You are currently viewing කොරෝනා සමයේ ශ්රීජ ලංකාව සඳහා අවස්ථාවන්

කොරෝනා සමයේ ශ්රීජ ලංකාව සඳහා අවස්ථාවන්

හැඳින්වීම

One Text Initiative (OTI) යනු එකඟතාව මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අනුග්‍රහය දක්වන, අන්තර් දේශපාලන පක්ෂ සංවාද සඳහා පහසුකම් සපයන සංවිධානයකි. සැලසුම් සකස් කිරීම OTI හි ප්‍රවේශයේ ප්‍රධාන අංගයක් වන අතර එමගින් අන්තර් පාර්ශව එකඟතාව සඳහා ප්‍රතිපත්තිමය අභියෝග පිළිබඳ අවබෝධන කර ගැනීම හා ඒ සඳහා ක්ෂේත්‍ර හඳුනා ගැනීම සිදු කෙරේ. කොවිඩ් වසංගතය පැතිරීම හා රජය ඊට දක්වන ප්‍රතිචාරය මගින් ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථිකය සහ සංස්කෘතික භූදර්ශනය පෙර නොවූවිරූ ආකාරයකට හැඩගස්වනු ලබන පසුබිමක OTI විසින් අනාගත අවස්ථාවන් පුරෝකථනය කිරීම සඳහා අදහස් විමසීම තුළින් දැනට පවතින අවස්ථාවන් විස්තර කිරීමේ (scenario building) වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදී. සියළු ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන් හරහා OTI සන්සදයේ දී සහ ස්වාධීන විශේෂඥයන් වෙතින් අදහස් විමසීමේ ක්‍රියාවලියක් තුළින් අවස්ථාවන් හඳුනා ගැනීම සිදු කෙරිණි. පසුබිම් තොරතුරු, තත්ව ඇගයීම හා ගැටුම් අනුරූපණය (conflict mapping), අනාගත අවස්ථා සැලසුම් කිරීම හා උපායමාර්ගික පුරෝකථනය, ආකෘති සකස් කිරීම, උපායමාර්ගික මැදිහත් වීම සඳහා වන ක්‍රම හා මෙවලම්, සහ විකල්ප අවස්ථා නිර්මාණය කිරීම සමග කලින් කලට අවස්ථාවන් ඇගයීම සහ යාවත්කාලීන කිරීම OTIහි අපේක්ෂාව වේ.        

OTI අවස්ථාවන් යනු මොනවාද?

අවස්ථාවන් පිළිබඳ OTI ප්‍රවේශය මගින් ඒවා සලකනු ලබන්නේ හෙට දිනයේ ලොව කෙසේ වනු ඇතිද යන්න පිළිබඳ වන විස්තර කිරීම් ලෙසයි. ඒ මන්ද යත්, යම් තත්වයක් අනාගතයේ දී වෙනස් විය හැකි ආකාර රැසක් වේ. කිසිඳු අවස්ථාවක් මගින් අනාගතය පිළිබඳ නිශ්චිත වූ පුරෝකථනයක් ලබා දෙනු නොලැබේ. සැබැවින්ම සිදු විය හැකි දේ යනු සාධක හා ක්‍රියාකාරීන් රැසකගේ අන්තර් ක්‍රියාවක ප්‍රතිඵලයක් වන බැවින් අවස්ථාවන් මගින් සිදු කෙරෙන්නේ අපේක්ෂා කළ හැකි දේ පිළිබඳ විස්තරයක් සැපයීමයි. එවැනි විස්තරයක් සාමාන්‍යයෙන් වර්තමාන හා අතීත ප්‍රවණතාවන් සහ අවස්ථාවන් පිළිබඳ පරිපූර්ණ විශ්ලේෂණයක් මත පදනම් වේ. පහත දැක්වෙන අවස්ථාවන්වලදී කොවිඩ් – 19 සලකනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අභිනව රජයෙහි අනාගත ගමන් මග සඳහා වන උත්ප්‍රේරකයක් ලෙසයි. ඒ අනුව, රජයේ වසර පහ සඳහා අවස්ථාවන් හතරක් පිළිබඳ පුරෝකථනය කර ඇති අතර එහිදී වහාම ඇති විය හැකි තත්වයන් පිළිබඳ අවධානය යොමු කර ඇත. මෙම අවස්ථාවන් මගින් කොවිඩ් – 19 පැතිරීමේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථීක, දේශපාලන හා සමාජ සංස්කෘතික ක්ෂේත්‍ර පුළුල් වශයෙන් ආවරණය කරනු ලැබේ.    

