You are currently viewing මියන්මාරයේ වහල් සේවයට යන අපේ අයගේ කතාව..!

මියන්මාරයේ වහල් සේවයට යන අපේ අයගේ කතාව..!

කේ. සංජීව

රුසියා – යුක්‍රේන යුද්ධයේ කුලී හේවායන් ලෙස රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිළිබඳව අපට නිරන්තරව කතා ඇසෙයි. ඒ වගේම 2022 වර්ෂය තරම් ඈතක සිට අපහට මියන්මාරයේ වහල් සේවයේ යොදවා සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව ද අසන්නට ලැබෙයි. රුසියානු – යුක්‍රේන කුලී හේවා කතාව තරමටම මියන්මාර සයිබර් වහල් සේවය පිළිබඳව ද ලෝකය පුරා මාධ්‍ය අවකාශයන් කතා කරමින් සිටියි.

ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසිය ප්‍රකාශ කරන ආකාරයට වහල් සේවය සඳහා මියන්මාරයට රටවල් 22කට අයත් පුද්ගලයින් රැගෙන විත් ඇත. ඔවුන් එසේ රැඟෙන විත් ඇත්තේ රැවටීමෙන් බව ප්‍රකාශ කළ යුතුය. මෙසේ සයිබර් වහල් සේවය සඳහා පුද්ගලයින් ගෙනවිත් ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට තායිලන්තය හරහා බව ඉන්ටර්පෝල් මතයයි. කෙසේ හෝ මෙසේ වහල් සේවයට ගෙනවිත් ඇති බහුතරය තායිලන්තය හරහා ගෙන්වාගෙන ඇත. මෙසේ ගෙන්වා ගත් පුද්ගලයින් ක්‍රිප්ටෝකරන්සි ජාවරාම් සඳහා මෙන්ම බැංකු ජාවරම්, අන්තර් ජාලය හරහා කෙරෙන කැසිනෝ ක්‍රීඩාව, වැනි සයිබර් අපරාධයන් සඳහා ‍යොදවාගෙන ඇත. එසේ යොදවාගෙන ඇත්තේ සන්නද්ධ කණ්ඩායම් හරහා බලහත්කාරයෙන් ය. ඉන්ටර්පෝල් ප්‍රකාශ කරන මෙම රටවල් 22 අතර ලංකාව ද එක රටක් ය.

ලංකාවේ අයගේ කතාව

පසුගිය දා මෙම මියන්මාර ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡාවන් සඳහා සහ ඒ හරහා මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් නිදහස් කර ගැනීම සඳහා මියන්මාරයට ගිය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා නැවත දිවයිනට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේ විවිධ රටවල තරුණයින් ලක්ෂයකට අධික පිරිසක් මෙම කඳවුරුවල බලහත්කාරයෙන් රඳවාගෙන ඇති බවයි.

ඔහුට අනුව එම පිරිස අතරේ ලාංකිකයින් 48ක් පමණ තවමත් සිටියි. එහෙත් පසුගිය අප්‍රේල් මාසය වනවිට මෙම ගණනන 56ක් වූ අතර එයින් ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙක් (පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු) මුදාගන්නට හැකිවිය. ඒ අප්‍රේල් මාසයේ ය. එම මුදාගත් පිරිස පසුගිය අප්‍රේල් 18 වෙනිදා යු.එල් 403 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි අතර ඒ සමගම මෙම වහල් කඳවුරු තුළ පවතින ඇත්ත ස්භාවය අනාවරණය විය.

වහල් කඳවුරු පවතින කලාපය

මියන්මාර – තායි දේශසීමාවේ මියවඩි ප්‍රදේශයේ කේකේ උද්‍යානය ලෙස හඳුන්වන මෙම තිප්පොළ වංචාවේ හොරකමේ, වධහිංසනයට ලක්කිරීමේ, කුස ගින්නෙන් පීඩිත කිරීමේ සහ මිනීමැරුමේ බිහිසුනු කලාපයක් බව සුප්‍රකට මාධ්‍ය නාලිකාවක් වන ඩීඩබ්ලිව් නාලිකාව ‘Scam Factory: Behind Asia’s Cyber Slavery’ නමින් වාර්තා චිත්‍රපටියක් නිර්මානය කරමින් ප්‍රකාශ කරයි.

