අධිකරණයට අපහාස කරන ලදැයි චෝදනා ලැබූ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අද (12) දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කළා.
මෙසේ බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත ගෙනයන ලද බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත පැවසුවා.
රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කිරීම මේ වන විට දේශපාලන සහ සමාජයීය වශයෙන් බරපතළ සංවාදයකට ලක්ව තිබෙනවා. මේ ඒ ගැන ඇතුළුව රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරයේ අනාගතය ගැන විමසා බැලීමක්.
සිදුවීමේ මුල
2017 අගෝස්තු 21 වන දින කොළඹ අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටදී රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් බවට චෝදනා කරමින් විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ නඩු පවරනු ලැබුවා. දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ එම නඩුවේ තීන්දුව අද (12) දින ශ්‍රේෂ්ඨාධිකරණයට විසින් ප්‍රකාශයට පත් කළා.
මෙහිදී සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ලේ සභාපති සිසිර ද ආබෲ විනිසුරුවරයා මෙසේ සදහන් කළා.
‘2017 අගෝස්තු 21 වනදා අරලියගහ මන්දිරය අසලදී මාධ්‍ය හමුවේ, අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බැවින් එකී චෝදනාවට විත්තිකාර රන්ජන් රාමනායක මහතා වරදකරු කරන බවයි.
විත්තිකරු විසින් එම ප්‍රකාශය සිදුකර ඇත්තේ, චේතනාන්විතව බවත් නඩු විභාගයෙන් පසුව අධිකරණයෙන් නික්ම යන අවස්ථා කිහිපයකදීම ඔහු කළ ප්‍රකාශ මගින් තහවුරු වී ඇතැයි ද සභාපති විනිසුරුවරයා තීන්දුවෙන් දැනුම් දුන්නා.
රන්ජන් කියන කතාව
රන්ජන් රාමනායක මහතා පසුගිය කාලය පුරාම දේශපාලන වශයෙන් බරපතළ ගැටුම් හා විවාද ඇතිකර ගත්තා. මේ තත්ත්වය තුළ ඔහු අද තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සිදුකළ ප්‍රකාශය ද සුවිශේෂයි.
තීන්දුවෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයෙන් පිටතට රැගෙන යන අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ රංජන් රාමනායක මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළා.
රන්ජන් රාමනායක අධිකරණයට යාමට ප්‍රථමව සිය මුහුණු පොතේ පළකළ ඡායාරූපයක්
“මම තිත්ත ඇත්ත කතා කළේ. හොරකං කළේ නෑ. පිල්ලෙයාන්ව මේ ආණ්ඩුවෙන් එලියට දැම්මා. මාව ඇතුළට දානවා. මම කුඩු ගංජා විකුණලා නෑ මම සටන දිගටම ගෙනියනවා. සටන නවත්තනේ නැතිව දිගටම ගෙනියමු. මේ දුෂිත ආණ්ඩුව පලවාහරින්න. මම කියපු සියලුම දේවල් ඇත්ත කිසිදෙයක් ඉල්ලා අස්කරගන්නේ නෑ මුන් ඇත්තටම හොරු. හොරු ගැන කිව්වයි කියල මංවගේ මිනිහෙක්ව ඇතුලට දානවා. මම සත පහක් හොරකන් කරලා නෑ හම්බවුන පඩි සල්ලිත් ජනතාවට බෙදුවා. මේ හොරකං කරලා කුඩු විකුණලා නෙමෙයි. මම ආණ්ඩුවට කියනවා පිල්ලෙයාන්ව දැම්ම වගේ දුමින්ද සිල්වාවත් එලියට දාන්න. කුඩු කාරයෝ ගැන කිව්වයි කියල මාව ඇතුළට දාන්නේ. අපි බය නෑ මම තනිකඩයා. මැරුණත් බය නෑ. තිත්ත ඇත්ත කතා කරනවා. සමාව ඉල්ලන්නේත් නෑ. කුඩු විකුණලා නෑ, එතනෝල් ගෙනල්ල නෑ, උන් ගැන කිව්වයි කියල මේ ඇතුළට දැම්මේ,” යනුවෙන් ද ඔහු පැවසුවා.
