You are currently viewing මූතූර් වෙල්ලනාවල් පාලම ගිලා බැසීම සහ වැලි සෙල්ලම..!

මූතූර් වෙල්ලනාවල් පාලම ගිලා බැසීම සහ වැලි සෙල්ලම..!

-කේ. සංජීව-

වැලි කැනීම, ගල් කැඩීම, පස් කැපීම සඳහා බලපත්‍ර ලබාදෙන්නේ දේශපාලන හිතවත්කම් මතය. එනිසාම වර්තමාන ලංකාවේ වැලි ගල් පස් මාෆියාවක් පවතී. මේ මාෆියාව නූතන ලංකාවේ දේශපාලනය සමග ගසට පොත්ත මෙන් බැදුනු දෙයක් බවට පත්වී ඇත. තමන්ට බලයට එන්නට හොඳට වියදම් කළ පුද්ගලයෙක්ට එම වියදම් කළ මුදල මෙන් දෙගුණයක් මුදල් සොයාගැනීම සඳහා අවස්ථාව උදාකර දීම මෙහි ප්‍රධාන කර්ත්‍යවයයි. 2005-2015 මහින්ද රාජපක්ෂ යුගය යනු මේ මාෆියාව හොඳටම වැඩකළ කාලයක් වන අතර යහපාලනය උදාවූ පමණින් වැලි ගල් පස් මාෆියාව අවසන් වුණේ නැත. යම් මන්දගාමීත්වයක් මේ කාලයේ පෙන්නූ අතර පසුව ගෝඨාභය රාජපක්ෂ යුගයේදී නැවත පණගසා නැඟිට ඇවිද යන්නට පටන් ගති.

වැලි සහ සහචරවාදය

පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ දී ලංකාවේ වැලි අවශ්‍යතාවය විශාල වශයෙන් ඉහළ ගිය අතර ඒ සමගම කැනීම් මංකොල්ලයද දෙගුණ සිව්ගුණ වී ක්‍රියාත්මක වන්නට විය. ප්‍රාදේශීය පොහොට්ටු දේශපාලඥයන් බොහෝ ප්‍රමානයකට මෙන්ම ඔවුන්ගේ සහචර වළල්ලට වැලි කැනීම් සඳහා බලපත්‍ර ලැබිණි. මෙම බලපත්‍ර ක්‍රියාවලිය මංකොල්ලයක් සේ ව්‍යාප්ත වනවිට රාජ්‍ය නිලධාරීන්ගේද හොද්ද බොරවන්නට විය. පොලීසිය, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැනීම් කාර්‍යාංශයේ නිලධාරීන් ප්‍රමුඛව මෙහිදී රාජ්‍ය නිලධාරීන් හොඳට හම්බකරගන්නට විය.

මේ කාලයේ කොළඹට ආසන්න වැලි කැනීම් ස්ථාන ලෙස මා ඔය, දැඳුරු ඔය, වළවේ ගඟේ පහළ නිම්නය, වැලි මංකොල්ලකරුවන්ගේ ගොඳුරු බිම් බවට පත්විය. මේ ලියුම්කරුද 2013 වර්ෂයේදී හම්බන්තොට ජන්සගම ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි කැනීම් ස්ථානයන් පිළිබඳව ලිවීය. ඒ කාලයේ රාජපක්ෂවරුන්ට පක්ෂපාත මැරයන් පිස්තෝල ඉනේ ගසාගෙන මෙම භූමියේ ගොඩවැලි කැනීම් සිදුකරමින් සිටියහ. ඉන්පසු ගාල්ල ගොඩවැලි, යාන් ඔය වැනි කලාපවලට මෙම වැලි කොල්ලය ගමන් කළේය. සරත් නන්ද සිල්වා අගවිනිසුරු ලෙස සිටි කාලයේ පොළොන්නරුව ජල ගැලුම් නිම්නයේ වැලි කැනීම සඳහා අධිකරණමය අවසරය ලබාදීම මෙම වැලි කොල්ලයේ සලකුනු අවස්ථාවක් ය.

