You are currently viewing ස්වෛරී ණය පැහැර හැරීමේ අවදානම සහ 2021දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය

ස්වෛරී ණය පැහැර හැරීමේ අවදානම සහ 2021දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය

කිසියම් රටක් විසින් ගෙන තිබෙන ණය ආපසු ගෙවීමට පොරොන්දු වූ දිනවලදී ගෙවීමට හැකියාවක් නොමැති නම් එරට ආර්ථිකමය වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණ ආයතනයන්ගේ නිගමනයයි. නිව්යෝර්ක් නුවර පිහිටි ජාත්‍යන්තර ආයෝජන බැංකුවක් වන ගෝල්ඞ්මන් සැච්ස් (Goldman Sachs) විසින් ඉකුත් ඔක්තෝබර් මස අවසාන සතියේ නිකුත් කරන ලද ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණ වාර්තාවකට අනුව 2021 වසරේදී ලෝකයේ විවිධ රාජ්‍යයන් විසින් ලබා ගන්නා ලද ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව ණය පැහැර හැරීමේ ඉහළම සම්භාවිතාවක් ඇති රටවල් වන්නේ ඉරාකය, ශ්‍රී ලංකාව, ඇන්ගෝලාව සහ ගැබොන් රාජ්‍යයයි. ඒ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ණය පැහැර හැරීමේ අවදානම සහිත දෙවන රාජ්‍යය බවට පත්ව ඇත. එමගින් ලොවට දෙන පණිවුඩය වන්නේ 2021 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් බංකොළොත්භාවයට පත්වන ලොව දෙවන රාජ්‍යය බවය. ගෝල්ඞ්මන් සැච්ස් බැංකුව විසින් මීට පෙර එවැනි තත්ත්වයකට පත්වූ රාජ්‍යයක් ලෙස ඉක්වදෝරය, ලෙබනන් සහ ආර්ජන්ටිනාව නම් කර තිබේ.

එම ආයතනය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරනු ලබන විශ්ලේෂණය පිළිබඳව දිවයිනේ ප්‍රවීණ ආර්ථික විශ්ලේෂකයන්ගෙන් විමසනු ලදුව ඔවුන් විසින් දැක්වූ අදහස් යට දැක්වේ.

ඍජු විදෙස් ආයෝජන බංකොළොත්භාවයට විසඳුමයි – මහාචාර්ය කෙනඩි ගුණවර්ධන


2021 වසරේදී අප රට උපයන ආදායම රාජ්‍ය ණය, ණය වාරික සහ පොලී ගෙවා ගැනීමට මදි වුවහොත් අපේ රට බංකොළොත් වෙන්න පුළුවන් බව ගෝල්ඞ්මන් සැච්ස් වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.


ගෝල්ඞ්මන් සැච්ස් ඇමරිකාවේ, නිව්යෝර්ක් නුවර පිහිටුවා තිබෙන ඉතාම වැදගත් බැංකුවක්. මෙම වාර්තාව සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා අදහස් දක්වමින් ණය ගෙවීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කරන බව පවසා තිබෙනවා. එම වැඩපිළිවෙළ තුළින් අපට කොපමණ මුදලක් උපයන්න පුළුවන්ද? සහ උපයන්නේ කෙසේද? පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු පෙන්වා දී තිබෙනවා. එම වාර්තාව මගින් අනාගතයේ අපේ රටට ගෙවන්න තිබෙන ණය ගෙවන ආකාරය පෙන්වා දෙන බව ඔහු වැඩිදුරටත් කියා තිබෙනවා.
දැනට ලංකාව තුළ පවතින කොවිඞ් – 19 තත්ත්වය නිසා ඉදිරියේදී රට තුළ අඟුලු දැමීමක් ඇතිවේ යැයි කියන්න දන්නේ නැහැ. ලංකාවේ ආදායම් උපදවන පළාත බවට පත්ව තිබෙන්නේ බස්නාහිර පළාතයි. මේ පළාත තුළ අගුළු දැමීම තුළින් ඒ ඒ ආදායම් මාර්ග ඇන හිටින්න පුළුවන්. එවැනි ගැටලුසහගත තත්ත්වයක් තුළ කබ්රාල් මහතා පෙන්වා දෙන ආකාරයේ මුදල් සොයා ගැනීමේ ක්‍රමවේදයක් අප රට තුළ නැහැ.


