රටේ භූමි ප්‍රමාණයෙන් සියයට 14ක් වනාන්තර ලෙස තවමත් සුරැකිව පවති. ඒ අතරින් වන සතුන්ට වෙන් වුණු වන රක්ෂිතවලට ජනතාවගෙන් සිද්ධ වී ඇති බලපෑම අල්ප බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එය එසේ නම් අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවිමට කල් මරන්නේ මන්ද යන ප්‍රශ්නය පැන නඟි.
අලි මිනිස් ගැටුම ආරම්භ වී වසර 50ක් පමණ වෙයි. නමුත් වන අලින්ගෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පවසන්නේ වසර 30ක් පමණ වන බවයි. ජනගහනය වැඩිවීම, කැලෑ එළි කිරීම, වල් අලින්ගේ වාස භූමි ක්‍රමයෙන් හැකිළීම සහ උන්ගේ ආහාර අවශ්‍යතා සපුරා ගැනිමේ අවස්ථා ඇහිරීම වැනි කාරණා හේතුවෙන් මේ ප්‍රශ්නය වඩාත් සංකිර්ණ තත්ත්වයට පත් වී ඇත. අපි නිරවුල් කරගත යුතු ලංකාවේ අලි මිනිස් ගැටුමේ මුහුණුවර මෙයයි.
අලි මිනිස් ගැටුම ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බැවින් අපි මේ ප්‍රශ්නයට විසැඳුමක් සෙවිය යුතුය. නමුත් දැන් තිබෙන තත්ත්වයත් සමඟ පැලැස්තර විසැඳුම්වලින් අලි මිනිස් ගැටුම කිසිසේත් විසැඳිය නොහැක. පැලැස්තර විසඳුම් යනු සාම්ප්‍රදායික ක්‍රමයි. අද ජනගහනය වැඩි වීම වගේම අලි ගහනයත් වැඩි වී තිබේ. 2011 අලි සංගණනය අනුව වල් අලි 5875ක් සිටින බව වාර්තා වී ඇත. අද වන විට එම සංඛ්‍යාව වැඩි විය යුතුය.
වනජීවි දෙපාර්තමේන්තුව පවසන්නේ එය විශාල වැඩිවිමක් නොවන බවයි. නමුත් ජනතාව පවසන්නේ විවිධ වයස් කාණ්ඩයේ පැටවුන් විශාල ප්‍රමාණයක් රැළක දැක ගත හැකි බවයි. වර්තමානය වන විට ලංකාවේ වල් අලි ගහණයේ සැබෑ සංඛ්‍යා ලේඛන නොමැති වීම ප්‍රශ්නයට විසඳුම් සෙවීමට යම් ආකාරයක බාධාවකි. ඒ කෙසේවෙතත් වර්තමානයේ අලි ගහනයෙන් වැඩි ප්‍රමාණයක් සිටින්නේ ගොවි බිම් ආශ්‍රිතව බව අකමැත්තෙන් වුවද පිළිගත යුතු සත්‍යයයි. ගොවි බිම්වලින් යැපෙන මෙම සතුන් ට අද කිසිම පෝෂණ ඌනතාවක් නැත. එම නිසා බෝ වීම අනිවාර්යෙන් ම වැඩි විය යුතුය. මේ කාරණාත් සමඟ අලි මිනිස් ගැටුම විසඳිමට නම් වඩාත් හොඳින් සැලසුම් කළ විසඳුමකට අප යා යුතුව ඇත.
මේ ප්‍රශ්නයට විසඳුම සෙවිමේ දී ජනතා අදහස්වලට ගරු කිරිම සිද්ධ විය යුතුය. මක් නිසාද ප්‍රශ්නයේ එක් පාර්ශ්වයක් ග්‍රාමීය ගොවි ප්‍රජාව නියෝජනය කරන හෙයිනි. අප සහ වනජිවි සංරක්ෂන දෙපාර්තමේන්තුව එක්ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාසිකොටේ , පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව, සහ මහකුඹුක්කඩවල ගම්මානවල ක්ෂේත්‍ර පරීක්ෂණ කිහිපයක් කළෙමු . එහිදි අපට දක්නට ලැබුණේ දැනට මේ සඳහා ලබා දි ඇති සාම්ප්‍රදායික විසඳුම්ය. ඒ හරහා ජනතාවට සෑහිමට පත්විය හැකි පිළිතුරක් ලැබි නැත. එසේම ප්‍රදේශයෙන් ප්‍රදේශයට අලි මිනිස් ගැටුමේ ස්වභාවය වෙනස්ය.මේ නිසා කාටත් සෑහිමට පත් විය හැකි දිර්ඝකාලින පොදු විසැඳුමක් අපි පෙන්වා දෙමු. එම විසැඳුම අලි මිනිස් ගැටුම සහමුලින් ම විසඳිය හැකි එකම ක්‍රමය බව ද අපි අවධාරණය කර සිටිමු.

