විසිවැනි සංශෝධනය සම්මත කරගත්තාට පසුව ආණ්ඩුව, අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා සුදානම් වේ. ඒ සඳහා දැනට විද්වත් කමිටුවක් පත් කර ඇත. යෝජනාද කැඳවා ඇත. පෙනෙන්නට තිබෙන පරිදි, ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම මහජන අදහස් විමසා සිදුවන ක්‍රියාවලියක් ලෙස නොපෙනේ. පුද්ගලයින්ගෙන්ද සංවිධාන වලින්ද ලිඛිත යෝජනා ලැබුණු පසු, ඒවා සැළකිල්ලට ගෙන හෝ නොගෙන, තම දේශපාලන ස්වාමිවරුන්ගේ උපදෙස් වලට අනුව ව්‍යවස්ථාව විද්වත් මණ්ඩලය විසින් කෙටුම්පත් කරනු ලැබීමට බොහෝවිට ඉඩ තිබේ. එය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද, පාර්ලිමේන්තුවෙන්ද අනුමැතිය ලබා ගැනීමට දුෂ්කර නොවනු ඇත. විසිවැනි සංශෝධනයේ රාමුව ඇතුළතම, ඕනෑම නිර්ප්‍රජාතන්ත්‍රවාදි නව ව්‍යවස්ථාවක් පැණවීමට නෛතික ඉඩකඩද තිබේ. 1978 ව්‍යවස්ථාවට එකතු කරන ලද ඉතාම නිර්ප්‍රජාතන්ත්‍රවාදි සංශෝධනය 20 සංශෝධනය වීම ගැන ආණ්ඩුව පැත්තෙන් කිසිවකු දොම්නසක් පළකර නොසිටිනවා පමණක් නොව, ඒ ගැන ආඩම්බර වන බවද පෙනේ.
මේ පසුබිම තුළ නව ව්‍යවස්ථාවක් පිළිබඳ කරුණ දේශපාලන ගැටලුවක් ලෙස පහත සඳහන් ආකාරයට මතුවේ. ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන්නට බොහෝ ඉඩකඩ තිබේ. එහෙත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නටත් නොකරන්නටත් පුළුවන. ඉදිරිපත් කළත් සම්මත වන්නටත් නොවන්නටත් ඉඩ ඇත. 20 සංශෝධනය සම්මත කර ගැනීමට තිබුණු හදිසිය සහ උනන්දුව නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ආණ්ඩුවට නැතිනම් අප ඒ ගැන පුදුම වියයුතුද නැත. 19 වැනි සංශෝධනයෙන් පසුව අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලිය පත්වුයේ එවැනි තත්ත්වයකටය. ඒ ඇරත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් බලනවිට, 20 සංශෝධනයට අලුතෙන් එකතුකරන්නට එතරම් දෙයක් නැත. එබැවින් නව ව්‍යවස්ථාවක් සඳහා දැනට තිබෙන උනන්දුව දේශපාලන න්‍යාය පත්‍රයක කොටසක් පමණක් වීමටද බොහෝ විට ඉඩ තිබේ.
ඒ කෙසේ වෙතත් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වලට නම්, නව ව්‍යවස්ථාවක් පිළිබ`ඳ අදහස අත්හළ නොහැකිය. එයට හේතුව නම් විසිවැනි සංශෝධනය සහ එයට ඇතුළත්වන 1978 ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් අහෝසි කරන්නේ නැතිව, අප රටේ ප්‍රජාතන්ත්‍රවාදි ඉදිරිගමනක් සිදුවිය නොහැකි වීමය. මෙය එක් අතකින් විසිවැනි සංශෝධන කෙටුම්පත පිළිබඳුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් වක්‍රව ප්‍රකාශ වූ දේශපාලන යථාර්ථයකි. එය අනාවරණය වන්නේ මෙලෙසය. විසිවැනි සංශෝධනය යනු නිදහසින් පසුව ලංකාවේ ව්‍යවස්ථාවකට හඳුන්වාදෙන ලද ඉතාම ඈතටම ගිය නිර්ප්‍රජාතන්ත්‍රවාදී අරමුණුද, අන්තර්ගතයක්ද ඇති ව්‍යවස්ථා සංශෝධනයකි. එහි නිර්ප්‍රජාතන්ත්‍රවාදි හරය, 1978 මුල් ව්‍යවස්ථාවත්, එහි 18 වැනි සංශෝධනයටත් ඈත ගිය එකකි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ එම සංශෝධනයේ වගන්ති එකක් දෙකක් හැර සමස්තය 1978 ව්‍යවස්ථාව උල්ලංඝණය නොකරන, එයට අනුකූල බවයි. අනුකූල නොවන සුළු ඒවාද, ව්‍යවස්ථාවේම කියා ඇති පිළිවෙලට පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර අනුමැතියෙන්ද, ඉක්බිතිව ජනමත විචාරණයකින්ද සම්මත වන්නේ නම්, නීත්‍යානුකූල වෙයි.
