ලබන මාර්තු මාසයට කළින් පළාත් සභා මැතිවරණය…

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාවක් අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි.අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවය.

මේ වන විට වසර 3 කට අධික කාලයක් පළාත් සභා මැතිවරණය කල්දමා ඇති බැවින් එය කඩිනමින්  පැවැත්වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තමන්ට දැනුම්දුන් බව අමාත්‍යවරයා පවසයි. ඒ අනුව අද අන්තර්ජාලය ඔස්සේ රැස්වන කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය  දිනෙක මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් දුන්නේය. මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා අග්‍රාමාත්‍යතුමා අතර විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේය.පැරණි හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට හැකි ඉඩකඩ සොයා බලන ලෙසද අග්‍රාමාත්‍යතුමා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හමුවේ පැවසීය.මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අමාත්‍යාංශ මට්ටමින් සිදු කළ යුතු බව මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ පැවසූහ.

ඒ හේතුවෙන් මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය ඔස්සේ පවත්වා ඉදිරියේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම වඩා පහසු බව ඔවුහු පෙන්වා දුන්හ. මෙහිදී දැනට පවතින මැතිවරණ නීතිවලට සංශෝධන අවශ්‍ය බව පැවසූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යතුමා මේ වන විටත් තමන් ඒ පිළිබඳව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා  අතර විශේෂ හමුවක් සිදුව ඇති බව වාර්තා වෙයි. පැවති එම සාකච්ඡාවේදී  කතාබහ වී ඇත්තේ උතුරු නැඟෙනහිර වාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන්ය. එහිදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ එදා සිටම උතුරු නැඟෙනහිර ප්‍රශ්නය ජිනීවා මානව හිමිකම් කොමිසමේ ලංකාවට එරෙහිව චෝදනාව සමඟ බරපතළ ලෙස එකට ගැටගැසී ඇති බවය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම, උතුරු නැඟෙනහිර ප්‍රදේශවලට බලතල ලබාදීම එහිදී ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් බවද පෙන්වා දී ඇත. ඒ අනුව අවසානයේදී ජනාධිපතිවරයා සැලසුම් කොට ඇත්තේ මාර්තු මාසයේ ජිනීවා කොමිසම ආරම්භ වීමට පළමුව උතුරු නැඟෙනහිරද ඇතුළුව ලංකාවේම පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කිරීමටය. ඒ හරහා උතුරු නැඟෙනහිරට දේශපාලන බලය ලබාදීමටය.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පසුගියදා මැතිවරණ කොමිසමට උපදෙස් ලබා දුන් පසුබිමක  මැතිවරණ කොමිෂන් සභාව ලබන 17 වැනිදා ප්‍රථම වරට රැස්වෙයි. ඒ, කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ය. පවතින මැතිවරණ ක්‍රමය සහ මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

එම්.එම් මොහොමඩ්, එස් බී දිවාරත්න, කේ පී පී පතිරණ සහ ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් ය. පසුගිය 10 වැනිදා කොමිසමේ සාමාජිකයින් නිල වශයෙන් රාජකාරී ආරම්භ කළේ ය.

Leave a Reply