අපේ රට ඇංගෝලාවේ තත්ත්වයට වැටෙන්න ඉඩදීමට බැහැ. කෙසේ හෝ මුදල් සොයා ගෙන අප රටට ගෙවන්න තිබෙන ණය ගෙවා දැමිය යුතුයි. එහිදී දේශීය ඉතිරි කිරීම් සහ පිටරටින් බඩු ගෙන ඒම ගැන හිතන්න වෙනවා. ඒත් තව අවුරුදු දෙක තුනක් යනතුරු ආනයන සීමාවන් පැනවීමට සිදුවෙනවා. ආනයන සීමාවන් පැනවීම තුළින් බඩු ආනයනය කොට ව්‍යාපාර කටයුතු කරන පිටකොටුවේ ව්‍යාපාරිකයන්ට ලැබෙන ආදායම් මාර්ග ඇන හිටිනවා. එවිට ඔවුන්ට ජීවත්වීමට ආදායම් මාර්ග නොමැති වෙනවා.


ප්‍රමාණවත් මූල්‍ය පරිපාලනයක් තිබේ නම් අපිට මේ ගැටලුවට මුහුණ දෙන්න පුළුවන්. එහිදී ජනාධිපතිතුමා, කබ්රාල් ඇමතිතුමා සහ මහ බැංකුව එකතු වෙලා හොඳ මූල්‍ය පරිපාලනයක් රට තුළ ඇති කිරීමට උත්සාහ කළ යුතුයි.
අපේ ආර්ථික වර්ධනය ඍන මට්ටමක පවතින හෙයින් එය ධන මට්ටමක් දක්වා දියුණු කළ යුතු වෙනවා. ලෝකය පුරා කොවිඞ් 19 පැතිර පවතින නිසා ඍණාත්මක ආර්ථික තත්ත්වයක් ධන මට්ටමට ගෙන ඒමේ ලොකු ගැටලුවක් තිබෙනවා. එසේ වුවත්, අපේ කාලයේ රටක් වන බංග්ලාදේශය ඉන්දියාවටත් වඩා ඉතාමත් වේගයෙන් ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යන බව වාර්තා වෙනවා. ඒ රට තුළත් කොවිඞ්-19 වසංගත උවදුර තිබියදී ඔවුන් එවැනි දියුණු තත්ත්වයක සිටින රහස කුමක්ද කියා සොයා බැලිය යුතුයි.


ඍජු විදේශ ආයෝජන සොයා ගන්න අපි විශාල ප්‍රයත්නයක් දැරිය යුතුයි. එහිලා ඇමරිකාව සහ චීනය විශාල කාර්යභාරයක් ඉටු කරයි කියා බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ දායකත්වය තුළින් පමණයි ආර්ථික බංකොළොත්භාවයෙන් අප රට මුදවා ගැනීමට හැකිවන්නේ. කවුරුන් විවේචනය කළත් ඍජු විදේශීය ආයෝජන අපේ රටට අවශ්‍යයි. 

