පිළිගත් ප්‍රමිතීන් සපුරාලීමෙහි ලා අසමත්ව ඇති, යල් පැන ගිය ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පළමු වරට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පිළිබද කරන ලද දීප ව්‍යාප්ත අධ්‍යනයක සඳහන් වේ.
පිටු 863කින් යුත් එම වාර්තාව පසුගිය දා නිකුත් වුණා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයනය සිදු කිරීමේදී රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් පරීක්ෂාවට ලක් කර ඇත. බන්ධනාගාර, රිමාඩ් බන්ධනාගාර සහ වැඩ කඳවුරු ඊට ඇතුළත්ය. එහිදී රැඳවියන්, බන්ධනාගාර බලධාරීන් මෙන්ම රජයේ ආයතන, ස්වාධීන සහ රාජ්‍ය නොවන කණ්ඩායම් ඇතුළු වෙනත් පාර්ශව ද සම්මුඛ සාකච්ඡාවට බඳුන් කර තිබේ.
එකී විෂයට අදාළ තොරතුරු හිඟ වීම මෙන්ම බන්ධනාගාර පද්ධතිය, ඒවායේ තත්ත්වය සහ සිරකරුවන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් පවතින මහජන කතිකාව අඩු වීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කර ඉහත කී අධ්‍යයනය සිදු කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
එමෙන්ම එකී අධ්‍යයන වාර්තාව ප්‍රකාශයට පත්ව ඇත්තේ කොරෝනා වෛරස් පැතිරීම හමුවේ මහර, වැලිකඩ සහ අනුරාධපුර වැනි බන්ධනාගාරයන්හි ප්‍රචණ්ඩ ක්‍රියා සහ විරෝධතා හටගත් පසුබිමකදීය. අදාළ අධ්‍යයනයේ අඩංගු සොයා ගැනීම්, නොවැම්බර් 29 වෙනිදා මහර බන්ධනාගාරයේ හට ගත් කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් අතුරු වාර්තාවේ නිර්දේශ හා සමපාත වීම ද විශේෂත්වයකි.
2018 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ කරන ලද අධ්‍යයනය සඳහා බන්ධාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාර මෙන්ම ඊට ඔවුන්ගේ සහාය ද ලැබුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයන වාර්තාවේ සඳහන් කර ඇත.
ඔබට මෙම ලින්ක් එක ඔස්සේ අදාළ සම්පූර්ණ වාර්තාව බාගත කරගත හැකිය.
මේ ගැන විශේෂාංග ලිපියක් පසුව පළ වේ.
