අධිකරනයට අපහාස කිරීමේ චෝදනාවකට අදාලව සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පැවති යහපාලන රජයේ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවනු ලැබූ සිව් වසරක සිර දඩුවම මේ වන විට රටේ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇත. කුමන අතින් විග්‍රහ කර බැලුවද මේ දඩුවම වනාහී අතිශය රුදුරු දඩුවමකි. අධිකරණ අපහාසයට අදාලව ලංකාවේ පවතින නීතියේ ස්වභාවය පිළිබදව සලකා බලන කල පෙනී යන්නේ රටේ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමයේ බරපතල හිදැසක් මේ නඩු තීන්දුව මගින් නිරාවරණය වී ඇති බවය.
රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණ අපහාසය පිළිබද පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ ගංගාඩවිල වලව්වත්ත හි පදිංචි සුනිල් පෙරේරා නම් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු විසිනි. ලංකාවේ විනිසුරුවරුන්ගෙන් සියයට අණු පහක් දූෂිත පුද්ගලයින් සහ ඔවුන් මුදලට වැඩකරනා පිරිසක් ලෙස සදහන් කරමින් රන්ජන් රාමනායක මහතා 2017 අගෝස්තු 21 වන දින අරලියගහ මන්දිර පරිශ්‍රයේදී ජනමාධ්‍ය ඉදිරිපිට කරන ලද ප්‍රකාශයක් නඩුවේ නිමිත්ත වී තිබිණී. පෙත්සම්කරු ප්‍රකාශකර තිබුනේ මෙම ප්‍රකාශය මගින් රන්ජන් රාමනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාවේ 105 (03) වගන්තියේ සදහන් වන පරිදි අධිකරණයට අපහාස කිරීමේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කර තිබෙන බවය. සිසිර ඩී ආබෘ, විජිත මලල්ගොඩ සහ ප්‍රීති සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වසර තුනක පමණ කාලයක් පෙත්සම විභාගයට ගැනීමෙන් පසුව අධීතරණයේ තීන්දුව වූයේ මන්ත්‍රීවරයා එම වරද චේතනාන්විතවම සිදුකර ඇති බව කිසිදු සැකයනින් තොරව තහවුරු වන බවය. නඩු නිමිත්තට පාදක වූ මන්ත්‍රීවරයාගේ 2017 අගෝස්තු 21 ප්‍රතාශයට අමතරව ඔහු විසින් පසුකාලීනව 2017- 12- 14, 2018-03-23, 2018-06 04, 2018-06-18, සහ 2018- 10 -05 දිනවල කරන ලදැයි පැවසෙන ප්‍රකාශ කිහිපයක්ද අධිකරණය විසින් සැලකිල්ලට ගෙන තිබිණී.
රන්ජන් රාමනායක මහතා විවාදාත්මක චරිතයකි. දූෂණ විරෝධය ඔහුගේ ප්‍රධාන දේශපාලන තේමාවකි. විවාදාත්මක වූයේ ඔහු තම දූෂණ විරෝධී දේශපාලන සටන ගෙන ගිය ක්‍රමය හේතුවෙනි. ඔහුගේ විවේචනයට සහ හෙළිදරවු කිරීම් වලට ලක්වූයේ ඔහුට විපක්ෂ දේශපාල කදවුරේ පුද්ගලයන් පමණක් නොවේ. තමා අයත් දේශපාලන කදවුරේ බලවතුන්ටද ඔහුගේ විවේචනය සහ චෝදනාංගුලිය එල්ල විය. මේ සදහා ඔහු අනුගමනය කළ ක්‍රමය සම්බන්ධයෙන් සමාජයේ තිබුනේ මිශ්‍ර ප්‍රතිචාරයකි. සමහරු ඔහුගේ ක්‍රමය අනමත කළහ.සමහරෙක් විරුද්ධ වූහ. එහෙත් පොදුවේ කාහටත් එක විය හැකි කරුණක් වන්නේ ඔහු මතුකර පෙන් වූ බොහොමයක් දූෂණ හොර මැර ජාවාරම් ආදිය ඔහු සිතින් මවා ගත් ඒවා නොව රටේ දේශපාලන දුරාචාරය නිසා ඇත්ත වශයෙන්ම හටගත් පිටුදැකිය යුතු අපරාධ සහ දුර්ගුනාංග යන්නය. රන්ජන් රාමනායකගේ හඩ නිසා මේවා සිදු වූවා නොව මේ අපරාධ සහ දුර්ගුණාංග නිසා රන්ජන් රාමනායකගේ හඩ මතුවිය. රන්ජන් රාමනායක මහතාට දුන් දඩුවම තක්සේරු කළ යුත්තේ මේ පසුබිම තුළය.
