ්‍යක්ෂිකා හෙලනා කෙනඩි සාමිවරිය බීබීසී සිංහල සේවය සමග පවසා ඇත.
“අධිකරණයට අපහාස කිරීම කියන වරද නිරන්තරයෙන් යොදාගැනීම ගැන දෙවරක් හිතන්න කියල මම ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වරදට මිනිසුන් නිතර සිරගත කිරීම මේකට පිළිතුර නොවෙයි,” ඇය පැවසීය.
1947 දී පිහිටුවන ලද ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය (IBA), ලොව පුරා රටවල නීතිඥ සංගම් සහ නීති ක්ෂේත්‍රයේ සේවයේ නිරත වූවන් නියෝජනය කරන ජාත්‍යන්තර ආයතනය වේ. එහි මානව හිමිකම් ආයතනය (IBAHRI), සාධාරණ නීතියේ ආධිපත්‍යය යටතේ මානව හිමිකම් ප්‍රවර්ධනය, ආරක්ෂා කිරීම සහ සහතික කිරීම මෙන්ම විනිසුරුවරුන්ගේ සහ නීතිඥ වෘත්තියේ ස්වාධීනත්වය තහවුරු කිරීම පිණිස ක්‍රියාකරන ස්වාධීන, ජාත්‍යන්තර සංවිධානයකි.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට සිව් වසරක සිර දඬුවම් නියමවීමේ පසුබිම යටතේ අධිකරණයට අපහාස කිරීමේ වරද සහ ඒ සම්බන්ධයෙන් දිය යුතු දඬුවම සම්බන්ධයෙන් IBAHRI ආයතනයේ ස්ථාවරය
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වුවත්, වෙනත් රටක විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දැක්වීම ඉතා දුෂ්කර කරුණක් බව කියා සිටි සාමිවරිය, අධිකරණයට අපහාස කිරීම පිළිබඳව පියවර ගත යුතු අතර අධිකරණයට සහ අධිකරණයේ නීතියට ගරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කළාය.
“ඒ වගේම අධිකරණ පද්ධතියට අපහාස කරන පුද්ගලයන් ගැන කටයුතු කරන්න විනිසුරුවන්ට බලය තිබිය යුතුයි,” හෙලනා කෙනඩි සාමිවරිය එසේ කියා සිටියේ, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
“ඒත් අධිකරණයට අපහාස කිරීම ගැන අවුරුදු ගණන් සිරගත කරන එක හරිම දුර්ලභ දෙයක්. නිසි කළමනාකරණයක් තියෙන අධිකරණයකට එවැන්නක් අවශ්‍ය නැහැ. මේ වගේ තත්ත්වයක් ගැන කටයුතු කරන්න දීර්ඝ සිර දඬුවම් දීම ගැන මගේ අවධානය පළ වෙනව.”
“ආණ්ඩුව හෝ රාජ්‍යය විසින් නතුකර ගත නොහැකි ස්වාධීන විනිසුරුවරුන් සිටීම” කිසියම් රටක නීතියේ ආධිපත්‍යය සඳහා ඉතාමත් වැදගත් කරුණක් බව අවධාරණය කළාය.
“ඇතැම් අවස්ථාවල, ආණ්ඩුවලින් එල්ලවන පීඩනවලට එරෙහි වෙන්න සිදුවෙන බව දන්නා විනිසුරුවරුන් සිටීම, ස්වාධීන අධිකරණයක පැවැත්ම සහ නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්. එවැන්නක් පවත්වා ගැනීම විනිසුරුවන්ටත් ලොකු වගකීමක්.”
ඉබාරි (IBAHRI) ආයතනය ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය දෙස කලක් ඉතා කලකිරීමෙන් යුතුව බලා සිටි බව පවසන එහි අධ්‍යක්ෂවරිය, “ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ මිනිසුන් ඉන්න රටක්. වෙන හැම රටකම වගේ නිදහස සහ ගැටුම්වලින් තොරව ජීවත්වෙන්න කැමති හොඳ මිනිසුන් ඉන්න රටක්. ඒ සඳහා ඔබට හොඳ ආයතන අවශ්‍යයි,” යනුවෙන්ද සඳහන් කරයි.
