ආර්ථික වර්ධනයේ නවතම තත්වය.

දළ දේශීය නිෂ්පාදනය යනු කුමක්ද?

නිශ්චිත කාල සීමාවක් තුළ නිපදවා ඇති රටේ සමස්ත භාණ්ඩ හා සේවා වල වටිනාකම දළ දේශීය නිෂ්පාදිතය ලෙස සැළකේ.

එය  ඊට පෙර අදාළ කාලපරිච්චේදයට සාපේක්‍ෂව උච්චාවචනය වී ඇද්ද යන්න ප්‍රතිශතාත්මකව දැක්වීම ආර්ථික වර්ධනය ලෙස හැඳින්වේ.

ආර්ථික වර්ධනයේ නවතම තත්වය කුමක්ද?

මේ වසරේ පළමු කාර්තුව එනම් ජනවාරි 1 සිට මාර්තු 31 දක්වා කාලය තුළ මෙරට ආර්ථික වර්ධන වේගය ඍණ 1.6 ක් ලෙස වාර්තා වෙයි.ඉන්පසුව දෙවැනි කාර්තුව අවසන් වී මාස හයක් පමණ ගෙවුණද ආර්ථික වර්ධන වේගය පිලිබඳව දත්ත එළිදැක්වීමට රජය පියවර ගනු නොලැබීය.ඒ කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ ඇතිවී තිබෙන තත්වය තුළ  ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවටද අදාළ තත්වය පිළිබඳ අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බව පවසමින්.

කෙසේවෙතත් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විශේෂ සමීක්‍ෂණ වලින් අනතුරුව අදාළ දත්ත මේ වනවිට එළිදක්වා ඇත.

ඒ අනුව දෙවැනි කාර්තුව ලෙස සැළකෙන අප්‍රේල් 1 සිට ජූනි 30 දක්වා කාලය තුළ මෙරට ආර්ථිකයේ පසුබෑම සියයට ඍණ 16.3ක්.

වැඩිම බලපෑම් එල්ල වී ඇති අංශ මොනවාද?

මෙහිදී ආර්ථිකයේ ප්‍රධාන අංශයක් වන කෘෂිකාර්මික අංශය සියයට 5.9කින්,කාර්මික අංශය සියයට 23.1කින් සහ සේවා අංශය සියයට 12.9කින් පසුබෑමට ලක්ව ඇති බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ  දත්ත වල සඳහන්.  

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මාර්තු 18 සිට අප්‍රේල් 20 දක්වා රට සම්පූර්ණයෙන් වසා දැමීම සහ ඉන්පසුවත් මැයි 26 දක්වා මෙරට ප්‍රධාන කාර්මික කලාප සහ ව්‍යාපාරික ස්ථාන පිහිටි කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වසාදැමීමට සිදුවීම තුළ මෙම ආර්ථික පසුබෑම සිදුව ඇති බවයි.

කොවිඩ් වසංගතය හමුවේ චීනය සහ වියට්නාමය ඇතුළු රටවල් කිහිපයක් හැර ලෝකයේ බොහෝ රටවල්  ආර්ථිකය මෙවැනි විශාල පසුබෑමකට ලක්ව ඇති බවද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.කෙසේවෙතත් ජූලි  1 සිට සැප්තැම්බර් 30 දක්වා වන මේ වසරේ තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 1.5ක් බව එම දෙපාර්තමේන්තුව පවසයි.ඔවුන් පෙන්වා දෙන්නේ පළමු කොවිඩ් රැල්ලෙන් පසුව ව්‍යාපාරික ක්‍රියාකාරකම් නව සාමාන්‍යකරණය වීම මෙන්ම ජන ජීවිතය යථා තත්වයට පත්වීම තුළ මෙම ධනාත්මක වර්ධනය පෙන්වන බවයි.

තත්වය මෙසේවද්දී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙන්නේ ලබන වසරේ සියයට 5.9ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට තම රජයට හැකිබවයි.

(සිරස නාලිකාවේ සටන වැඩසටහන ඇසුරිනි.)

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා;

ඉතාමත්ම දරුණු ආර්ථික අර්බුදයකට ලංකාව පමණක් නොවේ මුළු ලෝකයම මුහුණ දෙනවා.ඉතින් මේ තත්වය තුළින් අපිට ලබන අවුරුද්දේ රටේ ආර්ථිකය යම් ප්‍රමාණයක් මේ බැස්ම අඩුකරගෙන ඉදිරියට ගෙනියන්න නියම විදිහට සැලසුම්ගත ආර්ථිකයක් අපි ඇතිකරන්න ඕන.දත්ත හරියට එකතු කරන්න ඕන,හරි සැලැස්මක් හදන්න.දැන් කණගාටුයි කියන්න,අපේ රටේ දැන් තියෙන දත්ත එච්චර විශ්වාසදායක නෑ.අපිට දැන්  දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා.ඉතින් අපි ජනතාවට ඇත්ත කියන්න ඕන.මෙන්න මේ වගේ තත්වයක් තියෙනවා කියල.ඒ කතාව නෙමෙයි දැන් යන්නේ.අපිට හැමදේම කලින් වගේ කරන්න පුළුවන්.ප්‍රශ්න නෑ.,හොඳ ආර්ථික තත්වයක් තියෙනවා.හොඳ පාලනයක් නිසා ඒ තත්වය ඇතිවෙලා තියෙනවා,ඒ වගේ වැරදි මැනීම් කරලා අපිට බෑ ගොඩ එන්න.අපි කියන්න ඕන සමහරවිට අවුරුදු 5ක් නෙමෙයි අවුරුදු 10ක් ඉන්න වෙයි ආයෙත් සාමාන්‍යය තත්වයකට රට ගේන්ඩ.මේ ඇත්ත තත්වය මේ ගැන ඇයි අපි කතා කරන්නේ නැත්තේ?

