එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය තීරණාත්මකයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේට් ලබන මාසයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි විවේචනාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව වාර්තාවේ. ජිනීවා සැසිවාරයට පෙර එම වාර්තාවේ පිටපතක් ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිත බව පැවසේ.

ප්‍රසිද්ධියට පත්කිරීමට ප්‍රථම ලිපියේ අන්තර්ගත චෝදනා සම්බන්ධයෙන් අදහස් විමසීමට එහි පිටපතක් ශ්‍රී ලංකා රජයටද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් යොමු කර ඇත. අදාළ ලිපිය ශ්‍රී ලංකාවට ලැබී ඇති බව කලාපීය සහයෝගිතා රාජ්‍ය ඇමැති තාරක බාලසුරිය  තහවුරු කළේය. 

එසේම එම ලිපිය ඉක්මනින්ම ප්‍රසිද්ධියට පත් කෙරෙනු ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් එම ලිපියට ශ්‍රී ලංකා රජය මේ වනතුරු කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයිද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය 2021 පෙබරවාරි 22 සිට මාර්තු 19 දක්වා පැවැත්වීමට නියමිත අතර එහි න්‍යාය පත්‍රයට ‘ශ්‍රී ලංකාවේ තත්ත්වය’ සාකච්ඡා කිරීමද ඇතුළත්වේ. සැසිවාරයේදී, ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව පසුගිය වසරේ ඉවත් වීමෙන් අනතුරුව මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කරගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙහිදී සිදුකිරීමට නියමිතය.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ

වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි ඉලක්කගත සම්බාධක පැනවිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මිචෙල් බැචලේ ලබන මාසයේ ජිනීවාහි ආරම්භ වන මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරිපත් කරන ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාවේ දී ලෝකයාගෙන් ඉල්ලා සිටිනු ඇතැයි වාර්තාවේ.

ඊටත් වඩා දුර දිග යන මහ කොමසාරිස් වරිය එකී මානව හිමිකම් උල්ලංඝනය කළවුන්ට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) අපරාධ නඩු විභාග කිරීම සහ යුද අපරාධ පිළිබඳ චෝදනා සොයා බැලීමට හා සාක්ෂි රැස් කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීමට ද නිර්දේශ කර තිබේ. 

මේ තරම් බරපතල යෝජනාවක් මීට පෙර ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එල්ල කර නොමැත.

මෙම වාර්තාව මේ වන විටත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙත ලබා දී ඇති අතර එයට ප්‍රතිචාර දැක්වීමට ජනවාරි 27 දක්වා කාලය පවතින බව විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට පවසා තිබේ.  

Leave a Reply