වැලි යනු සම්පතක් ය. එය ලංකාවේ හැම පුරවැසියෙක්ටම අයිති සම්පතක් ය. එනිසා වැලි කැනීම් සඳහා බලපත්‍ර ලබාදීමේදී රාජ්‍ය භාගය කියා කොටසක් අයකරගන්නට කටයුතු කරයි. එහෙත් මේ රාජ්‍ය භාගයෙන් ඇත්තටම මහා භාණ්ඩාගාරයට එන්නේ 50%ක් ය. ඉතිරි 50%ක මුදල යන්නේ රාජ්‍ය සේවකයන්ගේ සාක්කුවට ය. සිමැන්ති අවශ්‍යතාවයට සාපේක්ෂව වැලි අවශ්‍යතාවය වාර්ෂිකව ගණනය කිරීමේදී වැලි තොගවලින් 50%ක් වෙළඳපොළට යන්නේ හොර පාරෙන් ය. රාජ්‍ය නියාමනයක් නැත.

වැලි ප්‍රවාහනය සඳහා ටිපර් රථවලට බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයද තවත් මාෆියාවක් ය. එයත් ගසට පොත්ත මෙන් වැලි කැනීම් සුදිය සමග එකට බද්ධවී ඇත. පොළොන්නරුවේ සිට දුම්රියෙන් කොළඹට ලාභදායී ලෙස වැලි ප්‍රවාහනය කරන්නට පුලුවන් වුණත් එය එසේ නොවන්නේ මේ ටිෆර් රථ මාෆියාව නිසා ය. මේ සියල්ලට රාජ්‍ය සේවකයන් සම්බන්ධ ය. මේ වැලි මංකොල්ලයේ ඉතිහාසය සමග අපට දැන් මූතූර් පාලමේ කතාවට පැමිණිය හැකිය.

වැලි කෙළිබිම

මූතූර් සාෆි නගර් වෙත යාමට ප්‍රථම අපි මේ කලාපය පිළිබඳව අවබෝධයක් ගත යුතුය. පොළොන්නරුව මනම්පිටිය පාලමෙන් පහළට ගලන මහවැලි ගඟ මේ කලාපයේ දී මුහුද වෙත ගලාගෙන යන්නේ ගසක විහිදුනු අතුමෙන් ය. සමහර තැනක අතීතයේදී මහවැලිය වක්වී ගලා ඇති අතර දැන් ගලන්නේ කෙලින්මය. එවිට අර පැරණි ගංගා වක්ක තුළ වැලි අවසාධිතයන් තැන්පත්ව ඇත. මූතූර් සාෆි නගර් සීමාව යනු එහෙව් භූමියක් ය. ඩෙල්ටාවන් බහුලය.

සින්තාරු පාලමේ සිට ගඟ මුහුදට වැටෙන ආසන්නයේ ගෙන්ගේ දක්වා කිලෝමීටර් 26ක මේ කලාපය යනු වැලි මංකොල්ලයේ නිජබිම වන්නේ මේ නිසා ය. අප ඉදිරියට කතාකරන වෙල්ලනාවල් පාලමේ සිට ගෙන්ගේ නම් ස්ථානයට ඇති දුර කිලෝමීටර් 4ක් ය. මේ භූමිය එතරම්ම මුහුදට ආසන්න ය. 2020 වර්ෂය වනවිට මේ කිලෝමීටර් 26ක කලාපය තුළ වැලි කැනීම වෙනුවෙන් ශිල්පීය කැනීම් බලපත්‍ර 2000කට වඩා ලබාදී ඇත.

මෙම බලපත්‍රවලට අනුව නීත්‍යානුකුලව මසකට වැලි කියුබ් 10ත් 230ත් අතර පරාසයක වැලි කැනීමක් සිදුකරන්නට එක් එක් බලපත්‍රයට, කැනීම් ස්ථානයට අනුව ඉඩලබාදී ඇත. බලපත්‍රයේ මෙසේ සඳහන් වුණත් අසීමිතව වැලි කැනීම සිදුකිරීම මේ මාෆියාවේ හැටියක් ය. ඒ වෙනුවෙන් අමතර මුදලක් නියාමන කාර්‍යාංශයේ නිලධාරීන්ගේ සාක්කුවට දැමීමට මේ වැලි ව්‍යාපාරිකයන් ට සිදුවෙයි. වැලි ලාභය සමග සැසඳීමේදී එය සොච්චමක් ය. එහෙත් අප කතා කරන්නට යන පාලමේ කතාවේදී වැදගත් වන්නේ මේ කුඩා පරිමාන වැලි කැනීම්වලට වඩා මහා පරිමානයෙන් කාර්මික වැලි කැනීම් සිදුකළ එක සමාගක ක්‍රියාකාරීත්වයයි.