අද වන විට මේ ප්‍රශ්නයට එකම විසඳුම ලෙස හඳුන්වා දි ඇත්තේ විදුලි වැටවල්ය. නමුත් විදුලිවැටවල්වලින් පමණක් මෙය විසඳිය නොහැකි බව සනාථ වී හමාරය. අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවිමට පෙර අපි මේ සතුන්ගේ වත්මන් හැසීරීම් සහ ජීවන රටාව හොඳින් අධ්‍යයනය කළ යුතුව ඇත. එසේම තාක්ෂණය භාවිතා කිරිමේ දී මේ සතුන්ගේ බුද්ධිමය තිව්‍රතාව වැඩි නිසා අප දෙන ඇතැම් විසැඳුම් ඵලක් නොවන බවද සිහි තබා ගත යුතුය. උදාහරණයක් හැටියට අද සවිකරන බොහොමයක් විදුලි වැටවල් අලින් ගේ ග්‍රහණයට හසු වී ඇත. ඒවා කඩා දමා ගම්මානවලට වැදීමට උන් යොදන උපක්‍රම බොහොම සැලැසුම්ගතය. මේ නිසා තාක්ෂණයෙන් අපට ගත හැකි විසැඳුම්වල ප්‍රතිඵල සීමිත විය හැකිය. නමුත් අප යෝජනා කරන දීර්ඝකාලීන විසඳුම ස්ථිර පිළියම වනු ඇත.
අලි මිනිස් ගැටුමට දිගු කාලීන විසැඳුම විදිහට අප යෝජනා කරන්නේ මේ සතුන්ට වෙන් වු සුරක්ෂිත නිජ බිමක් යළි ඇති කිරීමය.වන ජිවි රක්ෂිත සුරක්ෂිතව පවතින්නේ නම් මේ කාර්යයට අභියෝග මැදින් වුවද ළඟා විය හැකිය. අලි මිනිස් ගැටුම සඳහා ගම්වැදි සිටින වන අලි නැවත රක්ෂිතවලට දැමිමේ යෝජනාවක් මිට පෙර වඩාත් සැලසුම් සහගතව දැක්මක් සහිතව ඉදිරිපත් වි නැත. එය කඩිමුඩියේ කළ හැකි කාර්යයක් නොවන බැවින් මේ විසඳුම කෙරෙහි තවදුරටත් පවතින්නේ ඇල්මැරුණු සහ සෘණාත්මක ආකල්පයකි.
නමුත් ලංකාවේ අලි මිනිස් ඝට්ටනයට තිරසාර විසැඳුමක් සොයන්නේ නම් මේ විකල්පය හැර අන් කිසිදු ක්‍රමවේදයකින් එය සමතයකට පත් කළ නොහැකිය. අපට සිටින්නේ අලි 6000ක් වැනි ප්‍රමාණයකි. අලි 6000ක් කළමනාකරණය කර ගැනීමට බැරිකමක් නැත. අපේ රටේ අලින්ට වෙන් වුණු වනජිවි රක්ෂිත තිබෙන අතර ඒවායින් බොහොමයක භූමිය සුරක්ෂිත බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 14ක් එනම් හෙක්ටයාර් දොළොස් ලක්ෂ තිස් හතර දහස් හයසිය අනුවක් වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ය. ඉන් වන අලින්ට සුදුසු භූමිය නැවත අපි උන්ට ලබා දිය යුතුය. එය වචනමාත්‍රයකින් කළ නොහැකි අතර මනාව කළමනාකරණය කළ වාසභුමියක් විය යුතුය. අලියා ප්‍රිය කරන වාසස්ථානයක් සකසා දීම අප කළ යුතු සහ අපට පැවරි ඇති කාර්යයයි. අප ට දැනට තිබෙන වනජිවි රක්ෂිතවල ඉඩකඩ මේ කාර්යයට බොහොම ප්‍රමාණවත්ය . මෙම ඉඩ ප්‍රමාණය වල් අලින්ට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව යමෙක් පවසයි නම් එය අමුලික අසත්‍යයකි.
