භූගත ජලයෙන් කොවිඩ් පැතිරෙනවාද?

ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට තම මරණයෙන් පසු ගෞරවාන්විතව සිය මව්බිමෙහි මිහිදන්වීමට ඇති අයිතියට ගරු කල යුතුයි.

කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කිරීමේදී අනුගමනය කල යුතු ආකාරයන් පිලිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද ලබාදී ඇති උපමාන වලට පරිබාහිරව කටයුතු කිරීම මඟින් මෙන්ම වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රෙය් පිලිගත් පර්යේෂණ නිගමනයන්ට බැහැරව යමින් අදානග්‍රාහිත්වයෙන් යුතුව කටයුතු කිරීම නොකල යුත්තකි.

කොරෝනාවෛරසය වැළඳී මියගිය කිසිවෙකු භූමදානය කිරීම හේතුවෙන් වෛරසය භූගත ජලයට එකතුවිය හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නැති බව ජගත් කීර්තියට පත් ලොව ඉහළම පෙළේ වෛරස විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙක් පවසයි.

“පළමු වෙනි දේ තමයි, අපි දැනගන්න ඕන වෛරසයක් වැඩිවෙන්නේ (multiply වෙන්නේ) සජීව සෛලවල විතරයි,” මහාචාර්ය මලික් පීරිස්ගේ පැහැදිලි කිරීම.

 “සෛල මැරුණම වෛරසවලට multiply වෙන්න විදියක් නෑ. ඒ නිසා වෛරසය පැතිරීමත් නවතිනවා.”

 එබැවින් කෝවිඩ් ආසාදිතයෙකු මියගිය පසු ශරීරයේ ඉතිරිව පවතින වෛරසවල ආයු කාලය ඉතාමත් කෙටි බවද වෛරස විද්‍යාව පිළිබඳ ශ්‍රී ලාංකික විශේෂඥයා අවධාරණය කරයි.

 “ඒ නිසා අඩි හයක් පොළොව යට දාන සිරුරකින් පසට වෛරසය ඇවිල්ල, වතුරට ඇවිල්ල වෛරසය බෝවෙන්න පුළුවන් ද කියල මම නම් දන්නේ නෑ.”

ව්‍යාධි විද්‍යා විශේෂඥයෙකු ද (Pathologist) වන මහාචාර්ය මලික් පීරිස්, හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාය.

මහාචාර්ය මලික් පීරිස් සහ ඔහුගේ කණ්ඩායම නව කොරෝනා වෛරසය හඳුනා ගැනීම සහ එය පාලනය කළ හැකි ක්‍රමවේද පිළිබඳ පර්යේෂණවල යෙදී සිටිති.මළ සිරුරක් මිහිදන් කරන්නේ අඩි හයක් යට වලක් තුළ බව සිහිපත් කරන වෛරස  විද්‍යා විශේෂඥයා, “සිරුරක් කෙලින්ම වතුරට වල දාන්නේ නෑ නේ. ඉතින් මොනවා හරි වෛරස් තිබුණත් ඒක කෙලින්ම වතුරට යන්නේ නෑ,භූමදානය කරපු මළ සිරුරකින් වෛරසය පැතිරෙන්න නම් වෛරසය පස් වලින් ෆිල්ටර් වෙලා, ෆිල්ටර් වෙලා යන්න ඕන. එහෙම වෙනකොට තිබුණ වෛරස් එකත් නැතිවෙන්න තමා චාන්ස් එක තියෙන්නේ,ඔහු පැවසීය.

විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ප්‍රකාර සිරුරක් මිහිදන් කරන්නේ වෛරස නාශක (disinfectant) ඉස, සිරුර ප්ලාස්ටික බෑගයක ද දැමීමෙන් අනතුරුව බව පෙන්වාදෙන ශ්‍රී ලාංකික විද්‍යාඥයා, “වෛරස් තිබුණත් ඒවා මැරෙන්න disinfectant දානවනේ,” යනුවෙන් ද වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලංකාවේ භූගත ජල මට්ටම ඉහළ බව පිළිගන්නා මහාචාර්ය මලික් පීරිස් පවසන්නේ, “කෝවිඩ් වතුරවලින් බෝවෙන රෝගයක් නෙමෙයි, එහෙම එක උදාහරණයක්වත් මම දන්නේ නෑ,” යනුවෙනි.

 “කෝවිඩ් waterborne disease එකක් නෙමෙයි.”

 “ඔය විදියට ලංකාවේ සුසාන භූමියක්වත් තියෙන්න බෑ.”

