පෞද්ගලික වාහනවලින් බැස පොදු ප්‍රවාහනයට බහුතරයක් එකතු වෙයිද?

ලෝක ආර්ථිකයට මහත් බලපෑමක් ඇති කරන වාහන තදබදය විසඳීම පිළිබඳ ලෝක ප්‍රජාව විසින් විවිධ උත්සාහයන් ගනිමින් සිටී. එහිදී භාවිත කළ හැකි වඩා යෝග්‍ය ක්‍රමයක් වන්නේ පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීමයි. පසුගියදා මෙරට ආරම්භවූ ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ සේවාවද අප රටේ මාර්ග තදබදයට විසඳුම් ලෙස ඉදිරිපත් වන්නකි. කොළඹ නගරයට දෛනිකව ඇතුළු වන වාහන ප්‍රමාණය අඩු කිරීමේ අරමුණින් මෙම පාර්ක් ඇන්ඩ් රයිඩ් සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ විණි. පෞද්ගලික වාහන මගින් සේවා ස්ථානය කරා යන පුද්ගලයන්ට ඉතා සුවපහසු බස් සේවාවක් ලෙසින් මෙම බස් සේවාව ක්‍රියාත්මක වේ. තම පෞද්ගලික වාහනය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වාහන අංගණයේ නවතා එතැන් සිට මෙම සුඛෝපභෝගී බස් සේවාවෙන් තම සේවා ස්ථානය කරා යෑමේ පහසුකම් මේ මගින් සැලසේ.

පොදු ප්‍රවාහන සේවාව සමාජ සේවාවකි

මෙම සේවාවෙන් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට නම් පොදු ප්‍රවාහන සේවාව යනු කෙටි කාලීන ලාභ ලබන වාණිජමය කටයුත්තකට වඩා දීර්ඝකාලීන ලාභ ලබන සමාජ සේවාවක් බව රජය සහ මහජනතාව විසින් තේරුම්ගත යුතුය. එම නිසා පොදු ප්‍රවාහන සේවාවන් දියුණු කිරීම තුළින් ලැබෙන ක්ෂණික වාසි සහ දීර්ඝ කාලීන වාසි පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. එක් බස් රථයක ගමන් කළ හැකි පිරිස වෙන වෙනම වාහනවල යෑමට උත්සහ කළහොත් එක් බස් රථයක් වෙනුවට දළ වශයෙන් කාර් රථ විස්සක් හෝ තිහක් අවශ්‍ය වේ. දුම්රියකින් යන ප්‍රමාණය වෙන වෙනම වාහනවල යෑමට උත්සාහ කළහොත් ඒ සඳහා වන පෞද්ගලික මෝටර් රථ අවශ්‍යතාව සිය ගණනක් විය හැකිය. එම නිසා පොදු ප්‍රවාහන සේවාවන් දියුණු කිරීම තුළින් ලැබෙන ක්ෂණික වාසියක් වන්නේ වාහන තදබදය අඩුවීමය. වාහන තදබදය නිසා සිදුවන ඉන්ධන නාස්තිය වායු දූෂණය ඇතුළුව නැති වන වටිනා කාලය රජයකට සමාජයකට බරපතළ මූල්‍ය ගැටලු හේතුවේ.

වෙන වෙනම වාහනවල ගමන් කළහොත් ගමන අවසානයේදී වාහනය නැවැත්වීමට අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය නගර මධ්‍යයේ හෝ වෙනත් ස්ථානවලින් සැපයීමට සිදු වන නිසා වටිනා ඉඩ ප්‍රමාණයක් සමාජයට නැති වෙයි. ගොඩනැගිලි සහ වාහනවලින් පිරුණු පරිසරයක් මිනිසාට මානසික ආතතියක් ගෙන දෙන්නක් වේ. එමෙන්ම මාර්ගයේ ගමන් කරන වාහන වැඩිවනවිට රිය අනතුරු ද වැඩිවිය හැකි බව නොසලකා හැරිය නොහැක.