රජයේ අභයභූමිවල දැනටමත් අලි යම් ප්‍රමාණයක් සිටිති. එම අලින්ගේ නිජ බිම ඒ ප්‍රදේශම ය. නමුත් මේ අතර ගොවි බිම්වලට කොටු වුණු අද වන විට ප්‍රශ්නයකට තුඩු දි ඇති අලි විශාල ප්‍රමාණයක් සිටිති. උන්ගේ පරම්පරා දෙක තුනක නිජබිම බවට පත්ව තිබෙන්නේ මිනිස්සු ජිවිත් වන ගම්මාන, වැව් තාවුලු, පොඩි කැලෑ රොදවල්, ගම්මාන ආශ්‍රිතව තිබෙන රජයේ රක්ෂිත ය. අපි යෝජනා කරන දිගු කාලින කාලීන විසැඳුම වන්නේ මෙම ගම්වලට කොටු වි සිටින වල් අලි යළි රක්ෂිතවලට දැමිමයි.
ගොවි බිම් ආශ්‍රිතව සිටින අලි රක්ෂිතවලට දැමීම ප්‍රායෝගික නොවන බවට තර්කයක් මතු වන බව අනිවාර්යය. පරිසරයේ නුහුරු බව නිසා උන් කඩා බිඳගෙන ආපසු එන බව දැනට තිබෙන ප්‍රබල මතය යි. එය හේතු දෙකක් නිසා සිද්ධ විය හැකියි. ඉන් පළමු වැන්න අලියා රුචි කරන ආහාර රක්ෂිත භූමියේ නොමැතිනම් ගොවි බිම්වල කෙසෙල් පොල්වලින් රස දිව පිනවා ගත් අලියා ආපසු ගමට පැමිණිය හැකිය. නමුත් අලි ආහාරයට ගන්නේ කෙසෙල් පොල් පමණක් නොවෙයි. උන් ප්‍රිය කරන රක්ෂිතවල පහසුවෙන් වගා කළ හැකි ශාක බොහොමයක් තිබේ. ඒ වගේම උන්ට රිසි සේ බීමට නෑමට ජලය අවශ්‍යයය. අප මෙම අවශ්‍යතාවලින් වනජිවි රක්ෂිත ස්වයං පෝෂිත කළොත් ඌට යළි පැමිණීමට කිසිදු අවශ්‍යතාවක් මතු වන්නේ නැත.
දෙවැනි කාරණය නම් රක්ෂිතවල සිටින අලින් ආපසු ඒම වැළැක්වීමට නම් එම රක්ෂිත වටා ශක්තිමත් විදුලි වැටවල් අවශ්‍ය වේ. එකක් නොව දෙකක් සවි කිරිමට ද සිදු විය හැක.එම විදුලි වැට දැනට සවි කර ඇති ආකාරයේ වැටවල් නොවිය යුතුය. දියුණු තාක්ෂණයක් යොදා ගත යුතුය .අපට ඒ සඳහා තාක්ෂණික හා විද්‍යාත්මක සම්පත් ඕනෑ තරම් තිබේ. එම කාරණයේ දී අපට තාක්ෂණික විසඳුමකට යා හැකිය. එසේ නොමැතිව අද පවතින ආකාරයට ගම්මාන ආශ්‍රිතව විදුලි වැටවල් සවි කිරිමෙන් අලි ගම්වැදිම වැළැක්වීම නතර කළ නොහැකිය.
අලි 6000ක් රැක බලා ගැනිම උභතෝකෝටික ප්‍රශ්නයක් නොවේ. නමුත් අද තිබෙන වනජිවි රක්ෂිතවල බොහොමයක පරිසර සාධක අපට වෙනස් කරන්න සිදු වනු ඇත. අලුතින් ආහාර වගා කළ යුතුය. අලියා කෑමට කැමති බෙරු තණ ආදිය වගා කළ යුතුය. වල් අලි ආහාරයට ගත් ඇතැම් තෘණවර්ග අද රක්ෂිතවල දක්නට නැත. දවසකට අලියාට අවශ්‍ය වන්නේ ආහාර කිලෝග්රෑම් 100-150 ක් පමණය. එය මහා ලොකු දෙයක් නොවේ.