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා;

දළ දේශීය නිෂ්පාදනය නිල වශයෙන් පළවෙනි මාස නවයට සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළා.පළවෙනි මාස නවයට ඍණ 5.3යි එතකොට දැන් ඒ කියන්නේ 2020 එන්නේ ඍණ අගයක් ඒ කියන්නේ එක කලබල වෙන්න දෙයක් නෙමෙයි මොකද අපේ රටේ විතරක් නෙමෙයි,අනික් හැම තැන්වලම වෙච්ච දෙයක්.නමුත් අපි ඉදිරිපත් කරේ එහෙම නෙමෙයිනේ.අපි ඉදිරිපත් කරේ අනික් රටවල් කෙසේ වුණත්,අපේ රට මේ සීග්‍රයෙන් ඉස්සරහට යනවා,ඒ නිසා කිසිදේකට බයවෙන්න හේතුවක් නෑ.ඒ දේශපාලකයෝ ඇවිල්ල නොයෙකුත් කතා කීවට,ඒවගේ වැඩ කරන වෘත්තිකයින්ට බෑනේ එහෙම කරන්න.අපි ජාත්‍යන්තරයේ ගැටගැහිලා ඉන්න රටක් හරි එතකොට අපි ජාත්‍යන්තරය ඉස්සරහ විහිලුවට ලක්වෙනවා.ඒ ගොල්ලෝ විශ්වාස කරන්නේ නැති වුණාම අපි කියන දේ ඒගොල්ලෝ අපිව ශ්‍රේණිගතකිරීමෙන් පල්ලෙහාට දානවා.එතකොට මම මේ චෝදනාව ගේන්නේ දේශපාලකයින්ට.ඒකෙ ඉන්න වෘත්තීයවේදීන්ට නෙමෙයි.අනික් එක තමයි ඔය දත්ත වෙනස් කරන කතාවෙන් මොකද වුණේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්තුමාට,නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්තුමා හදිසියේම හිටිහැටියේම එතැනින් අයින් කරා. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා;

වසංගත තත්වයක්,රටේ ආර්ථික අර්බුද තත්වයක් මේ වගේ තත්වයක් ආපු වෙලාවක තමයි හරිනම් දත්ත හරියටම කියන්න ඕන.මොකද දත්ත රජයකට ඕන වෙන්නේ සාමාන්‍ය වෙලාවකට නෙමෙයි.තීන්දු තීරණ ගන්න අයට වැදගත් මේ වගේ වෙලාවක.දෙවැනි කාර්තුවේ දත්ත ඉදිරිපත් කරන්නේ අපි ප්‍රමාද කරලා.සාමාන්‍යයෙන් කාර්තුව ඉවර වෙලා දින 75ක් ඇතුළත ජාත්‍යන්තර සම්මතය අනුව දළ දේශීය නිෂ්පාදනය,ආර්ථික වර්ධන වේගය දත්ත ඉදිරිපත් කරන්න ඕන.කාර්තු දෙකක් ඇතුළත ආර්ථිකයක්  ඍණ වුණා කියන්නේ,ඒ රට අවපාත ආර්ථික තත්වයක තියෙන්නේ.ඒක අපිට හංගන්න බෑ.ඒක අපි රට ඇතුළට හංගගන්න පුළුවන් මේ වගේ වාර්තා ප්‍රමාද කරලා,හැබැයි ජාත්‍යන්තරය ගණන් හදනවා.ඇත්ත තත්වය අපි පෙන්නන්නේ නැත්තන් ඒ ගොල්ලෝ ඒ ගොල්ලන්ට ගැළපෙන විදිහට හදාගනී.ඒක ඊට වඩා බරපතලයි.

කේසර ලාල් ගුණසේකර මහතා;

ජාත්‍යන්තරව ගණුදෙනු කිරීමේදී අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා.අපිට ජාත්‍යන්තරය නැතිවෙලා තියෙනවයි කියන එක මගේ විශ්වාසය.අපි ඒගොල්ලන් ආපහු එක්කහු කරගන්න ඕන.ඒ නැතිවීම අන්තිම භයානකයි අපි වගේ රටකට,මොකද අද ලෝකයේ අපිට තනියෙන් යන්න බැහැ.අපි කවුරු මොනවා කීවත් අපි එක්කහු වෙලා යන්න ඕන.එහෙමනම් ඒ සඳහායි අපි සැලසුම් සකස් කරන්න ඕන.

Leave a Reply