පෞද්ගලික භාවිතයට ගන්නා වාහනයක් විශාල මුදලක් ගෙවා වෙනත් රටකින් ආනයනය කර රක්ෂණ මුදල්, වාහන නැවැත්වීම වෙනුවෙන් මුදලක්, අවශ්‍ය වේලාවට නඩත්තු කිරීම පිළිබඳව මුදලක් වැය කළද වසරකට දළ වශයෙන් ගමන් කරන දුර සලකා බලන විට කිලෝමීටරයක් ගමන් කිරීම සඳහා වැයවන මුදල ඉතා ඉහළ බව වැටහෙනු ඇත. එම මුදල තමන් දරන තනතුරට ගැළපීමත් කාල කළමනාකරණය වැනි ගැටලුවලට මුහුණ දෙන පිරිස පෞද්ගලික වාහනයක් භාවිත කළද පොදු ප්‍රවාහනය වෙනුවෙන් ආයෝජනය කරන ලද මුදල සැබෑ ආයෝජනයක්වීමට නම් ඉන් ලැබෙන සේවාව ගුණාත්මකභාවයෙන් යුක්තවීම වැදගත් වේ.

මානසික සුවය

පොදු ප්‍රවාහන සේවාවක් භාවිත කිරීම නිසා සේවා ස්ථානයට යෑමේදී තම මනස නිරවුල්ව තබාගැනීමට හැකිවේ. අද පෞද්ගලික වාහනයකින් සේවා ස්ථානයට යනවා යනු පොදු වහරින් පවසනවා නම් ඇඟේ ලේ කෝප කරන්නකි. අවිනීත රියැදුරන් නිසා මහමග වාහනයක් ධාවනය කරනවා යනු මානසික ආතතිය ඇතිකරන්නකි. එහෙත් පොදු ප්‍රවාහන සේවාවක ගමන් කිරීම නිසා රිය ධාවනයෙන් නිදහස්වීම නිසා මනස නිරවුල්ව ගමන් කිරීමට හැකිවේ. ඒ ගමන් කරන කාලසීමාවේදී පොතක් කියවීමට හෝ තමන් කැමැති ගීතයකට සවන්දීමේ අවස්ථාව උදාවේ. තම සේවා ස්ථානයට ගොස් රාජකාරී කටයුතු ඇරැඹීමට එම මානසික සමබර බව උත්තේජනයකි.

රිය ධාවනය කිරීමෙන් මානසික ආතතිය වැඩි වන බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් හදවත් රෝග වැඩි වීමේ ප්‍රවණතාවක් ඇති බවත් විවිධ පර්‌යේෂණ මගින් හෙළිවී ඇත. පොදු ප්‍රවාහන සේවාවක ගමන් කිරීම නිසා නිවසේ සිට බස් නැවතුම්පොළ දක්වා සහ ආපසු ගමනේදී නිවස දක්වා ඇවිදගෙන ඒම නිසා ශරීරයට ව්‍යායාමයක් ලැබෙන අතර මානසික සුවයක් ගෙන දෙන බවත් බොහෝ පර්‌යේෂකයන් පෙන්වා දී ඇත. එදිනෙදා හමුවන පිරිස අතර නව සමාජ සබදතා ගොඩනැගීමද සමාජයක යහ පැවැත්මට හිතකර වනු ඇත. එමෙන්ම හදිසියේ හෝ අනතුරකට භාජනය වුවහොත් කුඩා වාහනයක ගමන් කරනවාට වඩා විශාල වාහනයක ගමන් කිරීම තම ආරක්ෂාවටද හේතුවක් වනු ඇත.

පොදු ප්‍රවාහන ව්‍යාපාරය

කාරණා එසේ වුවද ජනතාව අද පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් කිරීමට මැලිකමක් දක්වති.අත්දැකීම් අනුව වැටහී ඇති කාරණාව වනුයේ පොදු ප්‍රවාහන සේවා ලබාදෙන පුද්ගලයන් එය සේවාවක් ලෙසින් නොසලකයි. ඔවුන් උත්සාහ ගනුයේ තම බස්රථය තුළ මගීන් පටවාගෙන ගොස් වැඩි ආදායමක් ලබාගැනීමටය. විශේෂයෙන්ම පෞද්ගලික බස් රථ මෙය සිදුකරනුයේ මගීන් ගැන කිසිදු තැකීමක් නොකරමිනි. ඔවුන්ට අද වනවිට පොදු ප්‍රවාහනය යනු ලාභ ලැබීමේ ව්‍යාපාරයක් පමණි. ඉන් මහජනයාට ගුණාත්මක සේවාවක් ලැබෙන්නේ නැත.

