පළාත් සභා මැතිවරණය,නව ව්‍යවස්ථාවට පෙරද?පසුද?

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ මත ඉදිරිපත් කළ ද එම මැතිවරණ පැවැත්වීමේ බලාපොරොත්තුව අතහැර නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ආණ්ඩුව සමග කිසිදු සාකච්ඡාවක් නැතිව ඇතැමුන් විවිධ කරුණු පෙන්වා දෙමින් මාධ්‍ය ප්‍රකාශ සිදුකරන බවත් විරෝධතා ඉදිරිපත් කරන බවත් අගමැතිවරයා පැවසීය.කොරෝනා ව්‍යාප්තිය මැද මැතිවරණය නොපවත්වන්නැයි ඇතැමුන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී අගමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම දින නියමයක් නැතිව කල් දැමීමට තීරණය කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ ඊයේ දින පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ බව තීරණය කළ බවයි.ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ මෙම රැස්වීම පැවැත්විණි.

මහා සංඝරත්නය හා සහෝදර පක්‍ෂ විසින් ඉදිරිපත් කරන විරෝධතා ද සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවද ඒ මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වූයේ ද පළාත් සභා මැතිවරණය මෙම අවස්ථාවේ පැවැත්වීම උචිත නොවන බව යැයිද ඔහු පැවසීය.

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ පළාත් සභා මැතිවරණය මේ මොහොතේ පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණාවක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.නමුත් ජේ. ආර්. ජයවර්ධනගේ අත කරකවා පිහිටවන ලද පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න අපට තනිවම තීරණය කර නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.එය ඉන්දියාව සමග සාකච්ඡා කළ යුතු කාරණාවක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

20වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑන අවස්ථාවේ රජය පැවසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවයි.ඒ සියල්ල පසෙක තබා මැතිවරණ පැවැත්වීමට සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.ආණ්ඩුවේ ජනප්‍රියභාවය මනින මිම්ම බවට පළාත් සභා මැතිවරණය පත්කරගැනීමට උත්සහ දරයි.ජනතාව මරණයෙන් බේරා ගැනීමට කොරෝනා එන්නත ගෙන ඒමට මුදල් නැති ආණ්ඩුව පළාත් සභා පැවැත්වීමට සූදානම් වන්නේ ඇයිදැයි හෙතෙම ප්‍රශ්න කරසිටියි.ඡන්දය පැවැත්විය යුතු වුවත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙරට ජනතාව ජීවත්ව සිටිය යුතු බව ඔහු වැඩිදුරටත් පවසයි.

Leave a Reply