ජනතාවගේ විශ්වාසය රඳාපවතින්නේ අධිකරණයේ ස්වාධීනත්වය මත.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ස්වාධීන අධිකරණ පද්ධතියක් අවශ්‍ය බව නීතිපති දප්පුල ද ලිවේරා පැවසීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ නව විනිසුරුවන් ලෙස පත් කළ දිලීප් නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න පිළිගැනීම සඳහා පැවැති විශේෂ උත්සවයක් අමතමින් නීතිපතිවරයා එසේ කීය. රටක අධිකරණ පද්ධතියක විශ්වසනීයත්වය රඳාපවතින්නේ එය මෙහෙය වන විනිසුරුවන් මත බවද නීතිපතිවරයා ප්‍රකාශ කළේය.

‘‘මෙම බැරෑරුම් සහ උසස් කාර්යාලයේ වගකීම් භාර ගැනීමට සහ ඉටු කිරීමට ඔබ හොඳින් සන්නද්ධ සහ පළපුරුදු අය බවට කිසිදු සැකයක් නැත. අතීතය දෙස ආපසු හැරී බැලීමටත්, එම දිගු ගමනේදී පැමිණි අභියෝග ජය ගැනීම සඳහා ඔබගේ දායකත්වය ලබාදීමත්, නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට ඔබ දැක්වූ කැපවීමත් යළි තහවුරු කිරීමට මෙය සුදුසු කාලයක් සහ දිනයක් වේ. නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පවතින පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මෙරට ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ බලතල දරන ආරක්ෂකයා ලෙස අධිකරණය හඳුන්වා දිය හැකිය.

දිවයිනේ වසර දෙදහසකට වැඩි දීර්ඝ ඉතිහාසයක් තුළ අධිකරණ පද්ධතියට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත. රට තුළ නීතියේ ආධිපත්‍ය පැවතීම සඳහා මහජනතාව විසින් අධිකරණය පිළිගැනීම සහ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය අවශ්‍ය වේ. අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය රඳාපවතින්නේ අධිකරණයේ ස්වාධීනත්වය හා අඛණ්ඩතාව මතය. පරමාධිපත්‍යය ජනතාව සතුව පවතින අතර එය හුවමාරු කළ හැකිය. ජනතාවගේ පරමාධිපත්‍යය අධිකරණය විසින් මහජන විශ්වාසය මත ක්‍රියාත්මක කරනු ලැබේ. සමාජයක පවත්නා යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය සඳහා අධිකරණයේ ස්වාධීනත්වය හා අඛණ්ඩතාව ආරක්ෂා කළ යුතුයි. අධිකරණය මහජනතාවගේ විශ්වාසය දිනා ගැනීම සඳහා ස්වාධීන විය යුතුය. ස්වාධීන අධිකරණයක් යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරන ආයතනයයි.

නීතියේ ආධිපත්‍යයේ හරය වන්නේ, පරිපාලනය නීතියට බැඳී ඇති බවත්, නීතියට අනුකූලව මිස පුද්ගලයන්ගේ අයිතිවාසිකම්වලට බාධා කළ නොහැකි බවත්ය. එක්දාස් නවසිය පනස් නවයේ ජනවාරි මාසයේ නවදිල්ලියේදී පැවැති අන්තර්ජාතික නීතිවේදීන්ගේ සම්මේලනයේදී ප්‍රකාශ කෙරුණු ආකාරයට ස්වාධීන අධිකරණයක් යනු නිදහස් සමාජයක් සඳහා අත්‍යවශ්‍ය ‘අවශ්‍යතාවක්’ වන අතර සමාජයක නීතියේ ආධිපත්‍යය පැවතීම අත්‍යවශ්‍ය වේ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් නීතියේ ආධිපත්‍යය යටතේ ක්‍රියාත්මක වීමට අධිකරණයේ ස්වාධීනත්වය හා අපක්ෂපාතී බව අත්‍යවශ්‍ය වේ.

විනිසුරුවන්ගේ ස්වාධීනත්වය හා යුක්තිය පසිඳලීමේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම බොහෝ දුරට රඳාපවතින්නේ විනිසුරුවන් සහ ඔවුන්ගේ ස්වාධීනත්වය මෙන්ම අපක්ෂපාතීත්වය ඉල්ලා සිටින රටේ මහජන මතයේ තත්ත්වය මතය. නීතියේ ආධිපත්‍යය යටතේ නීතිය ‘සැමට සමාන විය යුතුය’ යන මූලධර්මය වෙනුවෙන් පෙනී සිටින්නන් ලෙස අධිකරණ බලයේ සීමාවන් තුළ අධිකරණය ස්ථිරසාර කාර්යභාරයක් ඉටුකළ යුතුය.

ජාතියක ජීවය තුළ අධිකරණය සතුව බලය, වරප්‍රසාද සහ ස්වාධීනත්වය අනිවාර්යයෙන්ම පැවතිය යුතුයි. අධිකරණ කාර්යයන් ඉටුකිරීමේදී විනිසුරුවන් බාහිර පාලනයෙන් බලපෑමෙන් හා බිය ගැන්වීම්වලින් නිදහස් විය යුතුයි. එම ස්වාධීනත්වය රජයේ අනෙකුත් ශාඛාවලින් මෙන්ම පෞද්ගලික පාර්ශ්වයන් වෙතින්ද තිබිය යුතුය. මූලික මූලධර්මය වන්නේ අධිකරණ ක්‍රියාවලිය තුළ පක්ෂග්‍රාහීත්වය හෝ අගතිය පිළිබඳ ඉඟියක්වත් නොතිබිය යුතු බවයි.

ඔබ ඔවුන්ව විනිශ්චය කරන විට ජනතාව ඔබව විනිශ්චය කරනු ඇත. එබැවින් වගවීම සහ විනිවිද භාවය අධිකරණය විසින් ලබාදෙන විනිශ්චයන් ප්‍රකාශයන් සහ නියෝගවලින් ප්‍රදර්ශනය විය යුතුයි.

Leave a Reply