කොවිඞ් -19 වසංගත තත්ත්වය හමුවේ අද ආර්ථිකය ඇත්තේ ව්‍යසනකාරී තත්ත්වයකය. මේ තත්ත්වයෙන් රට ගොඩගැනීමට දේශීය ආර්ථිකය මෙන්ම සංචාරක ව්‍යාපාරය සහ විදේශ වෙළෙඳාමද ඇතුළත් විදේශ අංශයේ ක‍්‍රියාකාරිත්වය ද යහපත් කරගත යුතු වන අතර ඒ සම්බන්ධයෙන් ද නිසි උපායමාර්ග හඳුනාගත යුතුව තිබේ. කෙසේ වෙතත් අපට සැලකිය යුතු කාලයක් කොවිඞ් -19 සමගම ආර්ථිකය පණ ගන්වා ගැනීමේ ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවනු ඇත. එම ක‍්‍රියාමාර්ග සාර්ථක වනු ඇත්තේ කොවිඞ් -19 වෛරසය හැකිතාක් දුරට සමාජ පැතිරීමක් නොමැති තත්ත්වයට පාලනය කර ගැනීමට අප සමත් වන්නේ නම්ය.
අද කොවිඞ් වසංගතය නිසා සංචාරක පැමිණීම් නැවතී ඇති බව සත්‍යයකි. එහෙත් ඉදිරියට සංචාරක කර්මාන්තය පණ ගන්වා ගැනීමට ක‍්‍රියාත්මක කළ යුතු නිසි උපායමාර්ග ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් පෙර සූදානමක් ඇති කරගන්නා බවක් නම් අපට නොපෙනේ. ඒ ගැන සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවෝද කතා කරන්නේ අසතුටෙනි. ඒ නිසා මේ ගැන විශේෂ අවධානය යොමු කර නිවැරදි කිරීමේ ක‍්‍රියාමාර්ග කඩිනමින් ගතයුතුය. මේ තත්ත්වයන් නිවැරදි කිරීම නොසලකා හැරීමෙන් සහ ප‍්‍රමාද කිරීමෙන් සිදුවෙන හානිය තවත් වැඩි වනු ඇත. කොවිඞ් වසංගතය සමනය වී අපේ ගුවන් තොටුපොළ විවෘත කළ පමණින්ම මෙරටට සංචාරකයන් ගලාගෙන එනු ඇතැයි අප නොසිතිය යුතුය.
රජය සංචාරක ක්ෂේත‍්‍රයට සිදුකර ඇති පත් කිරීම් ගැන සංචාරක කර්මාන්තයේ බොහෝ දෙනෙක් අසතුටට පත්ව සිටින බව ඔවුන් පසුගිය කාලය පුරාවට දක්වන ලද අදහස්වලින් අපට පැහැදිලි වෙයි. කොවිඞ් වසංගතය ක‍්‍රමයෙන් පහව යෑමත් සමග සංචාරක ව්‍යාපාරය අපේ ආර්ථිකය පණ ගන්වා ගැනීමට තිබෙන ප‍්‍රධානම කර්මාන්තයකි. එහෙත් ඒ සඳහා අපේ සංචාරක කර්මාන්තය දැන් සිටම සූදානම් කළ යුතු වේ. එහෙත් ඒ සඳහා පත් කර ඇති සංචාරක බලධාරීන්ගෙන් නිසි නායකත්වයක් මීට නොලැබෙන බව සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවන් බොහෝ දෙනෙකු පවසන අදහසකි.
සියලූ දේ සාර්ථක වනු ඇත්තේ දැනට ලෝකයේ මෙන්ම අප රටේ ද පැතිර යන කොවිඞ් – 19 වසංගතය අප රට තුළ පාලනය කරගැනීමට රජය ගන්නා ක‍්‍රියාමාර්ගවල සාර්ථකත්වය මත බව බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රජයට සිහිපත් කිරීමට සිදුවේ. එහෙත් මේ වන විට කොවිඞ් – 19 වෛරසයේ දෙවන රැල්ල තවමත් පැතිර යමින් තිබේ. එය පාලනය කර ගැනීමට රජය ක‍්‍රියාමාර්ග ගනිමින් සිටියත් ඒ ක‍්‍රියාවලියේ බලවත් අඩුපාඩු තිබෙන බව පෙනේ.වෛරසය රට පුරාම පැතිර යෑමට මේ තත්ත්වය හේතු විය. කොවිඞ් පළමු රැල්ල සාර්ථකව පාලනය කර ගැනීමට රජය සමත් වූ අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙක් ප‍්‍රශංසා මුඛයෙන් කතා කළත් දැන් නම් ඒ තත්ත්වය වෙනස් වී ජනයා අසතුටට පත්ව සිටින බව කිව යුතුව තිබේ. ‘බලය තියෙන විට මොලය නෑ, මොලය තියෙන විට බලය නෑ’ කියන දේ සිහි ගන්වන දේ ආණ්ඩුවේ ඇතැම් අයගේ හැසිරීම්වලින් ප‍්‍රදර්ශනය වෙමින් තිබේ. එය කනගාටුවට කරුණකි.