OTI හි අවස්ථාවන් ගොඩනැගීමේ ක්‍රමවේදය

OTI විසින් සියළු ම ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන OTI හවුල්කරුවන් සමග පුළුල් සාමූහිකව ගැටළු විසඳීමේ හා අදහස් විමසීමේ ක්‍රියාවලියක් අදාළ කරගනු ලැබේ. OTI විසින් 2010 දී සකස් කළ තමන්ට හිමි අවස්ථා ගොඩනැගීමේ මෙවලම් කට්ටලය භාවිතා කරනු ලබන අතර එදා සිට දේශපානික හා සමාජීය ප්‍රතිඵල පුරෝකථනය කිරීමට එය භාවිතා කරනු ලැබේ. පුළුල් පරාසයක විහිදුණු සංවර්ධනයන්, ගමන් මාර්ග හා විශේෂඥයින්ගේ අදහස් මෙම ක්‍රියාවලියට ඇතුළත් වන අතර දේශපාලන පක්ෂ නියෝජිතයන් හා විශේෂඥයින් සහභාගි වන, සාමූහිකව ගැටළු විසඳන ක්‍රියාවලියක් යොදා ගනිමින් ගැටළු පිළබඳ විස්තර රැස් කෙරිණි. මෙම අදහස් OTIහි යුගල අනුව ශ්‍රේණිගත කිරීමේ ප්‍රවේශයන් සඳහා වන ගාමකයන්, ක්‍රියාකාරීන් හා සාධක ලෙස වර්ග කෙරේ. අවස්ථාවන් හතරක් හඳුනා ගනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන පරිසරයෙහි දැනට පවතින ගතිකයන් මගින් මීළඟ වසර පහ තුළ හඳුනා ගත් ඕනෑම අවස්ථාවක් නිර්මාණය කිරීමේ හැකියාව පවතියි. උපරිම ස්ථාවරභාවය ළඟා කර ගැනීම සඳහා අවස්ථාවන් ප්‍රතිඵල සමූහ ලෙස වර්ග කෙරේ. කෙසේ වුවද, ඉතා පැහැදිලි කරුණු හේතුකොට ගෙන අවස්ථාවන් අතර සිදු වන උපරිපථනයන් වැළැක්විය නොහැක. අවස්ථාවන් හඳුනාගන්නා ලදුව නිරවද්‍යතාවය සඳහා පරීක්ෂා කළ පසුව සහභාගි වන නියෝජිතයන් හා විශේෂඥයින් ඒ සම්බන්ධයෙන් එකඟ වෙති.               

එක් එක් අවස්ථාව යථාර්ථයක් වීමට ඇති හැකියාවට අදාළව අඩු, සාමාන්‍යයෙන් සිදු වීමට හැකි, සිදු වීමට හැකි හා සිදු වීමට බොහෝ සෙයින් හැකියාව ඇති යන මැනුම් හතර අනුව අවස්ථාවන්වල මට්ටම තීරණය කරනු ලැබේ. තවද, එක් එක් අවස්ථාව යටතේ වන රජය වෙත ඇති විශ්වසනීය බව ද ඉතා අඩු, අඩු, සාමාන්‍ය, ඉහළ ලෙස වර්ග කර ඇත.  

1 වන අවස්ථාව – ෆීනික්ස්

හැකියාව: අඩුයිවිශ්වසනීය බවසාමාන්‍යයි

නීත්‍යානුකූල බව – ජනාධිපතිවරයා වටා කේන්ද්‍රගත වී ඇත: කොවිඩ් – 19 වසංගතයේ පැතිරීමත් සමග බහුතර ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් මෙම වසංගත තත්වය පාලනය කරන ජනාධිපතිවරයා වෙත දේශපාලන බලය මාරු වේ. ඔහු තත්වය පාලනය කිරීම හේතුවෙන් ශක්තිමත් හා ජනප්‍රිය නායකත්වය අගය කිරීමට පාත්‍ර වේ. ජනතාව එක්සත් කිරීම හා නව ජාතිවාදයක් මතු වීම කෙරෙහි කොවිඩ් – 19 ඉවහල් වේ.     