එක වනජීවි රක්ෂිතයකට අලි 1000ක් ගාල් කළහොත් දිනකට අවශ්‍ය වන්නේ ආහාර කිලෝග්රෑම් 1,50000 කි. හොඳට වැවෙන තණකොළ හෙක්ටයාර් 15ක වගා කළහොත් ඒ අවශ්‍යතාව අවශ්‍ය පමණට සම්පුර්ණ කර දිය හැකිය. වර්ෂා කාලයක අපිට මේවා වගා කළ හැකිය. එසේම අද වනජිවි රක්ෂිතවල වැව් බොහොමයක් සිඳි ගොඩ වී ඇත. අපට මේ පිළිසකර කළ නොහැකිද? අනිවාර්යයෙන්ම එය කළ හැකිය. මේවා යම් තරමක අභියෝගයක් වන මුත් අපේ අවබෝධය අනුව නම් මේ ප්‍රශ්නය විසැඳිමට ඇති එකම මාර්ගය මෙයයි.
අලි මිනිස් ගැටුමට ගත හැකි සෑම විසැඳුමක් ම අප ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. දිගු කාලින විසැඳුම්වලට අපි සැලැසුමක් ඇතිව යොමු විය යුතුය. හෙටට කල් නොදමා ආරම්භයක් ගත යුතුය. එමෙන්ම දිගු කාලින විසැඳුම්වලට යන ගමන් ම කෙටිකාලින සැලසුම් ද යෙදිය යුතුය. දැනට තිබෙන විදුලිවැටවල් ශක්තිමත් කීරිම, අගල් කැපීම, වන අලි හුවමාරු වන අලි කොරිඩෝ විවෘත කිරීම , දෙහි ආදි ජීව වැටවල් ඉදි කිරි ම අපට කළ හැකිය. නමුත් මේවායින් පමණක් මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බවත් ස්ථීර විසඳුමකට පහසුකාරකයින් පමණක් බවත් සිහි තබා ගත යුතුය.
අද අලි මිනිස් ගැටුම උග්‍රව පවතින සෑම ප්‍රදේශයකම සෑම ගෙදරකම විදුලි වැටවල් සවි කර තිබේ. නමුත් වගා බිම්වලටවත් ජිවිතවලටවත් ආරක්ෂාවක් ඉන් සැලසී නැත. විදුලි වැටෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව පවසන්නේ මේ නිසාය.අපේ යෝජනාවලියට ඉහත විසැඳුම් ඉදිරිපත් කරන්නේ එහි ප්‍රායෝගිකත්වය සියයට සියයක් තිබෙන නිසයි. හෙට අපි මේ කාර්යයට ප්‍රවේශ වුවහොත් තව අවුරුදු 5ක් ගතවීමට පෙර අලි මිනිස් ගැටුම මුළුමනින් ම අවසන් කළ හැකියි.
අපට මේ කාර්යයට පිටරටවල්වලින් ගත හැකි ආදර්ශ සිමිතය. මක් නිසා ද අප්‍රිකාවේ වුවද මේ තරම් අලි ගහනයක් කුඩා ප්‍රදේශයකට ඒකරාශි වී නැත. එමෙන්ම ජනතාවගේ ජීවන පැවැත්මට අලි ගහණය වැඩීවිම බරපතළ තර්ජනයක් නම් වන අලි සම්පත නොවැනසෙන ලෙස වඩාත් විධිමත්ව බෝ වීම පාලනය කිරීමට වන්ධීකරණ ක්‍රමය වුවත් ක්‍රියාත්මක කළ හැකියි.
දේශීය ආර්ථිකයට එක් වන අස්වැන්නෙන් සියයට 6ක් පමණ වල් අලි විනාශ කරන්නේ නම් ඒක රටේ ජාතික ආර්ථිකය ගොවි පවුල්වල ආර්ථිකයට මරු පහරක් වෙයි. අලි මිනිස් ගැටුමට විසැඳුම් සෙවිමේ දි මිනිසාගේ පරිහරණයට ලක්ව ඇති අතීතයේ වන සතුන්ට වෙන් වුණු ඉඩම් යළි රජයට ගැනිමේ වුවමනාවක් නැත. නමුත් වනජීවි රක්ෂිතවලට වඩාත් බලපෑම් කළ හැකි ජනතාව පරිහරණය කරන ඉඩම් තිබෙන්නේ නම් රජයට පවරා ගැනීමට සිද්ධ වනු ඇත.