නියාමනය වැල්ලට යටවීම

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාපිනගර් ග්‍රාමසේවා වසමේ වෙල්ලනාවල් (මෙම ගිලා බැස ඇති පාලමට සමීප) රජයේ ඉඩමේ වැලි කැනීම සඳහා ත්‍රිකුණාමලයේ සිංහපුර නුවරපාර අංක 725 ලිපිනයේ ලියාපදිංචි කර ඇති විසල්මා කන්ස්ට්‍රක්ෂන්ස් ආයතනය අයිඑම්එල්/ඒ/එන්/ඊපි/ක්ලේ සෑන්ඩ්ස්/2020/3188 අංකයෙන් කාර්මික කැනීම් බලපත්‍රයක් ලබාගැනීම සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇත. 2021/10/15 දින මෙම අයදුම්පත්‍රය ප්‍රථික්ෂේප කර ඇති එවක භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැනීම් කාර්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. සජ්ජන ද සිල්වා එම සමාගමට දන්වා ඇත්තේ තම තීරණය පිළිබඳව සෑහිමකට පත් නොවන්නේ නම් ඒ පිළිබඳව දින 14ක් ඇතුලත අභියාචනාවක් පරිසර අමාත්‍යාංශය වෙත යොමුකරන ලෙසය.

ඒ අනුව 2021/10/15 දින එම අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද පිටපතක් යොමුකරමින් එම සමාගම පරිසර අමාත්‍යාංශයට අභියාචනාවක් සිදුකර ඇත. එහෙත් පුදුමයට කරුණ වන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා එම අභියාචනාව විභාග කරන්නටත් ප්‍රථම ඉහත නම සඳහන් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනත් සමාගමකට මෙම භූමියේ කාර්මික වැලි කැනීම සඳහා බලපත්‍රයක් ලබාදීමය. ඒ අනුව 2021/11/09 දින නො-40 ධර්මාරාම පාර අහංගම ලිපිනයේ ලියාපදිංචි අප්ටවුන් වෙන්චර්ස් ආයතනයට මෙම බලපත්‍රය ලබාදී ඇත. එහි අංකය – අයිඑම්එල්/ඒ/එච්ඕ/එන්/15582

මෙසේ පතල් සහ ඛනිජ ද්‍රව්‍ය පනතේ විදිවිධාන උල්ලංඝනය කරමින් දිගින් දිගටම හැසිරී ඇති අධ්‍යක්ෂ ජනරාල් ඩී. සජ්ජන ද සිල්වා විසින් මෙම බලපත්‍රය ලබාදීමේදී මූලික පාරිසරික වාර්තාවක් සහ පාරිසරික බලපෑම් වාර්තාවක් ලබාගෙන නැත. එයත් නීතියට පටහැනි ය. අප්ටවුන් වෙන්චර්ස් ආයතනය මෙසේ මෙම ස්ථානයේ වැලි කැනීම වෙනුවෙන් පිවිසෙන්නේ තවත් බොරුවක් කියමින් ය.

ඒ අනුව මේ සමාගම, මේ භූමියට එන්නේ ශ්‍රී ලංකාවේ වියලි මිරිස් අවශ්‍යතාවය සැපිරීම සඳහා වියලි මිරිස් වගාකරන්නට ය. ඒ අනුව ඔවුන් ව්‍යාපති යෝජනාවක් ඉදිරිපත් කරමින් එහි රජයේ ඉඩම් අක්කර 3000ක් ඉල්ලා ඇත. එම ඉල්ලූ ඉඩම් පිහිටා ඇත්තේ බොහෝ කාලයකට ප්‍රථම මහවැලි ගංගාව ගලාගෙන ගිය යූ හැඩයේ වැලි නිධියට යාබදවය. මෙසේ ගොනා හැරුණේ මිරිස් වගාවට නොව වැලි නිධියට වැඩේ දෙන්නට බව ඕනෑම මෝඩයෙක්ට තේරුන් යා යුතුය.