මේ ව්‍යාපාර හා බැදුණු රැකියා අවස්ථාවන්ද අද බොහෝය. එහිදී බස්රථ අයිතිකරු, රියදුරු, කොන්දොස්තරට අමතරව බස් රථ වලට මගින් පැටවීමට සිටින පිරිස, කාලසටහන පාලනය කරන පිරිස, විවිධ බලපෑම් කළ හැකි කප්පම් ගැනීමේ පිරිසක් මේ ව්‍යාපාරයෙන් යැපේ. එපමණක් නොව මාර්ග ධාවනයට අවශ්‍ය අවසර පත්‍රයක් (route permit) ලබා ගැනීමේ සිට දොලපිදේනි ලබාදිය යුතුය. මෙම තත්ත්වය නිසා පොදු ප්‍රවාහන සේවා සපයන්නන්ට මගීන්ගේ අවශ්‍යතාවට වඩා වෙනත් අවශ්‍යතාවන් ඉටු කිරීමට අවධානය යොමුකිරීමට සිදුව ඇත. එයද පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය බිඳ වැටීමට හේතුවී ඇත.

බස් එකේ කන්කරච්චලේ

අනෙක් කාරණය නම් බස් රථයක් තුළට නැගගත් විට යාචකයන්ගේ නැගෙන අදෝනාය. එපමණක් නොව සංචාරක වෙ‌​ළෙ න්දන්ගේ කෑගැසීම්ය. එවැනි තත්ත්වයක් තුළ බස් රථයක ගමන් කිරීම යනු මානසික වධයකි. බසයක් හෝ දුම්රියක් තුළදී නිදහසේ පොතක් කියවීමට, ගීතයකට සවන් යොමුකිරීමට එය මහත් බාධාවකි. පෞද්ගලික වාහනවල නිදහසේ ගමන් යෑමට පුරුදු වී සිටින පිරිසක් පොදු ප්‍රවාහන සේවාවන්ට පුරුදු කිරීමේදී මෙවැනි කරුණු පිළිබද අවධානය අත්‍යවශයෙන්ම යොමුවිය යුතුය.

මගමග පෞද්ගලික බස් රථ අතර ඇති තරගකාරීත්වය නිසා රථවල ගමන් කරනුයේ මර බියෙනි. තම ගමනාත්තයට අවශ්‍ය ප්‍රවේශ පත්‍රයක් නොලැබීම සහ ඉතුරු මුදල් ලබාගැනීමේදී කොන්දොස්තරවරයා සමග ආරවුල් ඇතිකර ගැනීමට සිදුවීම වැනි කාරණා නිසා පොදු ප්‍රවාහනයක ගමන් කිරීමට කැමැත්තක් ඇති පිරිස වුවද ඒ සදහා යොමු නොවේ. තම අවශ්‍යතාව, ගමන් සුවපහසුව, ආරක්ෂාව ඇතිව මෙරට පොදු ප්‍රවාහන ගමන් කරනවා යනු සිහිනයකි. එනිසා යම්කිසි ආකාරයක වාහනයක් මිලදී ගැනීමට ආර්ථික තත්වයක් ඇති සියලුම දෙනා වාහනයක් මිලදී ගැනීමට පෙළඹේ. එසේ නොහැකි අය බස් රථයක ගමන් කරනවට වඩා කාර්යාල වාහන, පාසල් වාහන, ත්‍රිරෝද රථ වැනි කුලී රථවල ගමන් කිරීමට පෙළඹේ. ඒ පොදු ප්‍රවාහනයේ ගමන් කිරීමේදී ඇතිවූ අමිහිරි අත්දැකීම් නිසාය. එය අපේ පොදු ප්‍රවාහන සේවාවල තිබෙන ගුණාත්මකභාවයේ දුර්වලතාව නිසා බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතු වේ. එනිසා ‘පාක් ඇන්ඩ් රයිඩ්’ වැනි සේවාවකින් පොදු ප්‍රවාහන පද්ධතිය කෙරෙහි මගී ජනයාගේ ආකල්පයන් වෙනස් කළ හැකි නම් එය මෙරට පොදු ප්‍රවාහනයේ ඉදිරි පිම්මක් වනු නිසැකය.