ආර්ථීකය – ඉන්ධන මිළ පහළ බැසීම, ප්‍රමාණවත් විදේශ ආධාර හා ආනයන අඩු වීම: ඉන්ධන මිළ පහළ බැසීම හා චීන මූල්‍ය සහාය හේතුවෙන් කෙටිකාලීන සහ මධ්‍ය කාලීන වශයෙන් රාජ්‍ය මූල්‍ය අස්ථාවරව පවතියි. ගෝලීය ආර්ථිකයේ පසුබෑම දැඩි ලෙස බලපාන්නේ බටහිරට වුවද සංවර්ධිත ආර්ථීකයන්ගේ ඍණෘත්මක පිළිබැඳියාවන් මගින් ශ්‍රී ලංකාව ඇතුළු නැගී එන ආර්ථිකයන් වෙත ආයෝජනය කිරීමට පොළඹවනු ලැබේ. ඉන්ධන මිළ පහළ බැසීම හේතුවෙන් ආනයන වියදම අඩු වන අතර එය අපනයනයන් අඩු වීමට අදාළ හානිපූරණයක් වේ. කෙටිකාලීනව රටවල් වසා දැමීම මගින් ඇතැම් ස්ථාවර ජාලයන් කෙරෙහි බාධා එල්ල වන අතර නව හා වඩාත් කාර්යක්ෂම නිෂ්පාදන සහ බෙදාහැරීමේ පද්ධති ඇති වීමට ඉඩ සලස්වනු ලැබේ. අඩු වූ සුඛෝපභෝගී ආනයනයන් සහ දේශීය නිෂ්පාදන උන්නතිය මගින් මහතීර්ගේ මැලේසියානු ආකෘතිය කෙරෙහි රට යොමු කෙරෙන අතර එමගින් හමුදා සහාය සහිත රාජ්‍ය ධනවාදය කේන්ද්‍ර වූ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සුළු පිරිසක් “අභ්‍යන්තරයේ“ පවතින අවස්ථාවන් භුක්ති විඳින නව පරිච්ඡේදයක් ආරම්භ කරනු ලැබේ.        

දේශපාලනය – ජනාධිපතිවරයා දේශපාලන වාසියක් ලබන අතර පාර්ලිමේන්තුවේ හා පාර්ලිමේන්තු ඡන්දයේ අදාළතාව අඩු වෙයි: ශක්තිමත් හමුදාවක් හා හිතකර මාධ්‍ය ජාලයන් විසින් සහාය ලබන ජනාධිපතිවරයාගේ මනා කළමනාකරණය කෙරෙහි ඇති වන විශ්වාසය හේතුවෙන් ඡන්ද යනු මහජනතාවට සාපේක්ෂව නොවැදගත් ක්‍රියාදාමයක් වනු ඇත. ජනාධිපතිවරයාගේ මතයට සහාය පළ කරන බෞද්ධ සංඝයා වහන්සේලාගේ උපකාරයෙන් පාර්ලිමේන්තු ඡන්ද නොපැවැත්වීම හෝ වත්මන් පාර්ලිමේන්තුව යළි කැඳවීමකින් තොරව එම මැතිවරණය හැකිතාක් කල් දැමීම සිදු කරනු ඇත. මැතිවරණය පවත්වනු ඇති අතර ආණ්ඩු බලය සහිත පක්ෂය පැහැදිලි බහුතරයක් ලබා ගනු ඇත. මෙහිදී සැලකිය යුතු පක්ෂ මාරු කිරීම් ප්‍රමාණයක් සහිතව 2/3ක බහුතරය ලබා ගත හැකි වනු ඇත. දේශපාලන ස්ථාවරත්වය පවතින අතර ආණ්ඩුවට අඛණ්ඩව පැවතීමේ වැඩි ඉඩක් සහිතව එය ජනප්‍රියව පවතියි. ජනාධිපතිවරයාගේ භූමිකාව අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාවට වඩා වැදගත් හා ප්‍රමුඛත්වයක් හිමි වනු ඇත.