මහානර්ඝ ව්‍යාපෘති යෝජනාවක් මෙසේ ඉදිරිපත් කළ පසුව ඔවුන්ට මිරිස් වගාව සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා සතු අවශේෂ කැලෑ ඉඩම් අක්කර 125ක් ලැබී ඇත. එම ලබාදීමත් නීතියට පටහැනි බව වාර්තා වෙයි. මෙම ඉඩමට මහවැලි ගඟෙන් වතුර පොම්ප කරන්නට හොඳටම ඉඩකඩ සහ හැකියාව තිබියදී, මෙම ආයතනය ප්‍රකාශ කර ඇත්තේ තම වගාවට මහවැලි ගඟෙන් වතුර ගැනීම සඳහා ඇලක් කැපිය යුතු බවය. ඒ සඳහා අප්ටවුන් වෙන්චර්ස් ආයතනය කාර්මික වැලි කැනීම් බලපත්‍රයක් ඉල්ලා ඇත.

අවුරුද්දකට සැරයක් බලපත්‍ර ලබාදෙන සහ අලුත් කරන පසුබිමක, ඒ වෙනුවෙන් එම භූමියට ගොස් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්‍යාංශය පරීක්ෂාවක් කරන පසුබිමක, මේ භූමියේ මේ සමාගම මිරිස් වගාකරනවා දැයි කිසිවෙක් පරීක්ෂා කර නැත. එයින්ම මාෆියාවේ ස්භාවය ඔබට හඳුනාගන්නට පුලුවන් වනු ඇත.

මෙසේ හොරමඟඩි රාශියක් හරහා වැලි කැනීම ඇරඹී ඇති අතර එම කාලයේම තවත් පුදුමයක් සිදුවෙමින් අප්ටවුන් වෙන්චර්ස් ආයතනය අයිති යැයි කියන පුද්ගලයා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්‍යාංශයේ සභාපති බවට පත්වී ඇත. එවක භූ විද්‍යා සහ පතල් කාර්යාංශයේ සභාපති ඉංජිනේරු ආචාර්ය අනුර වල්පොල (වියත්මඟ සාමාජික) උදෑසන රාජකාරි සඳහා පැමිනෙන විට නව සභපතිවරයා ලෙස සෙනරත් හේවගේ ප්‍රසාද් මංජුල මහතා කේක් කපා උත්සවයක් පවත්වා සභාපති පුටුවේ වාඩි වී සිට ඇත. එකල මාධ්‍ය එම සිදුවීම වාර්තාකර ඇත.

මෙම සිදුවීමත් සමගම භූ විද්‍යා සහ පතල් කාර්යාංශයේ නිලධාරීන් සොච්චමක් මෙම සමස්ථ ක්‍රියාවලියට විරුද්ධව උද්ඝෝෂණය සහ විරෝධය දක්වන්නට වූ අතර ඒ අනුව සෙනරත් හේවගේ ප්‍රසාද් මංජුල මහතා හට සභාපති පුටුව අහිමි වෙයි. ඒ සමගම, එම පුද්ගලයාට අයත් සමාගමට නීතියට පිටතින් වැලි කැනීම් බලපත්‍ර ලබාදුන් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. සජ්ජන ද සිල්වා අනිවාර්‍ය නිමාඩු යැවීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කර ඇත. එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයාට පරිසර අමාත්‍යාංශය චෝදනා පත්‍රයක් යොමුකර ඇති අතර එහි චෝදනාවන් ලෙස සඳහන් වන්නේ මම ඉහත සඳහන් කළ චෝදනා දෙකය. පනතේ විදිවිධාන වලට පටහැනිව අභියාචනය විභාග කරන්නට ප්‍රථම වෙනත් ආයතනයකට බලපත්‍ර නිකුත් කිරීම සහ පාරිසරික ඇගයුම් වාර්තාවන් ලබා නොගැනීම එහි චෝදනාවන් ලෙස දක්වා ඇත.

මෙම විරෝධතාවයන් සහ අරගලයන් යන අතර තුර ඉහත කාර්‍යාංශයේ නිලධාරීන් සුළු කොටසක් අභ්‍යාචනාධිකරණය වෙත ගොස් සජ්ජන ද සිල්වා අධ්‍යක්ෂ ජනරාල් බවට පත්වූ ක්‍රමවේදය නීතියට පටහැනි බව කියමින් ඔහුගේ පත්වීම අභියෝගයට ලක්කර ඇත. ඒ අනුව අභියාචනාධිකරණය එය පිළිගෙන ඇත. එහෙත් පසුගිය දා සජ්ජන ද සිල්වා නැවත භූ විද්‍යා සහ පතල් කාර්‍යාංශයේ සේවයේ පිහිටුවීමට අමාත්‍යාංශය කටයුතු කර ඇත. අමාත්‍යාංශය මෙම කාර්‍යාංශයේ නිලධාරීන්ට පොරොන්දු වූ විමර්ෂන කිසිවක් සිදුවී නැත ඒ වෙනුවට සීනියර් ඩිරෙක්ටර් මයිනින් ලෙස සජ්ජන නැවත සේවයට වාර්තා කර ඇත!.