ණය ගෙවීම බැරෑරුම් ප්‍රශ්නයක් – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා


මේක බැරෑරුම් ප්‍රශ්නයක්. මොකද? ලංකාවට තිබෙන ජාත්‍යන්තර ණය ගෙවීම් කර ගන්න දැඩි අපහසුතාවකට පත්වෙලා තියෙනවා. ඉදිරි මාස 12 ඇතුළත රජය ගන්නා ලද ඩොලර් ණය බිලියන හතක් විතර ගෙවන්න තියෙනවා. පසුගිය ඔක්තෝබර් මාසයේ ගෙවන්න තිබූ ඩොලර් මිලියන 1000ක ණය මුදල අපේ සංචිතවලින් ගෙව්වා. ඒත් දිගින් දිගටම අපිට සංචිතවලින් ගෙවන්න හැකියාවක් නැහැ. අප රටට අපනයනවලින් සහ සමස්ත ව්‍යාපාරවලින් ලැබෙන ඩොලර් ආදායම වෙලා තිබෙනවා. එවිට අපේ සංචිතවල තිබෙන ඩොලර් වැය වෙනවා.


ණය වාරික ගෙවා දැමීමේදී අනුගමනය කරන්නේ ලොකු රෝලක් (ක්‍රමවේදයක්.) ලංකාවට ලොකු ණය වාරිකයක් ගෙවන්න තියෙන කොට අපි කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් අපට අවශ්‍ය ප්‍රමාණයට ණයක් ලබා ගන්නවා. ඒක තමයි අපි දිගටම කරන්න පුරුදු වෙලා හිටියේ. ඒක හොඳ දෙයක් නොවුණාට ඒක තමයි අපිට තිබුණු විකල්පය.


පළමුවෙනි වතාවට අපිව ඒ අවස්ථාව ගිලිහිලා තිබෙනවා. ඒකට හේතුව, ලංකාවට ණය ගෙවන්න තියෙන හැකියාව පිළිබඳ ජාත්‍යන්තරයේ තිබෙන විශ්වාසය ශීඝ්‍ර ලෙස පහළට වැටිලා තිබෙනවා. ඒක මාස ගණනක් මුළුල්ලේ සිදුවූ දෙයක්. පළමුවෙනි කොරෝනා රැල්ල ආවාට පසුව ආර්ථිකය කඩා වැටීමක් ඇති වුණත් යළි ශක්තිමත් වුණා. ඒත් එහි දෙවන රැල්ල සහ ජාත්‍යන්තරයේ තිබෙන ආරාවුල්ද ආර්ථික දියුණුව කෙරෙහි බලපානවා.

අපේ රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මූඩිස් (Moody’s) ආයතනයේ ශ්‍රේණිගත කිරීම්වලදී අපේ රට ස්ථාන තුනකින් පහළට දමනු ලැබුවා. ණය ගෙවා ගැනීමට බැරි රටක් හැටියට තවම එම ආයතනය ශ්‍රේණිගත කර නොතිබුණත් එම තත්ත්වයට අප රට පත්වෙමින් සිටිනවා. ඒ අතරතුර ලෝකයේ තිබෙන ප්‍රධාන බැංකු තුනක් ලංකාවට ණය අපහසු ගෙවීමට තිබෙන විශ්වාසය කඩවීම පිළිබඳ ඔවුන්ගේ වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. දැනට මාසයකට පමණ පෙර ඒ.පී. මොර්ගස් ආයතනයත්, සති දෙකකට පෙර මොර්ගස් ස්ටැන්ලි ආයතනයත් පසුගිය සතියේදී ගෝල්ඞ්මන් සැච්ස් ආයෝජිත බැංකුවක් එලෙස වාර්තා ඉදිරිපත් කළ ආයතනයයි. එම ආයතන තුනම අපි ඉතාමත් අවදානමක් තිබෙන රටක් බවට නම් කරලා තිබෙනවා.