අභියෝග – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් ඇති වීමේ අවදානම, ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීම, අප්‍රසාදය කළමනාකරණය කිරීම. පාර්ලිමේන්තුව යළි කැඳවනු නොලබනු ඇති අතර රාජ්‍ය වියදම් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා නොගනු ඇත. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කෙරේ. මෙහි ප්‍රතිඵලය විය හැක්කේ ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වීමයි. මන්ද යත්, මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව රැස් වීමෙන් තොරව පැවතිය හැකි මාස තුනක (03) කාලය ඉක්මවා යා හැකි බැවිණි. ඉහළ යමින් පවතින ඒකාධිපති ප්‍රවණතාවන් වාර්ගික හා ආර්ථීක අතෘප්තිමත්භාවය ඇති වීමට හේතු විය හැකිය. ආන්තිකකරණයට ලක් වූවන්ගේ මානව හිමිකම්, සුළු ජාතික අයිතීන් හා ආර්ථික හිමිකම් කෙරෙහි ගරු කිරීම රජයේ අවධානය අඩු ක්ෂේත්‍ර විය හැකිය. ආක්‍රමණශීලී බෞද්ධ සංඝයා ඇතුළු ආගමික පෙළඹවීමක් සහිත බහුතර ක්‍රියාකාරීන්ගේ බලය හා ඉල්ලීම් වැඩි වීම මගින් සිවිල් පරිපාලනය පවත්වා ගැනීම කෙරෙහි ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇත.          

II අවස්ථාව – වීරයන්ගේ මුඩු බිම

හැකියාව: සාමාන්‍යයිවිශ්වසනීය බවඉතා අඩුයි

නීත්‍යානුකූල බව – රජයෙහි නීත්‍යානුකූල බවක් නොමැති අතර විපක්ෂය දුර්වලය. සාපේක්ෂව ජනප්‍රිය නොවූ රෙජිමය “අයියාගේ“ දේශපාලනය වෙත යොමු වේ. රජයේ අභ්‍යන්තර බෙදීම් එහි ප්‍රතිරූපය හා ඒකීයත්වය කෙරෙහි බලපායි. දැඩි හමුදාකරණය රජයේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානිකර වේ.    

ආර්ථිකය – කොවිඩ් – 19 හේතුවෙන් ඇති වී තිබෙන ලෝක ආර්ථික පසුබෑමෙහි බලපෑම මගින් මෙරට පවතින විදේශ ණය අර්බුදය බරපතල තත්වයකට පත් වනු ඇති අතර දැනටමත් එකම ස්ථානයක රැඳී පවතින අපනයන ආදායම් තවදුරටත් අර්බුදකාරී මට්ටමකට ළඟා වනු ඇත. දීර්ඝ කාලයක් අඛණ්ඩව වසා දැමීම හේතුවෙන් ආර්ථිකය පහළ බැසීම, අපනයන ආදායම් හා සංචිත අඩු වීම සිදු වනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන සමාජ – ආර්ථික පහත වැටීම මගින් සංවර්ධනය අඩපණ වීම, අවස්ථාවන් අවම වීම, එකම ස්ථානයක රැඳී පැවතීම, සමාජය තුළ අසමානතාව සහ කළකිරීම ඉහළ යාම සිදු වේ. ගෝලීය පසුබෑම සංචාරක කර්මාන්තය, ඇඳුම් පැළඳුම් හා වෙනත් අපනයනයන් කෙරෙහි බලපායි. බෙදාහැරීම හා  ඉහළ යන රෙජිමයේ ප්‍රතිපාදිතය සඳහා වන රාජ්‍ය වියදම් වැඩි වීම හේතුවෙන් ඉන්ධන මිළ පහළ බැසීමේ වාසිය ලබා ගත නොහැකි වී ඇත. 