පාලම ගිලා බැසීමේ කතාව

මෙම සිදුවීම් දාමය සමග ඉහත කාර්‍යාංශය මෙම කැනීම් භූමිය පිළිබඳව වාර්තාවක් සකසන අතර විශ්මය දනවන කරුණු එහි සඳහන් වෙයි. එම වාර්තාව සැකසීමේදී කාර්‍යංශය එම ප්‍රදේශයට අදාළ චන්ද්‍රිකා ඡායාරූපයන් නිරීක්ෂණය කර ඇත. එම දත්තයන්ට අනුව 2022.2.28 දින සිට 2022.03.26 දක්වා කාලය තුළ මෙහි වැලි කැනීම් ස්ථාන 18කදී වැලි කැනීම් සිදුව ඇත. පසුව එම වාර්තාව සකස් කළ නිලධාරියා එම ප්‍රදේශයට ගොස් ක්ෂ්‍රේත්‍ර පරීක්ෂාවක්ද සිදුකර ඇත.

එම වාර්තාවෙන් අනාවරණය කරගෙන තිබෙන කරුණු අනුව මහවැලි ගඟ අතීතයේ ගලාගෙන ගිය මෙම යූ හැඩයේ සීමාව තුළ මෙසේ වැලි කැනීම නිසා ඒ මතින් දැනට ගලාගෙන යන රාල් කූලි ඇල අවහිරවී ඇති බවය. කැනීම් රේඛාවේ ඉහළම ස්ථානයෙන් සහ තවත් ස්ථාන කිහිපයකින් මෙසේ ඇල අවහිර කරන්නට මේ කැනීම් සමාගම කටයුතු කර ඇත. ඒ අනුව රාල් කූලි ඇලේ ජලය නොබසින තත්ත්වයක් උදාවී ඇත. එම වාර්තාවට අනුව මෙම කරුණ අනාවරණය වී ඇත්තේ 2022/4/21 දින කළ භූමි පරීක්ෂාවකින් ය. මෙම පරීක්ෂාව සඳහා එවක මූතූර් ප්‍රාදේශීය සභාවේ සභාපති, කැනීම් ඉන්ජිනේරුවරයා, ත්‍රිකුණාමලයේ පසු වෛද්‍ය සම්පත් මණ්ඩලයේ නියෝජිතයෙක් ලෙස තිදෙනෙක්, එම ස්ථානය නිරීක්ෂණය කර ඇත.  එම පරීක්ෂාවට හේතුව ලවණ ජලය කලපුව හරහා රාල් කූලි ඇලට පැමිණෙනවා යැයි ප්‍රදේශවාසීන් චෝදනා කිරීමය.

එම නිරීක්ෂණයෙන් පසුව අදාළ ආයතනය වෙත නිර්දේශයන් රාශියක් නිකුත් කර ඇත. කැනීම් ගැඹුර මීටර් 3ක උපරීමයකට යටත් විය යුතු බවට වූ නිර්දේශයන් සමග රාල් කූලී ඇලේ ජල බාධක වහාම ඉවත් කිරීම ආදී නිර්දේශයන් 4ක් කැනීම් ඉන්ජිනේරුවරයා විසින් එම කැනීම් සමාගම වෙත නිකුත් කර ඇත. එහෙත් එම නිරීක්ෂණ චාරිකාවේදී හෝ කැනීම් ස්ථානයට ආසන්නව තිබෙන වෙල්ලනාවල් පාලම මෙම නිලධාරීන් දැක නැත. මෙම කැනීම් ස්ථානයට ගොස් පසුව සිදුකරනු ලැබූ පර්‍යේෂනවලින් අනාවරණය වී ඇත්තේ මෙහි බොහෝ කැනීම් වළවල් මීටර් 3 සීමාව ඉක්මවා කැන ඇති බවය.

