2021 නව වසර උදාවෙයි.නව වසරේ උදාව වෙනුවෙන් සුබපැතුම් පණිවුඩ නිකුත් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා.
බරපතල අභියෝග හා බාධක හමුවේ වුවද ජාතික අභිලාෂයන් මත පදනම්ව තිරසාර සංවර්ධනයක අත්තිවාරම සැකසීමට අපට හැකි විය.ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට තැබූ පියවර නව වසරේ දී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම්ය. නව රජය ගොඩනගනු ලැබූයේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය සහ ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමේ අභිලාෂය ඇතිවය. රටටත් ජනමතයටත් පිටු නොපානු ඇතැයි ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන්නෙමු.එසේම සෑම පුරවැසියෙකුම තම මව්බිම ගැන කැපවෙමින් කටයුතු කිරීමද අපේක්ෂා කරමි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා.
ඉතා ලඝු කරුණු අරබයා තවදුරටත් අප බෙදී වෙන් වී සිටිය යුතු නැත. අපේ මාතෘභූමිය වෙනුවෙන් අද අප වෙහෙසෙන්නේත් කැපවන්නේත් අපේ මතු පරපුරේ යහපත වෙනුවෙනි. එහෙයින් එක ම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සමාජ සංස්කෘතික හා ආගමික සහජීවනය පෙරදැරිව රට ගොඩනැඟීමට එළැඹෙන නව වසර අවස්ථාවක් කරගන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා.
මහජනතාවගෙන් විවරණ ලද උත්තරීතර ප්‍රජාතන්ත්‍රවාදයේ අග්‍රඵලය වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ලෙස වර්තමානයේ මෙන්ම අනාගතයේදී ද ජනතා අභිලාෂයන් නොපිරිහෙළා ඉෂ්ට කිරීම අපගේ පරමාර්ථයයි.
එළඹෙන 2021 නව වසර නිසැකවම තීරණාත්මක එකක් වනු ඇත.ඒ සියලු අභියෝග ජයග්‍රහණය සඳහා , අපගේ ජාතික ගීයෙහි සඳහන් වන පරිද්දෙන්ම, ජාති – කුල-ආගම් ආදී සියලු භේද දුරලා එකමුතුබවෙන් යුතුව හදවතින් හා පිළිවෙතින් පෙළ ගැසෙන ලෙසට සියලු ශ්‍රී ලාංකිකයන්ට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
නව වසරට පිවිසෙන්නේ මෑත කාලීන ලෝකය මුහුණ දුන් බරපතලම ව්‍යසනයට තවමත් නිෂ්චිත විසදුමක් නොමැති පසුබිමක් තුලය. කොරෝනා ව්‍යසනය අබියස මුලුමහත් ලෝකයම පෙර නොවූ විරූ අරාජිකත්වයකට වැටී සිටින අතර සෞඛ්‍යමය, ආර්ථිකමය, දේශපාලනිකමය සහ සමාජමය සංකීර්ණතා අබියස අවිනිශ්චිත දොරකඩක හිදිමින් නව වසරට පාතබා සිටී.මේ අභියෝගය ජය ගැන්මට ජාති, ආගම්, කුල මල පමණක් නොව රටවල් ලෙසද බෙදී තනිවීමෙන් කළ නොහැකි ය. ඒ වෙනුවට මුලුමහත් ලෝකයම පෙර නොවූවිරූ සංහිඳියාවකින් මෙන්ම සහයෝගිතාවයකින් එකට බැදිය යුතුය. නව වසර අධිෂ්ඨානය, මානව දයාව, කැපවීම සහ උදාර අපේක්ෂාවන් පෙරදැරිව ජයගත යුතුව තිබේ.