දේශපාලනය – මුලින් ජනතාවගේ කැමැත්ත වනු ඇත්තේ ජනතාවාදී ශක්තිමත් රජයක් වන අතර අවසානයේ එය තීරණ ගැනීමේ ක්‍රියාවලීන්වලදී අදාළ කර ගන්නා ආක්ඩුක්‍රම ව්‍යවස්ථාමය පිරික්සුම් හා තුලනය කිරීම් මග හරියි. අනාගත අර්බුදවලට මග පාදමින් පාර්ලිමේන්තු මැතිවරණය කල් දමනු ඇති අතර අර්බුද කෙරෙහි දක්වන කේන්ද්‍රීය ප්‍රතිචාරය වෙනස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව/ අධිකරණය ආදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන ආයතනවලට නොහැකි වනු ඇත. මහ මැතිවරණය කල් දමන අතර ආණ්ඩුකාරවරුන් හා හමුදාව සමග රට පාලනය කිරීමට ජනාධිපතිවරයා තීරණය කරයි. වියදම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට රජය උත්සාහ නොගනියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිර වූ කටයුතු සාධාරණීකරණය කිරීම සඳහා අර්බුදකාරී තත්වය තුළ මහජන සහාය ලබා ගැනීමට වන රජයේ ආදර්ශ පාඨය වන්නේ “අවශ්‍යතාවයේ නීතිය“ යන්නයි. ප්‍රමාද වී පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වූ පසුව විශාල බහුතරයක් ලබා ගැනීමට පාලක පක්ෂයට ඇති අවස්ථා අඩු වන අතර එමගින් පාර්ලිමේන්තුව හා ජනාධිපතිවරයාගේ බලය/ කණ්ඩායම අතර නව අර්බුදකාරී තත්වයක් ඇති කෙරේ. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල වීම, ආර්ථික පසුබෑමක් ඇති වීම, සමාජ නොසන්සුන්තාව ඇති වීම සිදු වන අතර එමගින් ශක්තිමත් නායකයෙකු ඉස්මතු වීම සඳහා යෝග්‍යතම තත්වයක් නිර්මාණය කෙරේ. ජනප්‍රිය හා ජනතාවාදී, ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි යොමු වූ ජාතික නායකයෙකු ඉස්මතු වීම හෝ ආර්ථිකය නැවත යථා තත්වයට පත් කිරීමේ පොරොන්දුව සමග රාජ්‍ය අනුග්‍රහය සහිත මානව වංශ – ආගමික ජාතිකවාදී ප්‍රවණතාවන් ඉහළ මට්ටමකට ගෙන යා හැකි ජනතාවාදී නායකයෙකු සඳහා මෙය යෝග්‍යම තත්වය බවට පත්වේ.        

අභියෝග – ජනාධිපති කේන්ද්‍රීය පරිපාලනයක් අඛණ්ඩව පැවතීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ජනාධිපතිවරයා ද ඇතුළුව) සමග වන අභ්‍යන්තර අරගල මතු වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ නව අභ්‍යන්තර එකමුතුවක් ඇති කර ගනිති. ආර්ථිකය යථා තත්වයට පත් නොවීම හා එහි පහළ බැසීම හේතුවෙන් ජනතාව තුළ අසහනකාරී බව වැඩි වී රහසේ නැගී සිටීම් ඇතිවේ. තවද, විරුද්ධත්වය මැඩ පැවැත්වීම සඳහා පරිපාලනය සහ රාජ්‍ය අංශය හමුදාකරණයට ලක් කිරීම. ජනවාර්ගික ධ්‍රැවීකරණය පෙර නොවූ විරූ මට්ටමක් දක්වා ඉහළ යන අතර මුස්ලිම් ප්‍රජාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නව ධර්මතාවක් බවට පත් වී සිංහල – බෞද්ධ සවිඥානය තුළ “මුස්ලිම් පුද්ගලයන්“ ප්‍රධාන “අනෙක්“ පර්ශවය බවට පත්වේ. සුළුතර දමිළ පක්ෂවලට, විශේෂයෙන් දමිළ සුළුතරයට මෙම ධ්‍රැවීකරණය වූ තත්වය තුළ ඔවුන්ගේ දේශපාලන බලය පවත්වා ගැනීමට හැකි වනු ඇත. ජනාධිපතිවරයාගේ ආධිපත්‍යවාදී බලතල විවිධාකාරයෙන් අභියෝගයට ලක් වීම හේතුවෙන් ඔහු තම බලතල වැඩියෙන් භාවිතා කිරීමට පෙළඹෙනු ඇත. මෙම රෙජිමය මගින් හිමිකම් පාදක ප්‍රවේශය හා ක්‍රියාකාරීන් නොසලකා හැරීම කිරීම හේතුවෙන් මානව හිමිකම් හා ආර්ථීක හිමිකම් ආරක්ෂා කිරීම ඉතා දුෂ්කර වේ.      

III අවස්ථාව  – TISL (This is Sri Lanka) / වර්තමාන තත්වය

හැකියාව: ඉතා අඩුයිවිශ්වසනීය බවඅඩුයි

නීත්‍යානුකූල බවකොවිඩ් – 19 වසංගතය පැතිරීමත් සමග රජය පසුබෑමකට ලක් වීමෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට හානි විය. ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය විනාශ වීමත් සමග අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිරූපය ද විනාශ වේ. රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැරීම සහ පසුව ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණුවල විරුද්ධත්වය හේතුවෙන් රජයේ නීත්‍යානුකූල බව අභියෝගයට ලක් වීම මෙන්ම දුර්වල වීමද සිදු වේ.   