මෙවැනි තත්ත්වයක් තුළ 20 වැනි සංශෝධනය විසින් අලුත් කරන ලද 1978 ව්‍යවස්ථාව ගැන, අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් බලන්නේ නම් එය සම්පූර්ණයෙන් අහෝසි කර, අලුත් ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම ඓතිහාසික අවශ්‍යතාවක් වී තිබේ.
ඇත්ත වශයෙන්ම, නව ව්‍යවස්ථාවක් පිළිබඳ අලුත් සාකච්ඡාවක් සඳහා දේශපාලන අවකාශය විවෘත වී ඇති වර්තමානයේ සියළු විරුද්ධ පක්ෂ වලත්, ප්‍රජාතන්ත්‍රවාදි බලවේගවලත් ප්‍රධාන කර්තව්‍යය විය යුත්තේ නිකම්ම නිකම් නව ව්‍යවස්ථාවක් යෝජනා කිරීම නොවේ. 1978 ව්‍යවස්ථාවත්, එය විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ දෙවැනි ජනරජයත් යන දෙකම අහෝසිකිරීමේ ඉදිරි දර්ශනය මත ක්‍රියාකිරීමයි. දෙවැනි ජනරජය අහෝසි කර, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදි නව තුන්වැනි ජනරජයක් නිර්මාණය කරන, තුන්වැනි ජනරජ ව්‍යවස්ථාවක් සඳහා මහජන ව්‍යාපරයක් දියත් කර, ශක්තිමත් මහජන මතයක් රටේ ගොඩ නැගීමයි.
මූලික මූලධර්ම
නිර් ප්‍රජාතන්ත්‍රවාදි සංශෝධනවලට ඉඩ නොතැබීම, නව සංශෝධනයේ ලක්ෂණයක් විය යුතුය. එය 1978 ව්‍යවස්ථාවෙන් අපට ඉගෙන ගැනීමට තිබෙන බරපතළ පාඩමකි. එය කළ හැකි මාර්ගය වන්නේ ව්‍යවස්ථාවේ “මූලික මූලධර්ම” තර්කය ඉදිරිපත් කළ නීතිවේදින්ට පිළිතුරු දෙමින් ආණ්ඩුව පැත්තේ නීතිඥයින් තර්ක කළ අතර, එම ආණ්ඩුවේ තර්කය ශ්‍රේෂ්ඨාධිකරණයද පිළිගෙන ඇත. “මූලික මූලධර්ම” පද්ධතියක් නැතිවීම, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ තිබෙන ඉතාම බරපතල පාඩුවක් බව මෙයින් පෙනේ. ඉන්දියාවේ ව්‍යවස්ථාවේ එවැනි “මූලික මූලධර්ම” පද්දතියක් අන්තර්ගත කිරීමෙහිලා එවැනි මූලධර්ම 78 ව්‍යවස්ථාවේ නැති බව මූලික මූලධර්ම රාමුවක් තිබෙන අතර, එය ව්‍යවස්ථාවේ ඇති අනුල්ලංඝණීය මූලධර්ම බවත්, ඒවා උල්ලංඝනය කරන ව්‍යවස්ථා සංශෝධන පිළිගත නොහැකි බවත් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද තීරණය කර තිබේ. සාමාන්‍යයෙන්, එවැනි “මූලික මූලධර්ම” වලින් සිදුකරන්නේ පුරවැසියාගේ නිදහස, අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය උල්ලංඝනය කරන නීති හෝ ව්‍යවස්ථා සංශෝධනයන් වලට ඉඩ නොතබා පුරවැසි නිදහසත්, දේශපාලන ප්‍රජාවගේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ජීවිතයත් අනුල්ලංඝනීය උරුමයක් ලෙසින් ආරක්ෂා කිරීමයි. මෙවැන්නක් නොමැති අපේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාවත්, දෙවැනි ජනරජයත් පිළිබඳ මෙම බරපතල ප්‍රශ්නය දැන්වත් මතුකළ යුතුව තිබේ. එය විපක්ෂයේ දේශපාලන පක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදි බලවේග සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නීතිවේදින්ගේ වගකීමකි. මෙය විශාල මහජන මතයක් තුළින් පමණක් නව ව්‍යවස්ථාවකට ඇතුළත් කළ හැකි වන අංගයකි. හේතුව අප රටේ අධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා චින්තකයන්, නීතිවේදීන් , “මූලික මූලධර්ම” ධර්මය පිළිගන්නේ නැති ගතානුගතික පැරඩයිමක සිටින නිසාය.
