මීලඟ පාර්ලිමේන්තු රැස්වීම ලබන 20 වැනිදා පෙරවරු 10 ට ආරම්භ කෙරෙන අතර එදින 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායකවරයා විසින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ලබන 20 දා ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝග 03ක් විවාදයට ගැනීමට මීට පෙර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබිණි. එදින සවස 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනෙනු ඇත.
ඔක්තෝබර් 21 වැනිදා වෛද්‍ය ආඥා පනත යටතේ ඉදිරිපත් කර තිබෙන නියෝග විවාදයට ගැනෙනු ඇත. එදින සවස 4.30 සිට 5.30 දක්වා විවාදයට ගැනීමට ඇත්තේ විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවයි.
ඔක්තෝබර් 22 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ යෝජනාව විවාදයට ගැනෙනු ඇත.
අභාවප‍්‍රාප්ත ආර්. ආර්. ඩබ්ලිව්. රාජපක්ෂ, කේ. පී. සිල්වා සහ සුරංගනී එල්ලාවල යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිළිබඳ ශෝක ප‍්‍රකාශ යෝජනා ලබන 23 වැනිදා විවාදයට ගැනීමට නියමිතය.
මේ අතර යම් ලෙසකින් 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබන 20 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කළහොත් නැවත වරක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කැඳවා එම සංශෝධනය විවාදයට ගැනීම සදහා දැනට සැලසුම් කර ඇති රැස්වීම්වල න්‍යාය පත‍්‍රය වෙනස් කිරීමටද මීට පෙර මෙම කාරක සභා සාමාජිකයින් විසින් තීරණය කර තිබිණි.