ආර්ථීකය – කොවිඩ් – 19 වසංගතයට පෙර ශ්‍රී ලංකාව විසින් සුනාමි, උතුරේ සන්නද්ධ ගැටුම හා අප්‍රේල් 21 වැනි බොහෝ අර්බුද අත්දකින ලද අතර එම අභියෝග සාර්ථකව ජයගන්නා ලදී. එම අවස්ථාවලින් මෙරට සාර්ථකව ජයගන්නා ලද නමුත් දැන් කටයුතු සිදු වන ආකාරයට සිදු වූයේ නම් එම බලවේගවලට මුහුණ දී ඒවා අවස්ථාවන් බවට පත් කරගැනීමට කිසිදා නොහැකි වන්නට ඉඩ තිබිණි. එදිනෙදා ජීවිතයට හා ආර්ථීකයට සිදු වන සැලකිය යුතු හානිය මධ්‍යයේ වුවද කොවිඩ් – 19 අර්බුදය ජය ගැනීමට හැකිය. මෙම අර්බුදයේ දී ජනතාව එකට එක් වනු ඇති නමුත් ඉන් අනතුරුව ඔවුන් වෙන් වනු ඇත. ආර්ථික පසුබෑම හේතුවෙන් ඇති වන කනස්සල්ල මගින් විශේෂයෙන් සමාජයේ පහළම මට්ටමේ ජනතාවට දැඩි වේදනාවක් ඇති කරනු ඇත. ගෝලීය පසුබෑම හා ඉන්ධන මිළ පහත වැටීම හේතුවෙන් ඇඳුම් පැළඳුම් කර්මාන්තය, තේ කර්මාන්තය, සංචාරක කර්මාන්තය, මැද පෙරදිග සංක්‍රමණික සේවකයන් යන අංශ හතර සඳහා වන ඉල්ලුම අඩු වනු ඇති අතර එමගින් මෙම අංශ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වීමට ඉඩ ඇත. රජයේ මූල්‍ය තත්වය දුර්වල වීම හේතුවෙන් මෙම අංශ ආරක්ෂා කිරීමට රජයට ඇති හැකියාව අවම වේ. දැනටමත් පෙනී යන ආකාරයට හදිසි මුදල් මුද්‍රණය, කලින් කිව නොහැකි බදු වෙනස්කම් හා ආනයනයන් පාලනය කිරීම් ආදිය මගින් පෙන්නුම් කෙරෙන තත්කාර්ය ප්‍රායෝගිතා වාදය මගින් මූල්‍ය කළමනාකරණය සිදු කරනු ඇත. එමගින් උද්ධමනය ඇති වීම හා ව්‍යාපාරික සහ ආයෝජක ප්‍රජාව තුළ විශ්වාසය අඩු වීම සිදු වනු ඇත.        

දේශපාලනය – නව ජාතිකවාදී සංකල්පයක් වටා ජනතාව ඒකරාශී කිරීම දුෂ්කර වනු ඇත. ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර ප්‍රතිපත්ති පරතරය ක්‍රමයෙන් පුළුල් වනන්නට පටන් ගනු ඇති අතර එමගින් බල කේන්ද්‍ර දෙකක් බිහි වනු ඇත. එය ප්‍රතිපත්ති ස්ථාවරත්වයට හානිදායක වනු ඇති අතර පාලනය බොහෝ සෙයින් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර තරඟයක් බවට පත් වනු ඇත. ජූනි මාසය තුළ පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වනු ඇති අතර එමගින් නෛතිකභාවය හා ව්‍යවස්ථානුකූල බව නැති වනු ඇත. මැතිවරණය පැවැත්වූ පසුව මහින්ද රාජපක්ෂ විසින් ස්ථාපනය කෙරෙන රජය පහසුවෙන් ම පාර්ලිමේන්තු ආසන 113 ඉක්මවනු ඇති නමුත් 2/3ක බහුතරය පිළිබඳ අපේක්ෂාව ඉටු කර ගැනීමට නොහැකි වනු ඇත. මෙම තත්වය යටතේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තවදුරටත් සංශෝධන සිදු කිරීමට ඉඩ නොලැබෙනු ඇති අතර 19 වන සංශෝධනය හා  මැතිවරණය පිළිබඳ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වන විවාද ප්‍රගතියකින් තොරව පවතිනු ඇත. නව අග්‍රාමාත්‍යවරයාට ජනාධිපතිවරයා වෙතින් එල්ල වන බාධාවන් රැසක් අත් දකින්නට සිදු වනු ඇත. අපනයනයන් නොසලකා හැරීම හා දුර්වල ආර්ථීක කළමනාකරණය හේතුවෙන් කෙටි කාලයක් තුළ කනස්සල්ල වැඩි වීමත් විරුද්ධ පක්ෂවල බලය ඉහළ යාමත් සිදු වනු ඇත. ඉතා ඉක්මනින් එදිනෙදා ගැටළු මගින් දීර්ඝකාලීන ගැටළු සඟවනු ඇති අතර ඒ සඳහා වන සැබෑ විසඳුම් මග හැරෙනු ඇත. කාලයත් සමග විපක්ෂය ස්ථාවර තත්වයකට පත් විය හැකිය.                 