පොදු ප්‍රවාහනයට අකැමැත්තෝ

එමෙන්ම පොදු ප්‍රවාහන සේවාවල පහසුකම් කොතරම් දියුණු වුවද පුද්ගලික වාහනවල ගමන් කිරීමට ප්‍රියකරන පිරිසක් සිටිය හැකිය. වාහන තදබදය අවම කිරීම සඳහා පෞද්ගලික වාහනයක් ලියාපදිංචිය සීමා කිරීමට හෝ තහනම් කිරීමට සමහර රටවල් උත්සාහ කළ ද මෙසේ පෞද්ගලික වාහනයක් තබාගැනීමට කැමති පිරිස ඉහත නීතිවලට විරුද්ධත්වය සහ අකමැත්ත ප්‍රකාශ කර සිටී. තරුණ පිරිස පෞද්ගලික වාහනයක යෑමට ප්‍රිය කළද වයස ඉක්මවා ගිය පුද්ගලික වාහනයක් පදවා ගෙන යෑමට අපහසු සමාජය සමග ආශ්‍රය කිරීමට කැමැත්ත දක්වන වැඩිහිටි පිරිසක් පොදු ප්‍රවාහන සේවාවලට නැඹුරුවීමට ඉඩ ඇත.

මෙහිදී ප්‍රවාහන සේවා දියුණු වෙනවාට අකැමැති පිරිසක් ද සිටින බවද අමතක කළ යුතු නැත. එහිදී කුඩා කුලී වාහන අයිතිකරුවන් මේ අතර ඉහළින් සිටි. රටක් දියුණු වීම යනු පුරවැසියන් බහුතරයක් සුවපහසුවය. එනිසා රටකට වැදගත් වනුයේ තනි වාහනයක ගමනක් යනවා වෙනුවට බහුතරයකට ගමන් කළ හැකි දියුණු වූ පොදු ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යෑමයි.

පොදු ප්‍රවාහන සේවාව දියුණු කළ නොහැකිද?

පොදු ප්‍රවාහන සේවාව දියුණු කළ නොහැකිද දියුණු කිරීමට අවශ්‍යතාවක් තිබේද? මෙම ප්‍රශ්න දෙකට පිළිතුරක් අවශ්‍ය කර තිබේ.

එහිදී පොදු ප්‍රවාහන සේවාවන්වලින් මහජනතාව දිනෙන් දින ඉවත් වන්නේ කුමක් නිසා දැයි සොයා බැලීම වැදගත් වේ. රියැදුරන්ගේ සහ සහායකයන්ගේ හැසිරීම සහ ගතිගුණ මහජනතාව පොදු ප්‍රවාහන සේවාවලින් ඉවත්වීමට ප්‍රධාන හේතුවක් බැව් අමතක නොකළ යුතුය. පොදු ප්‍රවාහන රථයකට ගොඩවන මගීන්ව තම ගමනාන්තය දක්වා සුරක්ෂිත ප්‍රවාහනය කරන වගට විශ්වාසය ඇතිකළ යුතුය. බස් රථ හිමියන් හට ව්‍යවසායකත්වය පිළිබඳවද රියැදුරන් සහ සහායකයන් හට පාරිභෝගිකයන්ට සත්කාර ආමන්ත්‍රණය කිරීම ඇතුළු මිත්‍රශීලී ආචාරශීලීව සැලකීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්විය හැක.

අප රටේ සවස 6න් පසුව පොදු ප්‍රවාහනයන් අඩුය. විශේෂයෙක් පෞද්ගලික බස් රථ සවස 6න් පසුව ධාවනය කිරීමට මැලිකමක් දක්වයි. ඊට හේතුව ‘කටකපා’ මගීන් පැටවීමට නොහැකිවීමයි. එනිසා මගීන් වැඩිපුර නොමැති කාලයන්හිදි විශේෂයෙන් රාත්‍රී කාලයේදී පොදු ප්‍රවාහන සේවාවන් කාර්යක්ෂව ක්‍රියාත්මක විය යුතුය. එමෙන්ම බස් නැවතුම පොළවල ආරක්ෂාව පහසුව නොසලකා හැරිය නොහැක.

බස් රථ හිමිකරුවන් හා සේවකයන්ගේ ගැටලු

පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීමේදී මගීන්ගේ ආරක්ෂාව සහ පහසුව ගැන පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නොවේ. බස් රථ හිමිකරුවන් රියැදුරන් සහ සහායකයන්ගේ අවශ්‍යතාවද සැලකිල්ලට ගත යුතුය.