ජාත්‍යන්තර ද්විතියීක වෙළෙඳපොළේ අපේ බැඳුම්කර ගනුදෙනු සිදුවෙනවා. ලබන අවුරුද්දේ ජූලි මාසයේ අග වන විට ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් සඳහා ආයෝජකයන්ට ගෙවන්න තිබෙනවා. ඩොලර් ලක්ෂය, ලක්ෂ දෙක, මිලියනය, මිලියන දහය යනාදී වශයෙන් කුඩා කොටස්වලින් එම බිලියනය සමන්විත වෙනවා. උදාහරණයක් ලෙස ගත්විට එම ඩොලර් බිලියනයෙන් කොටසක් ලෙස යම් ආයෝජකයකු ළඟ ඩොලර් 100ක බැඳුම්කරයක් තිබුණොත්, ඒ පුද්ගලයා එම බැඳුම්කර කොළ කෑල්ල ඔහු ළඟ තියාගෙන සිටියහොත් ලබන අවුරුද්දේ ජූලි මස අවසානයේදී ඔහුට ඩොලර් 100ක් අපේ රට ලබාදිය යුතුයි.


ජාත්‍යන්තර ද්විතියීක වෙළෙඳපොළේ එම කොළ කෑල්ල මගින් ගනුදෙනු කිරීමට එම පුද්ගලයාට පුළුවන්. මෙම කොළ කෑල්ලට කූපනයක්ද තිබෙනවා. ඒ වෙනුවෙන් අවුරුද්දට දෙවරක් 3.7% ගණනේ පොලිය ගෙවනවා. එවිට එහි අගය 7.5%ක් වෙනවා. අපි මොහොතකට ඒ පොලී මුදල අමතක කර ඒ පුද්ගලයාට ඩොලර් 100ක් ලබන අවුරුද්දේ ජූලි මස අවසානයේදී ගෙවන්න තිබෙන බව පමණක් හිතමු. අද ද්විතියීක වෙළෙඳපොළේ එම බැඳුම්කරයට තිබෙන වටිනාකම කීයද? බැඳුම්කරයේ කූපනයට 3.75%ක් ගෙවන්න තිබෙන නිසා එහි වටිනාකම ඩොලර් 96.50කි. ඒත් එම බැඳුම්කරය ද්විත්ව වෙළෙඳපොළේ විකිණෙන්නේ ඩොලර් 76කි. අපි වාර්ෂික පොලියක් හැටියට බැලුවොත් 46%ක් වෙනවා. ඒ කියන්නේ බැඳුම්කරයේ වටිනාකම ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බවයි. ඩොලර් 96.50කට විකිණිය හැකි බැඳුම්කරය ඩොලර් 76කට විකිණීමට අප පෙර කියන ලද පුද්ගලයා පෙළඹෙනවා. ඔහු එවැනි මුදලකට බැඳුම්කර කොළ කෑල්ල විකුණන්නේ ඇයි? ඔහු එසේ කරන්නේ ශ්‍රී ලංකාවට ඔහුගේ මුළු මුදල වන ඩොලර් 100 ගෙවීමට නොහැකියාවක් තිබෙන නිසයි. ඒ අතරතුර ඔහුගේ කොළ කෑල්ල ඩොලර් 76කට ගන්න පුද්ගලයා ලොකු අවදානමකට මුහුණ දෙනවා. මෙලෙස ද්වන්ද්ව වෙළෙඳපොළවල් 10ක් හෝ 15ක් තුළදී 96.50කට විකිණීමට තිබෙන කොළ කෑල්ල විකිණෙන්නේ ඩොලර් 76ක් හෝ 68ක් යනාදී වශයෙන්. ඒ අනුව 2021 කල් පිරෙන බැඳුම්කරය විකිණෙන්නේ ඩොලර් 54යි. එමගින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව තුළ ආපසු ණය ගෙවීමට තිබෙන අවදානම ඉතාමත් ඉහළ බවයි. 