අභියෝග – ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර ඔහුට සහාය ලබා දුන් බෙහෙවින් ජාතිකවාදී පාර්ශවයන් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී විය යුතුය. මන්ද යත්, ඔවුන් නව “සතුරන්“ නිර්මාණය කිරීමට උත්සාහ දරණ බැවිණි. සමාජයේ උග්‍රජාතිවාදී බලවේගවල බලය ඉහළ යනු ඇත. ජනාධිපතිවරයාගේ පත්වීම් බොහෝමයක් හමුදාව තුළින් සිදු කරනු ඇති බැවින් රජයේ සිවිල් ප්‍රතිරූපය පවත්වා ගැනීමට රජයට දැඩි උත්සාහයක් දැරීමට සිදු වනු ඇත. හමුදාවේ සහාය ලබන ජනාධිපතිවරයෙකු හා එය සමග කටයුතු කිරීමට උත්සාහ දරණ අග්‍රාමාත්‍යවරයෙකු ඉතා විනාශකාරී, වැළැක්විය යුතු අවස්ථාවක් නිර්මාණය කරනු ඇත. මෙමගින් 2015 – 2019 දක්වා වන කාල පරිච්ඡේදයට සමාන    පාර්ශව තුනක්, එනම් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂය, අතර ගැටුමක් නිර්මාණය කරනු ඇත.

IV අවස්ථාව – “ඔවුන්ට එරෙහිව අප

හැකියාව: සාමාන්‍යයෙන් සිදු විය හැකිය  විශ්වසනීය බවසාමාන්‍යයි

නීත්‍යානුකූල බව – කොවිඩ් – 19 වසංගතය පැතිරීම පාලනය කිරීමේ දී රජය දුර්වල වී ඇති අතර හිතාමතා වයිරසය පැතිරවීම සහ අසාධාරණ ආකාරයෙන් “ආර්ථිකයේ“ ප්‍රතිඵල භුක්ති විඳීම යන කරුණු හේතුවෙන් මුස්ලිම් ජනතාවට චෝදනා එල්ල වනු ඇත. ජනාධිපතිවරයා සිංහල ජනතාව වෙත සහාය ලබා දෙන්නෙකු බවට පත් වන අතර එමගින් ඔහුගේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානි වේ.  

ආර්ථිකය – ආර්ථික කටයුතු මන්දගාමී වීම හා ජීවිතය පවත්වාගෙන යාම දුෂ්කර වීම සමග “වසා තැබීමේ“ කාල සීමාව අවසන් වුවද ව්‍යාපාරයන් යථා තත්වයට පත් වීමට කාලය අවශ්‍ය වන බැවින් ආර්ථක බර වැඩි වශයෙන් දැනෙන්නේ වඩාත් අනතුරට භාජනය විය හැකි හා සාපේක්ෂව දිළිඳු ජනතාවටයි. අපනයනයන් අඩු වී රැකියා අහිමි වේ. කොවිඩ් – 19 වසංගත කාලය තුළ රජය එහි කේන්ද්‍රීය සැපයුම් දාම කළමනාකරණය සහිත රජය මගින් පාලනය වන හෝ රජය මැදිහත් වන ආර්ථික ක්‍රමයකට හුරු වී ඇති අතර විශේෂයෙන් දිළිඳු කොටස් සඳහා භාණ්ඩ මිළ ගණන් අඩු මට්ටමක පවත්වා ගැනීමේ ප්‍රයත්නයක් ලෙස මෙම ක්‍රමය සැලකිය යුතු කාල සීමාවක් පුරාවට පවත්වාගෙන යාමට රජය වැඩි කැමැත්තක් දක්වයි. කෙටි කාලීනව රජයේ මූල්‍ය තත්වය එතරම් යහපත් නොවීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින් වැඩි ජනවාර්ගික හා ආගමික ධ්‍රැවීකරණයක් සහිත ශක්තිමත් නායකත්වයක් මතු වෙයි. රජය විසින් පාලනය කෙරෙන ව්‍යාපාර හා සැපයුම් ජාල තර්ක දෙකක් මත පදනම්ව සාධාරණීකරණය කෙරේ – පළමුව, රජය (හමුදාව) එය වඩා ලාභදායීව හා වඩා හොඳින් සිදු කරයි. දෙවනුව, ව්‍යාපාර බේරා ගනු ලබන්නේ මුස්ලිම් පාලනයෙන්ය.  