මහා සරදමක්
මේ අනුව 1978 ව්‍යවස්ථාව මේ දක්වාම, අප රටේ මහජනතාවට මහා සරදමක් කරමින් සිටින අතර, එය කාගේවත් අවධානයට යොමු නොවී තිබීම ඊටත් වඩා මහා සරදමකි. එය නම් ව්‍යවස්ථාව විසින් අප රටට දෙන ලද නිල නාමයත්, ව්‍යවස්ථාවත් අතර ඇති නොපෑහෙන ප්‍රතිවිරෝධයයි. මෙම ප්‍රතිවිරෝධයේ ආරම්භය තිබෙන්නේ අත්‍යන්තයෙන්ම 1972 ව්‍යවස්ථාවෙහිය. 1978 අප රටට එනම් දෙවැනි ජනරජයට දෙන ලද නිල නාමය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජය යන්නය. එහෙත් එම ව්‍යවස්ථාව වනාහී නිර් ප්‍රජාතන්ත්‍රවාදි, නිර් සමාජවාදි සහ මතුපිට සමුහාණ්ඩුවාදි ලක්ෂණ තිබෙන ව්‍යවස්ථාවකි. මේ අතර 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව අප රටට දුන් නිලනාමය “ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය” යන්නයි. එය මතුපිටින් සමාජවාදී, මතුපිටින් ප්‍රජතන්ත්‍රවාදී, ජනරජවාදී නොවන ජනරජයකි.
1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ තිබුණේ එක් ජනරජවාදි ලක්ෂණයකි. එයනම් “මහජන පරමාධිපත්‍යය” යන්න ව්‍යවස්ථාවෙන් පිළිගැනීමත්, මහජන මන්ත්‍රී මණ්ඩලය, මහජන පරමාධිපත්‍යය ගැබ්වු මංජුසාව ලෙස ව්‍යවස්ථාවෙන්ම ප්‍රකාශ කරමින්, එයට ව්‍යවස්ථාදායක පරමාධිපත්‍ය පැවරීමයි. සමුහාණ්ඩුවාදයේ අති කේන්ද්‍රීය මූලධර්මය වන රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා ඍජු මහජන ඡන්දයෙන් තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම නොසලකා හැර එම ව්‍යවස්ථාවේ සම්පාදකයෝ ජනාධිපතිවරයා පත් කිරීමේ බලය අගමැතිවරයාට පැවරූහ. අගමැතිනිය පළමුවැනි ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිතුමා ලෙස කළේ පොදු මහජනතාවගේ නියෝජිතයකු නොව, රාජාණ්ඩුක්‍රමයේ සම්ප්‍රදාය අනුගමනය කරමින්, තම පවුලේම සාමාජිකයකු වූ මාමා කෙනෙකි. ජනරජයේ නාමයෙන් අප රටේ ජනතාවට කරන ලද මෙම කුරිරු සරදම ගැන අප රටේ කිසිවකුටත්, එම ව්‍යවස්ථාවේ සම්පාදකයන් වූ සමාජවාදී බුද්ධිමතුන්ටත් නොපෙනුණේ ඇයි ? මෙය වනාහි 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව ගැන ප්‍රමාදවී හෝ කළයුතු විවේචනයකි.