 “අපි නිකමට හිතමු, පස්වලින් බේරිලා,බේරිලා වතුරට ආව කියල. ඒත් එතකොට වතුරවලින් වෛරසය තනුක (dilute) වෙනවා. අඩු ගානේ වෛරස් අංශු දාහක්වත් එන්න ඕනේ රෝගය බෝවෙන්න.”

 “කාට හරි ඔහොම බයක් තියෙනව නම් ඒ බය තියෙන්න ඕන උණසන්නිපාතය, කොලරාව වගේ රෝග වලට. ඒ ඔක්කොම අසූචිවලින් බෝවෙන රෝග.”

 “ඇත්තටම අසූචි එක්කත් වෛරසය තියෙන්න පුළුවන්.”

 “රෝගය හොයාගන්නේ ආසාදනය වෙලා දවස් ගණනකට පස්සේ; diagnose වෙන්නේ දවස් ගාණක් ගියාට පස්සේ. ඔය කාලේ අසූචි එක්කත් වෛරසය පැතිරෙනවා. ඒ කියන්නේ ඒ අසූචිත් වතුරවලට යනවනේ. ඒක ගැන හිතන්නේ නැතුව ඇයි මේ මළ සිරුරු ගැන කියන්නේ,” මහාචාර්යවරයා ප්‍රශ්න කරයි.

අපි හැමදෙනාගේම අරමුණ, මේ රෝගය බෝවීම වලක්වාගැනීම.ඒ සඳහා මේ රෝගය බෝවෙන්නේ කොහොමද, පටන් ගන්නේ කොහොමද, රෝග ලක්ෂණ එන්නේ කොහොමද කියන මේ සේරම තේරුම් ගන්න ඕන. ඒ කිසි දෙයක් නැතුව අපි වතුර ගැන විතරයි කතා කරන්නේ.මහාචාර්ය මලික් පීරිස් පවසන්නේ, මළ සිරුරු ආදාහනය කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල හේතුවෙන් රෝගය වැළඳුණත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට ඒ බව වාර්තා කිරීමට දැන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව බියක් දක්වන බවය.”රෝගය පාලනය (disease control) කියන්නේ රෙගුලාසි දැමීම විතරක් නෙමේ, මිනිස්සුන්ගේ විශ්වාසවලට ගරු කරමින් කළ යුතු දෙයක්, ඔහු පැවසීය.රෝග පාලනය කරන්න ඕන මේ සේරම හිතල, මිනිස්සු එක්ක එකතු වෙලා. මිනිස්සු බය කරලා නෙමෙයි.

(සරෝජ් පතිරණ -BBC සිංහල)

මෙම සංවේදී කාරණයට අදාලව රජය නොයෙක් ආකාරයේ සාකච්ජාවන්හි නිරතව සිටින බවට වාර්තා පළවන්නේ වුවද මේ දක්වාම නිශ්චිත වූ යහපත් තීරණයක් ගැනීමට ප්‍රමාද කිරීම තේරුම්ගත නොහැකිය. 

කොවිඩ් – 19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කොන්ක්‍රීට් යෙදූ සිමෙන්ති වළක සිදුකළ හැකි බවට යෝජනාවක් කොවිඩ් තාක්ෂණික කමිටුවට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.

මෙම වයිරසය වැඩි කාලයක් මෘතදේහ තුළ නොපවතින බැවින් ඉදිරියේදී එය එතරම් ගැටලුකාරී තත්ත්වයක් නොවන බවද නියෝජ්‍යය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

පසුගියදා පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා යෝජනා කළේ ජලය එකතු නොවන ක්‍රමවේදයකට මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය සඳහා සකස් කළ යුතු බවයි. එබැවින් වඩාත් සාර්ථක ක්‍රමවේදය මෙය වන බව වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් පැවසීය.සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා අවම වියළි භූමියක් ඒ සඳහා තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

කොවිඩ් වැළඳී මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළ සිරුරු සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කිරීමට රජයේ අනුමැතිය හිමිව ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත ලිපියක් යොමුකරමින් ඒ බව දැනුම්දී තිබේ. ඒ අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අදාළ ප්‍රතිචාරයක් ලෙසය.

ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, මීගමුව යන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල වෙතත්, කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහල වෙතත් මළ සිරුරු රඳවා තැබිය හැකි සිසිල් කළ කන්ටේනර් 05ක් ලබාදෙන ලෙස ලිපියෙන් ඉල්ලා තිබේ.

මෙවන් පසුබිමක කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත මළ සිරුරු සිසිල් කළ හැකි කන්ටේනර් සපයා තිබූ අතර ඒවායේ මළ සිරුරු තැන්පත් කිරීම පසුගිය 21 වනදා සිදුකළ බවට වාර්තා වෙයි.

Leave a Reply