ලංකාව චීන කොළනියක් බවට පත්වෙයි – ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

පළමුවෙන්ම ස්වෛරී ණය කියන්නේ කුමක්දැයි හඳුනා ගත යුතුයි. ස්වෛරී රාජ්‍යය මධ්‍යම ආණ්ඩුව විසින් ගන්නා ලද ණය ස්වෛරී ණය ලෙස හඳුන්වනවා. විශේෂයෙන් රජයක් විදේශීය විනිමය තුළින් ලබා ගන්නා ලද ණය ස්වෛරී ණය ලෙස හඳුන්වනවා. විශේෂයෙන් රජයක් විදේශීය විනිමය තුළින් ලබා ගන්නා ලද ණය ස්වෛරී ණය ලෙස සැලකෙනවා. ඒ අනුව ලංකාව විදේශීය විනිමය හරහා ගන්නා ස්වෛරී ණය සඳහා ඇපවීමක් සිදු කෙරෙනවා. එලෙස ඇප වන්නේ බැඳුම්කර හරහා. ඒවාට ස්වෛරී බැඳුම්කර කියා කියනවා. මේ වනවිට අපේ රට එවැනි බැඳුම්කර විශාල ප්‍රමාණයක් නිකුත් කර ණය ලබාගෙන තිබෙනවා.


මේ වාර්තාවට අනුව ස්වෛරී ණය පැහැර හැරීම යනුවෙන් අදහස් කරන්නේ යම්කිසි ස්වෛරී රාජ්‍යයක් විසින් ගන්නා ලද ණය පරිණතවීමේදී එය ගෙවීම පැහැර හැරීමක් හෝ ගෙවීමේ නොහැකියාවක් තියෙන තත්ත්වයකට පත්වෙනවා නම් ඒ රජයන් ස්වෛරී ණය පැහැර හැරීමේ අවදානම් සහිත රටවල් කියා නම් කිරීමක් සිදුකෙරෙනවා.


ලංකාව ණය ගෙවීම පැහැර හැරලා නැහැ. ඒ නිසා අපි ණය ගන්නවා. ණය පැහැර හැරීමේ අවදානමේදී කරුණු දෙකක් තියෙනවා. ඒ විතරක් නොවේ, ණය නොගෙවීමේ රාජ්‍යයක් හැටියට අපි පිළිගන්නේ ණය ගෙවීම පැහැර හැරීමේ රාජ්‍යයන්. ඇමරිකානු රාජ්‍ය ලේකම් සමග කතාබහ කිරීමේදී ශ්‍රී ලංකා ජනාධිපති කියා සිටියේ අපි මොනතරම් සංවර්ධන කටයුතු සඳහා ණය ලබාගනු ලැබූවත් ණය උගුලක හිරවී නැති බවයි. හැබැයි, ඒ ප්‍රකාශය කිරීමෙන් පසුව තමයි ගෝල්ඞ්වින් සැච්ස් වාර්තාව නිකුත් වෙන්නේ. මෙම වාර්තාව හරහා අපේ රටේ තිබෙන ණය උගුල ඉතාම පැහැදිලිව සඳහන් කර තිබෙනවා.


ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය 2020 මැයි මස අවසානය වන විට රුපියල් ටි්‍රලියන 13.9ක් වෙනවා. එය වඩාත් සරලව කිව්වොත් රුපියල් කෝටි 13,90,000ක්. මෙය ඇමරිකානු ඩොලර්වලින් සඳහන් කළහොත් ඩොලර් බිලියන 75.1ක්. මෙලෙස ලංකාව ගෙවන්න තිබෙන ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් කොපමණ ප්‍රමාණයක්ද යන්න ඉතා වැදගත් වෙනවා. අපේ රට බංකොළොත්ද? නැද්ද කියලා බලන්නේ රටේ සමස්ත ආදායමෙන් කොපමණ ප්‍රමාණයක් ණය ගෙවන්න තියෙනවාද කියන කාරණය මතයි. අද වන විට අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 90%ක් ණය ගෙවීම සඳහා වැය වෙනවා. ඒ නිසා තමයි අපේ රට ණය ගෙවීම් පැහැර හැරීමට ලක්වෙලා කියලා.

ලංකාවේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් 90%ක් ණය ගෙවන්න තියෙනවා නම් අපේ අනෙකුත් සමස්ත කටයුතු වෙනුවෙන් තිබෙන්නේ. 10%ක ප්‍රමාණයක්. මේ ණයවලින් 53%ක් දේශීය ණය වන අතර 47%ක් විදේශීය ණය. විදේශීය ණය ගැන කතා කිරීමේදී අපි බැලිය යුතු තවත් කරුණක් වන්නේ මේ වන විට රජය ගිවිසුම් ඇති කරගෙන තිබෙන තවත් ණය ප්‍රමාණයක් තිබීමයි. එවැනි ණය ඇමරිකානු ඩොලර් බිලියන 75.1ට අමතරව ඇමරිකානු ඩොලර් බිලියන 9.2ක් තිබෙනවා. ඒ ණයවලින් 22%ක් එන්නේ චීනයෙන්. දැනට ලංකාව අරගෙන තිබෙන ණයවලින් 47%ක් අරගෙන තියෙන්නේ වෙළෙඳපොළ ණය. ඒ කියන්නේ ඉහළ පොලී අනුපාතයක් යටතේ ගන්නා ලද ණය. ඒ වගේම දැනට ලබාගෙන තියෙන ණයවලින් 10%ක් අරගෙන තියෙන්නෙත් චීනයෙන්. මෙලෙස ගන්නා ලද ණයවලින් බොහොමයක් කෙටිකාලීනව ගෙවන්න තිබෙන ණය. ඒ නිසාම ලංකාව ණයවල හිරවීමක් තිබෙනවා.

පසුගිය කාලයේ අපේ ණය වෙනස් වූ ආකාරය බැලූවිට, දේශීය ණය 2013 දෙසැම්බර් වන විට, රුපියල් බිලියන 3833යි. 2015දී රජය වෙනස්වීමේදී රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 4959 දක්වා වැඩිවුණා. ඒ අනුව දළ වශයෙන් ගත් විට අවුරුදු දෙකක් තුළ 29%කින් වැඩිවී තිබෙනවා. ඊට පසුව, යහපාලන ආණ්ඩුව යටතේ 2019 වන විට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6629යි. එය අවුරුදු හතරක කාලයක් තුළ 34%ක වැඩිවීමක්. පසුගිය මාස 6ක කාලය තුළ අපේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7381ක් වන තෙක් 11%කින් වැඩිවී තිබෙනවා.


විදේශීය ණය ගත්විට, 2013දී රුපියල් බිලියන 2960ක් පැමිණියද අද වන විට රුපියල් බිලියන 6315ක් දක්වා වැඩිවී තිබෙනවා. පසුගිය මාස හය තුළ එය 1.2%කින් වැඩිවී තිබෙනවා.


මෙම ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට 2013දී අපේ ණය 74%ක් වූ අතර අද වන විට එය 90%ක් දක්වා වර්ධනය වී තිබෙනවා. මේ නිසා තමයි ගෝල්ඞ්මන් සැච්ස් ආයතනය විසින් අපේ රට වර්ග කරන්නේ ස්වෛරී ණය පැහැර හැරීමේ අවදානම ඉහළ රටක් හැටියට. මෙමගින් ඇති කරන බලපෑම වන්නේ අපි ඉදිරියේදී ණය ගන්නා විට අපේ ණයවල අවදානම වැඩි නිසා පොලී අනුපාතිකය අතිවිශාල වශයෙන් ඉහළ දැමීමයි. 

ආණ්ඩුව ඩොලර් ගැටලුවක – මහාචාර්ය අනිල් ප්‍රනාන්දු


සෑම ආණ්ඩුවක් විසින්ම විවිධ විදියට අනවශ්‍ය ආකාරයකට ණය අරගෙන තියෙනවා. ඒ ණය දළ නිෂ්පාදිතයේ පංගුවක් විදියට රජයට දරා ගැනීමට අසීරු මට්ටමකට ඇවිත් තියෙනවා. අද වන විට එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 90%ක් වෙලා තිබෙනවා. ගැටලුව වී තිබෙන්නේ රජය ගන්නා ලද ඒ ණය පෙරළා ප්‍රතිලාභ වන ආයෝජනවල නොයෙදීම මෙන්ම දූෂණය නිසා ඒ ණයවල අර්බුදය අද වන විට ගැටලුවක් බවට පත්වී තිබෙනවා.