මේ අතර, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පුරවැසි නිදහස්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය සහ නීතියේ ආධිපත්‍ය යන සමූහාණ්ඩුවාදී, ජනරජවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලික මුලධර්ම වලින් ඉවත්වීම ආරම්භ කළේ 1972 සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ ව්‍යවස්ථාව සමඟය. පුරවැසි නිදහස සහ නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනරජවාදී මූලධර්ම දෙකටම සරදම් කරමින් 1972 ව්‍යවස්ථා සම්පාදකයින් කළේ මූලික අයිතිවාසිකම් පරිච්ජේදයක් ව්‍යවස්ථාවට ඇතුළත් කර, එම මූලික අයිතිවාසිකම් නීතියෙන් ජයගත නොහැකි සීමාවන්ට, ව්‍යවස්ථාවේ වගන්තියකින්ම, භාජනය කිරීමයි. ඒ සමඟම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට ලක්වූ පුරවැසියන්ට ඒ ගැන ගත හැකි අධිකරණ ක්‍රියාමාර්ග ගැන ව්‍යවස්ථාවේ වචනයක්වත් නොකියා නිහඬව සිටීමයි. 1972 ව්‍යවස්ථාව වලංගුව තිබුණු අවුරුදු පහ තුළම අධිකරණය හමුවට පැමිණියේ එකම මූලික අයිතිවාසිකම් නඩුවකි. දිස්ත්‍රික් උසාවියෙන් ආරම්භ වූ එම නඩුව අභියාචනා මාර්ගයෙන්, 1978 එම ව්‍යවස්ථාව අවලංගු කරන තුරුම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස්, විභාග නොකර තිබුණි. 1972 ව්‍යවස්ථාව 1978 අහෝසිකරන විට එම මූලික අයිතිවාසිකම් නඩුවද ඉබේම අහෝසි විය. මේ කතන්දරයේ තවත් පුදුමාකාර සරදමක් තිබිණ. එය නම් එම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි විට, එහි වින්දිත පැමිණිලිකරුවාගේ නීතිඥයා වුයේ 1972 ව්‍යවස්ථාවේ සම්පාදකයාද වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා වීමය.
1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවේ සම්පාදකයා ජේ. ආර්. ජයවර්ධන මහතා කළේ ජනරජයෙත්, ව්‍යවස්ථාවෙත් නිලනාමය “ප්‍රජාතන්ත්‍රවාදය” යන්න ඉස්සරහට ගැනීමයි. එහෙත් 1978 ව්‍යවස්ථාව යටතේ ජනතාවට නැතිවුයේද ප්‍රජාතන්ත්‍රවාදයයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කළ 1978 ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට විධායක ඒකාධිපතිවාදී ජනාධිපති ක්‍රමයක් හඳුන්වා දුන්නේය. එය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදි ජනපති ක්‍රමයක්වත්, ප්‍රජාතන්ත්‍රවාදි සමූහාණ්ඩුවාදයක්වත් නොවීය. රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා ඍජු මහජන ඡන්දයෙන් තෝරා ගැනීමේ සමුහාණ්ඩුවාදී මූලධර්මය 1978 ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන්නද, ජයවර්ධන මහතා එය කළේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමේ පියවරක් ලෙසය. මූලික අයිතිවාසිකම් 1978 ව්‍යවස්ථාවෙන් අධිකරණමය වශයෙන් බලාත්මක කරනු ලැබූ බවත් එම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ වැඩිම කාලයක් තුළ රට පාලනය වූයේ මූලික අයිතිවාසිකම් අත්හිටුවන ලද හදිසි නීතිය සහ ත්‍රස්ත විරෝධී නීති යටතේය.
මේ අතර සමාජවාදය යනු පළමුවැනි ජනරජයෙන්වත්, දෙවැනි ජනරජයෙන්වත් සේවය නොකළ සමාජ නිෂ්ඨාවකි. 1972 සමගි පෙරමුණු රජය සමාජවාදය යැයි ජනතාවට ඉදිරිපත් කළේ රාජ්‍ය ධනවාදයයි. 1978 දී ජේ. ආර්. ජයවර්ධන කළේ එම රාජ්‍ය ධනවාදය දිය කර දැමීම ආරම්භ කිරීමයි.
තෙවැනි ජනරජයක්
දෙවැනි ජනරජයේ ව්‍යාජය 20 සංශෝධනයෙනුත් තව දුරටත් සම්පූර්ණ වෙනසකට භාජනය නොකර දිගටම පවත්වා ගැනීම වනාහී, මෙරට ජනතාවට කරන සරදමක් සහ නින්දාවක්ද වෙයි. දැන්වත් කළ යුතුව තිබෙන්නේ අප රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අනාගතයකට ගැලපෙන නව ව්‍යවස්ථාවන්ද, ඒ මඟින් නිර්මාණය වන නව ජනරජයක් ගැනද සිතන්නට පටන් ගැනීමයි.
නව ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි සහ ජනරජවාදි මුලධර්ම කවරක් විය යුතුද යන්න, නව තුන්වැනි ජනරජයක් පිළිබඳ සාකච්ඡාවේ තේමාවන් විය යුතුය. එහෙත් එය ප්‍රථම සහ දෙවැනි ජනරජවලට වඩා ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයක් විය යුතු වීම ඓතිහාසික අවශ්‍යතාවකි.
-ජයදේව උයන්ගොඩ-
රාවය