·                     දේශපාලනය – කෙටි කාලීනව ශක්තිමත් නායකත්ව ආකෘතිය ආකර්ෂණීය වේ. දීර්ඝ ක්‍රියාවලිය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගමික ආයතන දුර්වල විය හැකිය. මැතිවරණය කල් දමනු ඇති අතර රාජ්‍ය මූල්‍ය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය නොමැතිව රජය පවත්වාගෙන යනු ඇත. කෙසේ වුවද, ව්‍යවස්ථාට පරිබාහිර වූ රජයේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ක්‍රිස්තියානි ආගමික නායකයන් නිහඬව සිටින බැවින් ඉතා ඉහළින් ගරු කෙරෙන බෞද්ධ සංඝයා ඇතුළු බහුතර ආගමික කණ්ඩායම් මගින් මෙම තත්වය සාධාරණීකරණය කරනු ඇත. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා සංහිඳියා ක්‍රියාවලිය සිංහල දේශපාන සමාජයට අදාළ නොවන තත්වයට පත් වේ. කෙසේ වුවද, විවිධ ආර්ථික පන්ති අතර මූල්‍ය හා සංවර්ධන වෙනස්කම් පිළිබඳ අප්‍රසාදය මතු වනු ඇති අතර එය එකම ජනවර්ගයකට හා ආගමකට අයත් කණ්ඩායම්වල (ethno-religious) නොඉවසුම් ගතිය මගින් ආවරණය වනු ඇත. උග්‍රජාතිවාදී කණ්ඩායම් වෙත පාලකයන්ගේ අනුග්‍රහය ලැබෙනු ඇත; එමගින් එක් පුද්ගලයෙකුගේ පාලනය කෙරෙහි සහාය පළ කෙරේ. ආර්ථික කළමනාකරණය ඉතා ඉක්මනින් වරප්‍රසාද ලත් කිහිප දෙනෙකු අතට පත් වනු ඇති අතර ආර්ථික පසුබෑම තුළ බංකොලොත් වූ කර්මාන්ත ශාලා හමුදාවේ සහාය සහිත කණ්ඩායම් විසින් පවත්වාගෙන යනු ඇත. පශ්චාත් කොවිඩ් – 19 වසංගත තත්වය තුළ දේශපාලනය හැඩ ගස්වන ජාතිකවාදී ස්වයං පෝෂිත වාග්ලංකාර සහිත බටහිර විරෝධී අදහස් හා මුස්ලිම් විරෝධී හැඟීම් බහුල වනු ඇත.                 

·         අභියෝග – එකම ජනවර්ගයකට හා ආගමකට අයත් කණ්ඩායම්වල දැඩි ධ්‍රැවීකරණය මගින් ජාතික ඒකීයභාවයට හානි වනු ඇත. රටේ සිවිල් ප්‍රතිරූපයට හානි වූ පසුබිමක් තුළ ඉන්දියාව ඇතුළු කිසිඳු රටකට ශ්‍රී ලංකාවට උපකාර කිරීමේ හැකියාවක් නැති විය හැකිය. මන්ද යත්, චීනය හැර අනෙක් රටවල් ලෝක ආර්ථික පසුබෑම හමුවේ යථා තත්වයට පත් වීමට උත්සාහ දරමින් සිටින බැවිණි. මෙය ශ්‍රී ලංකාව තම දැඩි පාලනයට හසු කර ගැනීමට චීනයට කදිම අවස්ථාවක් වනු ඇත. විපක්ෂ දේශපානය දැඩි ලෙස විසිරුණු ස්වභාවයක් ගත හැකි අතර ඇතැම් විට උග්‍රජාතිවාදී සහ පක්ෂක්ග්‍රාහී ස්වභායන් සහිත වනු ඇත.      

Leave a Reply