ඔවුන් සිදුකරන සමාජ සේවයට ගැළපෙන ආකාරයට පහසුකම් සැලසීම පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතුය. ඔවුන් ප්‍රවාහන සේවයට ඉටු කරන සේවය සැලකිල්ලට ගෙන සාධාරණ පහසුකම් සැලසීම් පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත්ය. මෙම ක්ෂේත්‍රයේ සිටින පිරිස තෘප්තිමත් කළ යුතුය. එවිට ඔවුන්ද ආත්ම අභිමානයෙන් සේවය ඉටු කරනු ඇත.

බස් රථ රියැදුරන්හට මෙන්ම සහායකයන්ට තම ගමන් වාරය පැමිණෙන තුරු පහසුවෙන් විවේකීව සිටීමට ස්ථානයක්, වැසිකිළි, කැසිකිළි අවශ්‍යතා ඉටුකර ගැනීම, ආහාර පාන ගැනීම වැනි පහසුකම් ඇති තැන් ඉතාම සීමාසහිතය. එවන් තත්ත්වයන් යටතේ රිය පැදවීම සුදුසු මානසික ස්ථාවරභාවයක් ඇතිදැයි සැක සහිතය. ඇතැම් විට එම මානසික පීඩාවන් පිටවනුයේ මගීන්ට අසභ්‍ය වචනගෙන් බැනීමෙනි. ඔවුන්ට තම රැකියාවේ ස්ථීරභාවයක් නැත. සේවක අර්ථසාධක අරමුදල් නොමැත. එනිසා අනාගත ජීවන සැලැස්ම අවිනිශ්චිතය. දිනක් රැකියාවකට නොගිය හොත් එදා දිනයේ ජීවත්වීමට මුදල් නොමැත. තම යැපෙන්නන් බඩගින්නේය. එනිසා පොදු ප්‍රවාහන සේවය ඇසුරේ සේවයේ නියැළි සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කර, ඔවුනට නිශ්චිත ආදායම් මාර්ගයන් ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව පවතී. එහිදී රජය සහ බස් රථ හිමිකරුවන් මේ සඳහා මැදිහත්විය යුතුය.

එපමණක් නොව බස් හිමියන් වුවද දිනකට ලැබෙන ආදායමෙන් සියලු ගෙවීම් කළ පසු ලාභයක් ගෙන දෙන්නේද යන්නද සැක සහිතය. විශේෂයෙන් මේ කොරෝනා සමයේදී මේ තත්ත්වය බරපතළ වී ඇත. නමුත් එවැනි තත්ත්වයන් සඳහා විසදුම් සදහා බස් ගාස්තු වැඩිකිරීම පමණක් සිදුකෙරෙයි නම් පොදු ප්‍රවාහන පිළිබද මහජන අකමැත්ත තවත් වැඩිවනු ඇත. එමෙන්ම කප්පම්කරුවන්ට කප්පම්දීමට සිදුවීම නිසා තමන් අසරණ වී ඇති බව බස් හිමියන් නිරන්තරයෙන් මාධ්‍ය ඔස්සේ පවසනු ඇසේ. මෙවැනි තත්ත්වයන්ට විසඳුම් සොයානොගත හොත් පොදු ප්‍රවාහන සේවාව කඩාවැටීම වැළැක්විය නොහැකිවනු ඇත.

මහජනතාව දැනුවත් කිරීම් බොහෝ රටවල පොදු ප්‍රවාහන හරහා සිදුකෙරේ. එමනිසා පොදු ප්‍රවාහන සේවා රටක විවිධ අංශවල දියුණුවට භාවිත කළ හැකිය. පොදු ප්‍රවාහන සේවා නිසා විශාල පිරිසක් ප්‍රයෝජන ලබන අතරම ඒ මගින් විශාල පිරිසක් යැපෙන බව ද අමතක නොකළ යුතුය. පොදු ප්‍රවාහන සේවාව ප්‍රචලිත කරන ක්‍රියාවලියට සමගාමීව මහජන ආකල්පයක් වෙනස්කිරීම අවශ්‍ය වේ. එසේ නොමැතිව පෞද්ගලික වාහනවලින් බැස පොදු ප්‍රවාහනයට බහුතරයක් එකතුවේ යැයි අනුමාන කළ නොහැක.

ආචාර්ය ජයලත් එදිරිසිංහ.

ඉංජිනේරු පීඨය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

Leave a Reply