දේශීය ණය කොපමණ වැඩි වුණත් එය රට ඇතුළතදී යම් ආකාරයට මුදල් අච්චු ගැසීම මගින් හෝ රාජ්‍ය ආයතන සතු අරමුදල් මගින් හෝ පියවා ගත හැකියි. විදේශීය ණය ගනු ලබන්නේ ඩොලර්වලින් නිසා ඒවා ගෙවිය යුත්තේද ඩොලර්වලින්. ඩොලර්වලින් විදේශීය ණය ගැනීමේදී බැඳුම්කර මගින් ගන්නවා. ඒ වගේම ව්‍යාපෘතිවලට සහ රාජ්‍ය ආයතනවලටද ණය ගන්නවා. එහිදී රජයට ණය ගෙවීමේ හැකියාව සලකුණු කරන ප්‍රධානම එක වන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (Suternational Sovereign Bond) අපේ රට ඒවා නිකුත් කළාට පසුව අනිවාර්යයෙන්ම ආපසු ගෙවන බව පිළිගැනීමට ලක්වෙනවා. ඒක ගෙවා ගන්න බැරි වුවහොත් රටට ලොකු කළු පැල්ලමක් ඇති වෙනවා.


2030 වසර අවසන් වන විට ඩොලර් බිලියන 15.5ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වෙනුවෙන් ගෙවීමට ලංකාව බැඳී සිටිනවා. ඊට අමතරව ගන්නා ලද විදේශීය ණයත් තිබෙනවා. එය ඩොලර් බිලියන 5.7ක් වෙනවා. ගෝල්ඞ්මන් සැච්ස් වාර්තාව මගින් මතු කරන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ශ්‍රේණිගත කිරීමක්. පසුගිය ඔක්තෝබර් මාසයේ ඩොලර් බිලියනයක ණය ගෙවනු ලැබුවා. ඒ ආකාරයෙන් තවත් බිලියනයක් ලබන අවුරුද්දේ ගෙවන්න තියෙනවා.

ඊළඟ අවුරුද්ද ඇතුළත ලංකාව ඩොලර් මිලියන 6719ක් ගෙවීමට තියෙනවා. ඒ කාරණය සැලකිල්ලට ගෙන අප රට ණය පැහැර හැරීමේ හෝ ණය ගෙවීමේ නොහැකියාව ඇති රටක් ලෙස නම් කරන්නේ. ඒ අය එහෙම කියන්නේ ඇයි? ලබන අවුරුද්දේදී ඩොලර් බිලියන 6.6 ගෙවන්න නම් අපි ඩොලර් උපයන්න ඕනේ. අප සතුව සංචිත ඩොලර් උපයන්න ඕනේ. අප සතුව සංචිත ඩොලර් බිලියන 6.7ක් තිබුණත් ඒක මුළුමනින්ම පාවිච්චි කරන්න ලංකාවට බැහැ.

එම සංචිතවලින් යම් ප්‍රමාණයක් HSBC හෝ සිටි බෑන්ක් වැනි ජාත්‍යන්තර බැංකුවල තිබෙන්නේ. ඒ වගේම දේශීය බැංකු විදේශීය රටවල බැඳුම්කර හරහා ආයෝජනය කරන ලද මුදල්ද ඒ මුදල් ප්‍රමාණය අතර තිබෙනවා. එලෙස තිබෙන ඩොලර්වල වටිනාකම ඩොලර් මිලියන 3300ක් වෙනවා. අපිට පාවිච්චි කරන්න පුළුවන් වන්නේ රට ඇතුළත තිබෙන ඩොලර්වලින් පමණයි. අපිව අලුතින් විදේශීය සංචිත එන්නේ නැහැ. එලෙස ඒමට නම් අපනයන ආදායම සහ විදේශීය ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම වැඩිවිය යුතුයි. එසේත් නැතිනම් කවුරුන් හෝ ඩොලර්වලින් අප රටට ආධාර කරන්න ඕනේ. ඒත් දැන් ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. එසේ නොමැති නම් ඩොලර්වලින් ණය ලබාගත යුතු වෙනවා.