මේ දඩුවම කිහිප ආකරයකින්ම අසාධාරණ දඩුවමක් වේ. වරදකට දඩුවම් දෙන නීතිය ඉතා පැහැදිලිව විස්තර වී සහ අර්ථතථනය වී තිබියයුතු වීම යුක්තිය පසිදලීමට අදාල මූලික කොන්දේසියකි. අධිකරණ අපහාසය සම්බන්ධයෙන් අප රටේ පවතින්නේ ඉතා දුර්වල නීතිමය රාමුවකි. මෙය ජාත්‍යන්තර මට්ටමින්ම අවධානයට ලක් වී ඇති කරුණකි. අධිකරණ අපහාසය යනු කුමක්ද යන්න අප රටේ නීතියේ අර්ථ දක්වා නැත. බොහෝ රටවල අධිකරණ අපහාසයට අදාල නිෂ්චිත නිති පණත් මගින් ස්ථාපිත කර ඇත. අප රටේ තවමත් එවැනි පණතක් නිති ගත කොට නැත. දෙවනුව මෙහි පැමිණිලි කරුවාම තම නඩුව ඇසීමේ තත්වයක්ද ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහි අපහාස නඩුව අසන්නේද ශ්‍රේෂ්ඨාධීකරණයමය! එමගින් ස්වභාවික යුක්තියේ ඉතා වැදගත් මූලධර්මයක් උල්ලංඝනය වේ. එසේම රන්ජන් රාමනායක මහතාට එරෙහිව තීන්දුව සැකසීමේදී පැමිණිල්ල අවස්ථාවේදී ඉදිරිපත් නොවූ ඔහුගේ පසුකාලීන ප්‍රකාශද ඉවහල් කර ගෙන තිබීම ඉතා විවාදයකට තුඩු දෙන්නකි. තවද මේ නඩු තීන්දු සම්බන්ධයේන අභියාචනා කීඍීමට අවස්ථාවක් ඇත්තේද නැත.
හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතාට එරෙහිව සහ සිවිල් ක්‍රියාකාරිකයකු වන ටෝනි එම්මෑනුවෙල් මහතාට එරෙහව මේ චෝදනාව යටතේම දඩුවම කරනු ලැබූ අවස්ථා දෙකෙහිදීම එම දෙදෙනා මේ නඩු තීන්දු වලට එරෙහිව ජාත්‍යන්තර මානවහිමිකම් පෙත්සම් ජිනීවා අධිකරණයට ඉදිරිපත් කළහ. අවස්ථා දෙකෙහිදීම ජිනීවා තීන්දුව විසින් ලංකාවේ අධීකරණ තීන්දු ප්‍රතික්ෂේප කරනු ලැබිණී. එහෙත් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ ජාත්‍යන්තර අධීකරණ තීන්දුව පිළි ගත්තේ නැත.
අධිකරණ අපහාසය යනු කුමක්දැයි නිශ්චිතවම අර්ථකථනය ඇති රටවල පවා අධිකරණ අපහාසය සම්බන්ධයෙන් මෙවැනි රුදුරු දඩුවම් ලබා දෙන්නේ නත. එම රටවල දඩුවම් පැමිණවීමේ අරමුන වන්නේ විශෝධනයයි. එක්සත් රාජධානිය සහ ඉන්දියාව යන රටවල මෑත කාලයේදී මෙවැනි වරදවල් සම්බන්ධයෙන් විනිසුරුවරුන් ගෙන තිබෙන සාර්ව ප්‍රවේශය ලංකාවේ විනිසුරු වරුන් අනුගමනය කරනා බවක්ද නොපෙනේ. මේ සියලු කරුනු අනුව පෙනී යන්නේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව දී තිබෙන දඩුවම නීතියට අනුකූල නොවන්නා සේම සාධාරණ වන්නේද නැති බවය.
තමන්ගේ පුද්ගලික කරුණු නොව රටේ පවතින සමාජ උවදුරු ගැන කතා කළ ජනතා නියෝජිතයකු මෙලෙස අසාධාරණ රුදුරු දඩුවමකට ලක්කිරිම දීර්ඝකාලීනව අයහපත් ප්‍රතිපල ගෙන ඒමට හේතු වනු ඇත. එයින් සිදු වන්නේ අධිකරණයේ ගව්රවය සුරැකීම නොව විනාශ වී යාමය. එහෙයින් මේ තත්වය ලංකාවේ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියේ පවතින බරපතල හිදැසක් ලෙස සලකා නිවැරදි කිරීමේ ක්‍රියාදාමයකට රට යොමු විය යුතුය.
වරදකරුට ජනාධීපති සමාවක් දීම සාධාරණත්වය තහවුරු කළ හැකි එක් ක්‍රියා මාර්ගයකි. මීට පෙරද මෙවැනි වරද සිදු කළ අයට ජනාධීපති සමාව ලබා දී ඇත. අනාගතයේදී මෙවැනි අසාධාරණකමි නොවීම සදහා නිෂ්චිතව විග්‍රහකරනු ලැබූ අධිකරණ අපහාස නිතියක් පණතක් මගින් ස්ථාපිත කිරිමද සිදු කළ හැකිය. ලංකාවේ නීති කොමිසම මෙවැනි නීතියක් කෙටුම්පත් කර ඇත අලුත් නීතියක් වශයෙන් 2008 දී පමණ කෙටුම්පත් කොට ඇත. එයින්ම පෙනෙන්නේ රටේ අධිකරණ අපහාස නීතිය අසම්පූර්ණ වූවක් යුක්තිය පසිදලීමේ කතිකාව තුළ පිළිගෙන ඇති බව නොවේද?