විශේෂයෙන් අලින්ගේ සංචරණය සිදුවන අලි කොරිඩෝ අද බොහොමයක් ඇහිරි ගොසිනි. ඒ සියල්ල ම නිරවුල් කර ගැනීමට උත්සාහ කළහොත් අපට බාධක බොහොමයක් එනු ඇත. ඒ තරම් දැඩි තීරණ ප්‍රායෝගික නැත. නමුත් අත්‍යවශ්‍ය ම ප්‍රවේශ මාර්ග නිරවුල් කර ගත යුතුය.අලියා දිනකට කිලෝමීටර් 20-25ක් අතර දුර ප්‍රමාණයක් ඇවිදියි. රක්ෂිතයක් තුළට කොටු කිරීමෙන් ඒ නිදහසට බාධාවක් නම් රක්ෂිතයකින් තවත් රක්ෂිතයට ගමන් කළ හැකි කොරිඩෝ කිහිපයක් පමණක් අපිට ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ විවෘත කිරිමේ හැකියාව පවතී.
අලි මිනිස් ගැටුමට විසැඳුම් සෙවිමේ දි එය වනජිවියට පමණක් කළ නොහැකි ඒ වටා බැදුණු වෙනත් දෙපාර්තමේන්තු ආයතන එකට එක්ව විසැඳුමක් සෙවිය යුතුයි කියන කාරණය අපි දැඩිව අවධාරණය කරමු . අලි මිනිස් ගැටුමේ ඉතිහාසය සහ මෙතෙක් දුන් පිළියම් අධ්‍යයනය කළ අපට දක්නට ලැබුණේ ප්‍රශ්නය විසැඳීමට සාමුහික උත්සාහයක් දරා නොමැති බවය. ජාතික ප්‍රශ්නයක් නම් හුදෙකලාව විසැඳුම් සෙවිම උගහටය. වන සංරක්ෂණ , දුම්රිය , වාරිමාර්ග , කෘෂිකර්ම , මහවැලි අධිකාරිය මේ සියල්ල ම එකම මේසයක වාඩි වී විසැඳුමක් ගැන සාකච්ඡා කළ යුතුය.
අපට මෙහිදි තවත් නම්‍යශීලි විසැඳුමකට යා හැකිය.එය අපේ කෘෂිකාර්මික රටාව සහ වල් අලින්ගේ ජීවන චර්යාව අතර ගැටීමක් තිබේ. යල මහ කන්න අනුව අප වගාව පටන් ගනු ලබන්නේ අලින්ට ආහාර හිඟයක් පවතින කාලයට ය. විශේෂයෙන් මාස් කන්නය ආරම්භ කරන්නේ අගෝස්තු සැප්තැම්බර් වැනි දැඩි නියං කාල පරිච්ඡේදය අවසන් කර වැසි ලැබීමත් සමඟය. නියං කාලයේ අලින් ට ආහාර දුලභය. කුසගින්නේ පෙළෙන අලි අස්වද්දන වගා බිම්වලට එසැනින් කඩා පනින්නේ මේ නිසාය. ඊට අපි ප්‍රායෝගික විසැඳුමක ට යා හැක. ලංකාවේ දේශගුණය අතීතයට වඩා යම් ප්‍රමාණයක ට නම්‍යශිලියි. දිගු නියගයක් දක්නට නැති අතර වර්ෂාව කල් ඇති ව ලැබෙයි. ඒ අනුව අප ට යල මහ කන්න දෙක ට අනුව වගා කරන කාල පරාසය වෙනස් කර කර ගත හැකිය.
අලි මිනිස් ගැටුමින් පීඩා විඳින ජනතාවගේ අත්දැකීම් බෙහෙවින් ශෝචනිය ය. මෙය දෙපාර්ශ්වයටම දැඩි හානි සිදු වන අවසානයක් නොපෙනෙන ද්වන්ධ සටනකි. මේ නිසා අපට ගත හැකි හොඳම විසැඳුමකට ඉතා ඉක්මනින් අපි අවතිර්ණ විය යුතුය. එම විසැඳුම ක්‍රියාවට නැංවිමට අවශ්‍ය වන්නේ ධනාත්මක ආකල්ප සහ ඝෘජුව තීරණවලට එළෑඹිමය. අද මේ සඳහා යහපත් පරිසරයක් නිර්මාණය වී ඇත. එසේ නම් කළ නොහැක්කක් නොමැත යන සංකල්පයේ පිහිටා සියලු දෙනාගේ සහාය ලබා දෙන්නේ නම් අලි මිනිස් ගැටුම ට තව වසර පහකින් ස්ථිරවම විසැඳිය හැකි බව අපි තරයේ විශ්වාස කරමු.
2020 සැප්තැම්බර් 07 වැනි දින ‘දිනමිණ‘ පුවත්පතේ පළ වූ ලිපියක සම්පූර්ණ උපුටා ගැනීමකි – ප්‍රධාන සංස්කාරක