ආන්දෝලනයට හේතු
රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිරදඩුවම් නියම වීම බන්ධනාගාර ගත කිරීම සමග එය වඩාත් වැඩි සමාජ අවධානයක් දිනා ගැනීමට ඒ හා ආසන්න තවත් සුවිශේෂ දේශපාලන සිදුවීමක් හේතු වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් අධි චෝදනා පත් නිකුත්කර රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින පිල්ලෙයාන්ට එරෙහිව ඇති නඩුව නීතිපති විසින් ඉදිරියට ගෙන නොයන බවට ඊයේ (11) මඩකලපුව අධිකරණයට දැනුම්දී ඇති අවස්ථාවක වීමයි.
මේ සම්බන්ධයෙන් සමාජමාධ්‍යවල දක්වන අදහස වන්නේ ..රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් නියම කෙරෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් අධි චෝදනා පත් නිකුත්කර රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින පිල්ලෙයාන්ට එරෙහිව ඇති නඩුව නීතිපති විසින් ඉදිරියට ගෙන නොයන බවට ඊයේ මඩකලපුව අධිකරණයට දැනුම්දී ඇති අවස්ථාවක වීම හාස්‍යජනක බවයි‘‘
රන්ජන්ගේ මන්ත්‍රීධුරයට කුමක් වෙයිද ?
බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම සිටින රන්ජන් රාමනායක මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළේ සමගි ජන බලවේගයෙන්. ඒ ගම්පහ දිස්ත්‍රික්කයට. එහිදී ඔහු මනාප ලැයිස්තුවේ 01වැනි ස්ථානයට පත් වීම විශේෂත්වයක්.
මේ අතර රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ විවිධ මත පළ වෙනවා. මේ පිළිබඳව මත පළ කරන නීති විශේෂඥයන් පවසන්නේ යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීධුරය අහෝසිවන්නේ ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිවීම හේතුවෙන් බවයි. ඒ බව ව්‍යවස්ථාවේ 89 (ඈ) වගන්තියේ සඳහන් වන බවයි ඔවුන් කියන්නේ.
89 (ඈ) වගන්තියේ මෙසේ සදහන් වෙනවා.
“යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් ම විඳ සිටියේ නම් නැතහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් ක්‍රියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳ සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය: එසේ වුව ද, මේ ඡේදය යටතේ නුසුදුස්සකු වූ කවර වූ හෝ තැනැත්තකුට කොන්දේසි රහිත සමාවක් දෙන ලද්දේ නම්, ඒ සමාව දුන් දිනයේ සිට ඒ නුසුදුසුකම නැති වී යන්නේ ය.”
එහෙත් නීතිඥයින් අතර මේ ගැන මත දෙකක් තිබෙනවා. අධිකරණයට අපහාස කිරීමේ වරදට දිය යුතු දඬුවමට උපරිම හා අවම කාලයක් නීතියේ නිශ්චිතව සඳහන් කර නොමැති බැවින් මෙම වගන්තියට එය අදාළ නොවන බව ඇතැම් නීති විශේෂඥයන් පවසන අතර, තවත් නීති විශාරදයන් පවසන්නේ මෙම තීන්දුවත් සමඟම රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසිවන බවයි.
රන්ජන් වෙනුවට කවුද ?
වත්මන් මැතිවරණ ක්‍රමය යටතේ යම් මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීධුරය අහෝසි වුවහොත් ඔහු වෙනුවට පත් වන්නේ අදාළ මන්ත්‍රීවරයා මහ මැතිවරණයට තරග කළ දිස්ත්‍රික්කයේ ඔහු තරග කළ පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට අයත් මනාව ලැයිස්තුවේ ඊළට මනාප දිනාගත් පුද්ගයායි.
ඒ අනුව පසුගිය මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළගට සිටින්නේ (05 වැනි තැන) අජිත් මාන්නප්පෙරුම මහතායි.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දුන් හෙයින් රන්ජන් රාමනායක මහතාට අදාළ තීන්දුව පිළිබඳව නැවත විමසීමක් කරන මෙන් ඉල්ලා සිටීමට අවස්ථාව තිබෙන බව ද මේ අතර නීතිඥවරු පෙන්වා දෙනවා.
අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිරගත වූ දේශපාලනඥයින් අතර මෑත කාලීන උදාහරණය වන්නේ එස්.බී. දිසානායක මහතායි. එමෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද අධිකරණයට අපහාස කිරීම යටතේ වරදකරු බවට පත්ව තිබෙනවා.
