You are currently viewing ‘හිරුණිකාට දුන් දඬුවම’ බලය අයුතු ලෙස භාවිතා කරන්නන්ට හොඳ පාඩමක්..!

‘හිරුණිකාට දුන් දඬුවම’ බලය අයුතු ලෙස භාවිතා කරන්නන්ට හොඳ පාඩමක්..!

කේ. සංජීව

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් මෙන්ම ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට බරපතළ වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් නියම කිරීමට පසුගිය ජූනි 28 වෙනිදා කොළඹ මහාධිකරණ නියෝග කළේය.

ඇයට එසේ සිරදඬුවම් නියම කරනු ලැබුවේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු බවට ප්‍රකාශයට පත් කරමින් ය.

මෙම සිදුවීම සිදුවන්නේ 2015 වසරේ දෙසැම්බර් 21දා ය. මෙහිදී පැහැරගැනීමට ලක්වන්නේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයෙක් ය. එවක යහපාලන කාලයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වුණ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ බලය අවභාවිතා කරමින් කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් මෙම පුද්ගලයා පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදී තුවාල සිදුකළ බවට නීතිපතිවරයා චෝදනා ගොනුකරන්නට කටයුතු කළ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

මෙම ඓතිහාසික නඩු තීන්දුවට අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා 18 කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් 20000 බැගින් දඩ ද නියම කෙරුණි. යම් හෙයකින් එම දඩ මුදල් නොගෙවන්නේ නම් සිරදඬුවම් කාලය එක් චෝදනාවකට මාස 6 බැගින් තවත් වැඩිවෙනු ඇත.

මෙම දඬුවම නියම කරන්නට ප්‍රථම අධිකරණය ඇමතූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ විත්තිකාරියට අවුරුදු තුන, හතර සහ පහ යන වයස් වලට අයත් කුඩා දරුවන් තුන් දෙනෙකු සිටින බැවින් ඇය බන්ධනාගාර ගත කරනු ලැබුවහොත් එම දරුවන් හට දැඩි අගතියක් සිදුවිය හැකි බවය.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ විත්තිකාරිය කර තිබෙන වරදේ ස්භාවය අනුව ඇයට බරපතළ වැඩ සහිතව වසර 69 ක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙන බවය. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ විත්තිකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් කටයුතු කරමින් මෙම වරද සිදුකර තිබෙන බවය.

ඇය සිදුකර ඇත්තේ බරපතල වරදක් බවත්, එනිසා ඇයට අනිවාර්යෙන්ම බන්ධනාගාර ගත විය යුතු ආකාරයේ දඬුවමක් නියම කළ යුතු බවත් ප්‍රකාශ කර ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ එම දඬුවම අත්හිටුවීම නොකළ යුතු බවය.

මෙහිදී විත්තිකාරියට එරෙහිව දෙනු ලබන දඬුවම සමාජයට පණිවිඩයක් ලබා දිය හැකි ආකාරයේ දඬුවමක් විය යුතු බව අවධාරණය කර ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තවදුරටත් අධිකරණය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ විත්තිකාරිය කටයුතු කළ ආකාරයට ඉදිරියේදී කටයුතු කරන්නට සූදානම් පුද්ගලයින්ට ද මෙමගින් පණිවිඩයක් ලබාදිය හැකි ආකාරයේ දඬුවමක් ලබාදීම වැදගත් බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ඉහළ දේශපාලන බලයන් සහිත පුද්ගලයන් තම බලය අයතු ලෙස භාවිතා කිරීම ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රනයේම කොටසක් බවට පත්වී ඇති පසුබිමක මෙම නඩු තීන්දුව වැදගත් වන්නේ එමගින් බලය අයතු ලෙස භාවිතා කරන්නන්ට පණිවිඩයක් දෙන නිසා ය.

හිරුණිකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස තම බලය අයුතු ලෙස භාවිතා කරමින් පවුල් ආරෝවක් විසඳන්නට ගියේ තම පාර්ශවයට ආණ්ඩු බලය තිබෙන කාලයකය. ඇයට එම වරදට එරෙහිව දඬුවම් නියම වන්නේ ඇයට දේශපාලන බලයක් හයියක් නැති පාලනය කාලයක් තුළදී ය. මෙයත් ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක් ය. මෙ‍යින් දේශපාලකයන් උගත යුතු පාඩම වන්නේ බලය තිබෙන කාලයේ නීති විරෝධී කටයුත්තක් සිදුකර බේරුනත් එයට බලය නොමැති කාලයේ දී දඬුවම් ලැබිය හැකි බවය.