මහවැලි ගඟ අවසානයේ මූතූර් මෙම සීමාවේදී ගලාගෙන යන්නේ අතු ඉති සහිතවය. ඒ අනුව රාල් කූලි ඇල, උප්පාරු හරහා මේ ඩෙල්ටාවන් ඉහළින් මෙම පාලම් සමූහය ඉදිවන්නේ 2007-2008 කාලයේ උතුරු වසන්තය යටතේ ය. අවුට් සර්කියුලර් රෝඩ් නම් මෙම මාර්ගය සහ පාලම් යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය විසින් ඉදිකර ඇත. එහි එක්පාලමක් රාල් කූලි ඇල හරහා වැටී ඇත.  අප කතා කරන වෙල්ලනාවල් පාලම එයයි. එම පාලම 2023 සිට ගිලා බසිමින් තිබුණ බව භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය නිරීක්ෂණය කර ඇත. එයට ප්‍රධානම හේතුව මෙම වැලි කැනීම් ස්ථානය බව එම කාර්‍යාංශයේ නිලධාරීන් හොඳින්ම දනී.

මෙම පාලම ගිලා බැසීමට ප්‍රධානම හේතුව කුමක්ද? එයට ප්‍රධානම හේතුව අප්ටවුන් වෙන්චර්ස් ආයතනයේ මෙම වැලි කැනීම් ස්ථානය පාලමට කිලෝමීටර් 1කට මෙහායින් පැවතීමය. වැලි කැනීම් අවසර ලබාදීමේදී පාලමක සිට කිලෝමීටර් 1ක් යනතුරු දෙපසට වැලි කැනීමේ අවසරය හිමිවන්නේ නැත. එහෙත් පාරිසරික ඇගයීම් වාර්තා කිසිවක් නොමැතිව ආරම්භ වූ මෙම වැලි කැනීමට ඒ කිසිවක් අදාළ වී නැත. එනිසා අවසානයේ පාලම වැලි කැනීමේ ප්‍රථිපලයක් ලෙස ගිලා බැස ඇත. මේ ගිලා බැසීමට වගකිවයුතු කිසිවෙක් හට තවමත් කිසිදු දඬුවමක් නැත. ඒ වෙනුවට වජිර අබේවර්ධනගේ හිතවත්කම් මතින් නැවත සේවයේ පිහිටුවා ඇත.

යම් ස්ථානයක කාර්මික වැලි කැනීමක් සිදුවන විට එම භූමිය භූ විද්‍යා හා පතල් කාර්‍යාංශයේ නිරන්තර පරීක්ෂාවට ලක්වෙයි. අපි අහන්නේ එසේ පරීක්ෂාවට නිරීක්ෂණයට මෙම ස්ථානය ලක්වෙන විට එම නිලධාරීන් මේ කැනීම් ස්ථානය පාලමට ආසන්න බව නිරීක්ෂණය කළේ නැද්ද? ඒ ඇයි? මිරිස් වවනවා යැයි කියා රටකජු සහ මඤ්ඤොක්කා  වවන විට එයට ජල පොම්ප යොදා මහවැලි ගඟෙන් ජලය ලබාගන්නට හොඳටම පුලුවන් බව පෙනෙන විට මෙසේ වැලි ඉවත් කරමින් ඇලක් නිර්මානය කරනවා යන බොරුවට ඉඩදුන්නේ ඇයි?

මෙයින් පෙනෙන්නේ මේ වැලි ජාවාරමේ ප්‍රධානතම භූමිකාව ඉහත නියාමන කාර්‍යාංශය විසින් ඉටුකරන බවය. එහි උසස් නිලධාරීන් මේ මාෆියාවේ කොටසක් බවය. ඒ අනුව මෙම වැලි කැනීමට අවසරය ලබාදුන් නිසි ලෙස එය නියාමනය නොකළ ඉහත කාර්‍යාංශයද මේ පාලම කඩාගෙන වැටීමට වගකිව යුතුය. එනිසා මුලු රාජ්‍ය නියාමන යාන්ත්‍රනයම යෝධ විපර්‍යාසයකට ලක්විය යුතුය. වංචාව සහ දූෂණය පිටුදැකීම සඳහා සිංගප්පූරු මොඩලයේ යාන්ත්‍රනයක් සහ නීතියක් අවශ්‍ය බව මෙවැනි දේවල් වලින් පෙනෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද වංචාව හා දූෂණය පිටුදැකීම වෙනුවෙන් ලංකා රාජ්‍යය මීටවඩා වැඩ කොටසක් කළ යුතු බව පිළිගනියි. එනිසා එහි ප්‍රථම පියවර ලෙස මෙවැනි තත්ත්වයන් වෙනස් කිරීම උදෙසා කටයුතු කළ යුතුය.