සුබවාදී ගමනකට කෙටිම මගක්.

වර්ග කිලෝමීටර් 54ක් පුරා විහිදී පවතින රත්තරන් ලෝහය සහිත දැවැන්ත නිධියක් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ සේරුවාවිල ප‍්‍රදේශයේ පවතින බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් තහවුරු කරගෙන ඇති බව පරිසර අමාත්‍යංශය පවසයි. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මෑතක දී සිදු කරන ලද නැවත සමීක්ෂණයකදී හෙළිකරගත් කරුණු අනුව මෙම නිධිය තුළ රත්තරන්වලට අමතරව තඹ ලෝහය ද විශාල වශයෙන් පවතින බව තහවුරු කර ගෙන තිබේ.

මෙම රත්තරන් නිධිය සම්බන්ධව 1950 ගණන්වල මුලින්ම කරුණු අනාවරණය කරගෙන ඇතත් මෙතෙක් පැවැති කිසිදු රජයක් මෙම රත්තරන් නිධිය කැණීම සඳහා කිසිදු පියවරක් ගෙන නැත.

දැනට ලෝක වෙළෙඳ පොළේ ඉහළම වටිනාකමක් සහිත ලෝහ වර්ග දෙකක් වන රත්තරන් හා තඹ විධිමත් පරිදි මෙම නිධිය තුළින් කැණීම් කටයුතු කළහොත් අධික ණය බරින් පීඩාවට පත්ව සිටින අපේ රට ඉතාම කෙටිකලක් තුළ ආර්ථික වශයෙන් ඉහළ මට්ටමකට ගෙන ආ හැකි බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විද්‍යාඥයෝ පවසති.

මේ අතර බුත්තල කූරම්පොළ සහ හලාවත පනිරෙන්ඩාවේ පැතිර පවතින යපස් නිධි දෙකක කැණීම සම්පූර්ණයෙන්ම රජය යටතේ සිදුකරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පනිරෙන්ඩාව යපස් නිධිය වර්ග කිලෝමීටර් 26 ක් පමණ පුරා පැතිර පවතින බවත් අවම වශයෙන් යකඩ ටොන් මිලියන 86 ක් එහි තැන්පත් වී ඇති බවත් භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇති බව එම නිලධාරීන් විසින් පරිසර හා කර්මාන්ත අමාත්‍යවරුන්ට දැනුම් දී ඇත.

මෙම යපස් නිධි රටේ ආර්ථික සංවර්ධනය සඳහා උපරිම ප‍්‍රයෝජනය ලැබෙන පරිදි යොදාගැනීමට පරිසර අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය අතර එකඟතාවක් ඇතිකරගත් බව මේ පිළිබඳව කරුණු දක්වන පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

කූරම්පල සහ පනිරෙන්ඩාව යපස් නිධි කැණීම් කටයුතු කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් සාකච්චාවක්  පවත්වා ඇති අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ යන අමාත්‍යවරු මෙන්ම අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන් වන ආචාර්ය අනිල් ජාසිංහ, අනූෂ පැල්පිට සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ යන මහත්වරුන් ඊට සහභාගි වී ඇත.

සේරුවාවිල ප්‍රදේශයට අමතරව දිවයිනේ තවත් ස්ථාන හතරක භූමි අභ්‍යන්තරයේ රත්තරන් තිබෙන බවට පර්‌යේෂණවලින් අනාවරණය වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල මෙම රන් නිධි පිහිටා ඇති බව හඳුනාගෙන තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානය, කැනඩාව, අයර්ලන්තය ආදී පර්‌යේෂණ මධ්‍යස්ථානවල කරන ලද කැණීම්වලදී මෙරට භූමියේ රත්තරන් තිබෙන බව අනාවරණය වී ඇත.

සේරුවාවිල ප්‍රදේශයේ යකඩ පිහිටි ස්ථානවල සිට කිලෝමීටර් තුනක් හතරක් පමණ දුරින් රත්තරන් පිහිටා තිබෙන බවද ඔහු කීවේය.

සේරුවාවිල ප්‍රදේශය ආශ්‍රිත රත්තරන් තිබෙන බවට මුලින්ම අනාවරණය කර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හැකි වූ බවත්, පොළොව මතුපිට සිට අඩි 600ක් පමණ කැණීම් සිදු කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය කරගත් බවත් හෙතෙම කියයි.

අදාළ ප්‍රදේශවල ගල් ටොන් එකක් කැණී​මේ දී රත්තරන් ග්‍රෑම් දශම ගණන්වල සිට ග්‍රෑම් පහක් පමණ හමුවන බවත්, මේ පිළිබඳ තවදුරටත් පර්‌යේෂණ කළ යුතුව ඇති බවත් අවධාරණය කෙරේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කරන්නේ නැගෙනහිර පළාතට අමතරව අනෙක් පළාත්වල වර්ග කිලෝමීටර් හතරක, පහක පමණ ප්‍රදේශයක රත්තරන් විහිදී තිබෙන බවත් රජයේ හෝ වෙනත් ආයතනයක අනුග්‍රහය ලැබෙන්නේ නම් පුළුල් ලෙස තවදුරටත් කැණීම් සිදුකළ හැකි බවත්ය.

Leave a Reply