ශ්‍රී ලංකාව විදේශීය ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 7ක් සහ අපනයනවලින් ඩොලර් බිලියන 10ක්ද වශයෙන් බිලියන 17ක ආදායමක් ලබනවා. එහෙත් ආනයන සඳහා ඩොලර් මිලියන 20කට වැඩි ප්‍රමාණයක් රටෙන් පිටතට ගලාගෙන යනවා. ඒ අනුව ඒ සඳහා තව බිලියන තුනක් ගෙවන්න සිදුවෙනවා. මේ වන විට රට තුළ ආනයන පාලනයක් තිබුණත්, එය වෙනත් විදියකට රටේ ආර්ථිකයට බලපානවා. ඒ අනුව ඉදිරි අවුරුද්ද ඇතුළත විදේශීය සංචිත වැඩිකර ගැනීමට හැකියාවක් තිබෙන බව සනාථ කෙරෙන සලකුණත්, ඉඟියක් හෝ මගපෙන්වීමක් අපට නැහැ. ඒ අනුව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. එවිට ණය ගෙවීමේ අසීරුතාවක් ඇති වෙනවා. ඒක තමයි ගෝල්ඞ්ම්ස් සැච්ස් ආයතනය සිය වාර්තාව මගින් මතුකර පෙන්වන්නේ.


මේ අවුරුද්ද ඇතුළත අන්තර්ජාතික වෙළෙඳපොළේ අපේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිල ගණන් 45%ක් පමණ පහළට ගොස් තිබෙනවා. එවිට කවුරුත් ආයෝජනය කරන්න බයවෙනවා. උදාහරණයක් වශයෙන් සඳහන් කළහොත් ඩොලර් 100ක් වටිනා අපේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් විදේශීය වෙළෙඳපොළේ ඩොලර් 50ක් හෝ 60කට අලෙවි වන මට්ටමකට පැමිණ වෙනවා. අපේ රට ණය ගෙවීමේ අර්බුදයකට යනවා කියලා එවිට අපේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කවුරුවත් ගන්නේ නැහැ. එවැනි තත්ත්වයක් මීට පෙර ලෝකයේ වෙලා තිබෙනවා. ඒ රටවල් වන්නේ ඉක්වදෝරය, ආර්ජන්ටිනාව සහ ලෙබනන්. මෙවර ලංකාව, ඉරාකය, ඇන්ගෝලාව සහ ගැබොන් රාජ්‍යය එවැනි තත්ත්වයකට පත්වනු ඇති බවට ගෝල්ඞ්ස්මිත් සැච්ස් ආයතනය අනතුරු අඟවා තිබෙනවා. ඒකට හේතු වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ පෙර කියන ලද රටවල් දිගුකාලීන වශයෙන් ණය ලබාගෙන ඔවුන්ගේ ජංගම ගිණුම වන ආනයන සහ අපනයන අතර පරතරයේ විශාල හිඟයක් ඇතිකර ගැනීමයි. ආනයන පාලනය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපනයන වර්ධනය කරන්න අවශ්‍යයි. ඒ රටවල්වලට මෙම ආයතනය අනතුරු ඇඟවීමක් කළත් ඔවුන් ඒ ගැන තැකීමක් කළේ නැහැ. මෙවර අපේ රට ඇතුළු රටවල් හතරකටත් එවැනිම අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. එම ආයතනය ආවාට ගියාට වාර්තා නිකුත් කරන්නේ නැහැ. මනාව තොරතුරු අරගෙන තමයි එම වාර්තා නිකුත් කරන්නේ.

-ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු-

-රාවය-

Leave a Reply