You are currently viewing දෙමළ දේශපාලන ඉතිහාසයේ නොමැකෙන ලකුණ ආර්. සම්බන්ධන්..!

දෙමළ දේශපාලන ඉතිහාසයේ නොමැකෙන ලකුණ ආර්. සම්බන්ධන්..!

කේ. සංජීව

හිටපු විපක්ෂ නායක මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා සිය දිවි ගමන නිමාකර ඇත. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 91ක් ය. වසර 91කක සිය දිවිසැරිය තුළ අඩ සියවසකටත් වඩා වැඩි කාලයක් දේශපාලඥයෙක් සේ කටයුතු කළ ආර් සම්බන්ධන් මහතා ශ්‍රී ලාංකේය දමිළ දේශපාලන ඉතිහාසයේ මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකේය දේශපාලන කතාවේ නොමැකෙන චරිතයක් ය.

වෘත්තියෙන් නීතිවේදියකු වූ ආර් සම්බන්ධන් මහතා වෘත්තීය දේශපාලනඥයකු බවට පත් වන්නේ එස්.ජේ.වී චෙල්වනායගම් මහතා විසින් ආරම්භ කළ ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ (ITAK) සාමාජිකයකු බවට පත්වීමෙන් ය. ඒ අනුව 1970 මහ මැතිවරණයෙන් ජාතික දේශපාලනයට පිවිසි ආර් සම්බන්ධන් මහතා ITAK පක්ෂයෙන් ත්‍රිකුණාමලය ආසනයට තරඟ කළත් ඔහුට එම මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නට හැකිවන්නේ නැත.

1977 මහ මැතිවරණයේ දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) පාර්ලිමේන්තුවේ දෙවැනි බලවත් තනි දේශපාලන පක්ෂය බවට පත්වූ අතර එහිදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ (TULF) නායක අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පළමු දමිළ විපක්ෂ නායකයා බවට පත්වීම සුවිශේෂය. මෙම මැතිවරණයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන් අතර ආර් සම්බන්ධන් මහතාද විය.

ඉන්පසු ඇරඹි ඉතිහාසය දෙමළ දේශපාලනයේ ගැටුම් බහුල උණුසුම් කාලයක් විය. එක් පැත්තකින් එල්ටීටීඊ සංවිධානය විමුක්ති සටන් ව්‍යාපාරයක් ගෙන යමින් තිබුණ අතර අනෙක් පැත්තෙන් දකුණේ දේශපාලනය සිංහල ස්වෝත්තමවාදයේ රැස් වළළු මතින් උණුසුම්ව වාර්ගික ආතතීන් මත ක්‍රියාත්මක වන්නට විය. මෙම දෙකොන ගිනි ගන්නා විලක්කු කාලයේ ආර්. සම්බන්දන් මහතා දෙමළ සහ සිංහල දේශපාලනය අතර පාලම් තනන්නෙක් ගේ සහ සංහිඳියාව සඳහා මැදිහත්කරුවෙකුගේ භූමිකාව ඉටුකළ බව කිවයුතුය.

එක රටක් තුළ සිංහල – දෙමළ ජාතික ගැටලුවට විසඳුම් සොයන්නට මහන්සිවූ ආර් සම්බන්ධන් මහතා වෙන්ව යාම වෙනුවට එක්ව ප්‍රශ්න විසඳා ගැනීමේ මාර්ගයක සිය දේශපාලනය රැගෙන යන්නට මහංසි විය. එනිසා ශ්‍රී ලංකාවේ දමිළ ජාතිකවාදී දේශපාලන අරගලයේ දුෂ්කරම අවධියෙහි එම ජනතාවට නායකත්වය දුන් නායකයා ඔහු විය.

ආර් සම්බන්ධන් මහතා 2015 – 2019 යහපාලන කාලයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස පරමාදර්ශීය පාර්ලිමේන්තු කාර්‍යභාරයක් සිදුකළේය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ විධායකය අතර දේශපාලනය කෙබඳු ආකාරයේ එකක් විය යුතු දැයි හොඳින් අවබෝධකරගෙන සිටි විපක්ෂ නායකවරයෙක් සේ ආර් සම්බන්ධන් මහතාගේ විපක්ෂ නායක භූමිකාව දේශපාලන ඉතිහාසයට එක්වෙයි.

සිංහල දෙමළ ජාතික ගැටලුවට ප්‍රශස්ථ දේශපාලන විසඳුමක් සොයමින් සිටින ශ්‍රී ලංකාවට ආර් සම්බන්ධන් මහතාගේ වියෝව විශාල පාඩුවක් බව කිව යුතුය..!