2011 සිද්ධිය 2021 යළි සිදුවෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය පසුගිය  18 වනදා  දිනයේ දී වාර්තා කළේ ඒකක 7,922.66 ක අගයයක් වාර්තා කරමිනි. මෙය 2011 පෙබරවාරි 14 දින වාර්තා වු එතෙක් ඉතිහාසයේ වැඩිම සියලු කොටස් මිල දර්ශක අගය වන ඒකක 7,811.82 සීමාව අභිබවා ගිය මුල්ම අවස්ථාව වේ. එපමණක් ද නොව 18 වනදා ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,000 සීමාව ඉක්මවා ගිය අවස්ථාවක් ද වාර්තා විය.

කෙසේ වෙතත් සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇතැයි යන නියමය සනාථ කරමින් ඊයේ දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 113.69 කින් පහළ යන ලදී. 2021 වසරේ සියලු කොටස් මිල දර්ශකය සෘණ වූ පළමු අවස්ථාව මෙයයි. දිනය අවසානයේ දී ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,808.97 ක් ලෙසින් සටහන් විය.

මීට පෙර 2011 වසරේ දී කොටස් වෙළෙඳපොළේ ඉහළම අගය වාර්තා වුණු දිනයට පසු දින ද සිදුවූයේ මෙවැනිම සිදුවීමකි.

2011 පෙබරවාරි 14 දින ගනුදෙනු නිමාව සටහන් වූයේ ඒකක 7,811.82 ක් ලෙසින් පෙර දිනයට සාපේක්ෂව ඒකක 255 ක සුවිශාල වර්ධනයක් සටහන් කරමිනි. කෙසේ වෙතත් ඊට පසු දින එනම් පෙබරවාරි 15 දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,607.79 ක් දක්වා ඒකක 204.03 ක පහළ යාමක් වාර්තා කළේය.

ඊයේ  දින සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූවද S&P SL20 දර්ශකය ඒකක 55.73 ක ඉහළ යාමක් වාර්තා කිරීම විශේෂත්වයකි.

මේ අතර ඊයේ  දිනය තුළ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම නම් කලකට පසු බැංකු සමාගම් කොටස්වල මිල ගණන් හි ඉහළ යාමක් වාර්තා වීමයි. මෙහිදී පෑන්ඒෂියා (24%), අමානා (17.14%), සම්පත් (8.35%), කොමර්ෂල් (7.10%), නේෂන්ස් ට්‍රස්ට් (5.60%), සණස සංවර්ධන (5.26%), සෙලාන් (4.76%), HDFC (4.64%), HNB (3.40%), NDB (2.68%), යූනියන් (2.67%), DFCC (1.77%) යන බැංකු සමාගම්වල කොටස් මිල ගණන් ධනාත්මක වර්ධනයක් ඊයේ  දින වාර්තා කරන ලදී.

කෙසේ වෙතත් සියලු කොටස් මිල දර්ශකය කෙරෙහි LOLC, කොමර්ෂල් ලීසිං, LOLC ෆිනෑන්ස්, එක්ස්පෝලංකා, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ඇතුළු සමාගම් 138 ක කොටස් මිල ගණන් පහළ යාම සෘණාත්මකව බලපාන ලදී.

රු. බිලියන 11.41 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. මෙහිදී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු. බිලියන 1.47), ඇක්සස් ඉංජිනියරින්ග් (රු.බිලියන 1) හා එක්ස්පෝලංකා (රු. මිලියන 991) යන සමාගම් විසින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.

Leave a Reply