මියන්මාරයේ මිලිටරි ජුන්ටාව ප්‍රකාශ කරන ආකාරයට මෙම වහල් කඳවුරු පවතින මියවඩි ප්‍රදේශයේ පාලනය වාර්ගික සන්නද්ධ කණ්ඩායම් සතුව ඇත. එනිසාම මෙහි සිදුවන බිහිසුනු ක්‍රියා පාලනය කිරීම අසීරු බව මිලිටරි ආණ්ඩුවේ මතය වුණත් මෙම ක්‍රියාදාමය පිටුපස චීන ජාවාරම්කරුවන් සහ පාතාල නායකයන් සිටීම තුළ මියන්මාරයේ මිලිටරි ආණ්ඩුවේ ප්‍රකාශන සඳහා එතරම් වලංගුභාවයක් නොලැබෙයි. එයට හේතුව මියන්මාරයේ මිලිටරි ආණ්ඩුව පිටුපස පවතින චීන යෝධ සෙවනැල්ලයි.

ඩීඩබ්ලිව් නාලිකාවේ විමර්ශනයට අනුව මෙම වහල් කඳවුර තුළට ගාල් කළ පුද්ගලයන්ගෙන් දිනකට පැය 17ත් 22ත් අතර කාලයක් වධහිංසා පැමිණවීම් මතින් වැඩගනිමින් සිටී. ඔවුන් නිසි අහරක් නැතිව කුස ගින්නෙන් පරිගණකයක් ඉදිරියේ සිට සයිබර් අවකාශයේ වැඩකළ යුතුය. එක්සත් ජාතීන්ද ප්‍රකාශ කරන්නේ මෙම වහල් කඳවුරු තුළ ලක්ෂයක පමණ පිරිසක් සිරගතව වහලුන් මෙන් වැඩකරන බවය. නිමාඩුවක් නොමැති මොවුන් තමන්ට ගෙදර යන්නට අවශ්‍ය යැයි කීවොත් වෙනත් තැනකට විකුණා දමයි. මෙම යාන්ත්‍රනය වහල් සේවයම බව කිව හැකිය. ගැහැනුන් සහ පිරිමින් බේදයක් නැතිවම ලිංගික හිංසනයට සහ දූෂණයට ලක්වෙන මෙම වහල් තිප්පොළ වහලුන්ගේ ශ්‍රමය මතින් ඩොලර් ලක්ෂ ගණනින් මුදල් උපයමින් තිබෙයි. එනිසාම දෛනිකව මෙම තිප්පොළ වෙත ශ්‍රමිකයන් රවටාගෙන රැගෙන එයි. එහි කිසිදු අඩුවක් නැත.

මෙම කේකේ උද්‍යානය නම් වහල් කඳවුරු පරිශ්‍රයේ ඉදිකිරීම් 2020 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර එහි ඉදිකිරීම් ආරම්භ කළ දා සිට එය වර්ධනය වී ඇති ආකාරය චන්ද්‍රිකා ඡායාරූප මගින් ඩීඩ්බ්ලිව් මාධ්‍ය ආයතනය විමර්ෂනය කර ඇත.  එම චන්ද්‍රිකා ඡායාරූප දත්තයන් සහ එහි රඳවා සිට පසුව දිවි ගලවාගත් කිහිප දෙනෙකුගෙන් ලබාගත් විස්තරයන් සැසඳීම හරහා එම මාධ්‍ය ආයතනය ප්‍රකාශ කරන්නේ මෙම භූමිය ආරක්ෂා කරන මුරකරුවන් සියල්ලන්ම
මීට දශකයකට පෙර මියන්මාර මිලිටරි ජුන්ටාව සමග සටන් කිරීම නැවැත්වූ හිටපු කැරලිකරුවන් කණ්ඩායමක් වන නිල දේශසීමා ආරක්ෂක බලකාය බවය. එහෙත් මෙහි සමස්ථ මෙහෙයුම් ක්‍රියාවලියේ ප්‍රධානීන් චීන ජාතිකයන් බව එම මාධ්‍ය වාර්තාවන් ප්‍රකාශ කරයි.

ඩීඩබ්ලිව් මාධ්‍ය හෙළිදරව්වට අනුව තායිලන්තයේ වෙසෙන චීන ව්‍යාපාරිකයෙකු වන Wang Yi Cheng මෙහි ප්‍රධානියෙක් ය.  Wang Yi Cheng යනු ක්‍රිප්ටෝකරන්සි මගින් ජාවාරම්කාර ලෙස මුදල් ඩොලර් කෝටි ගණනින් උපයන ලද පුද්ගලයෙක් ය. ඔහු විදේශීය චීන ව්‍යාපාරිකයින්ගේ විශාල ජාලයක කොටසක් ය. කුප්‍රකට චීන මාෆියා ලොක්කෙකු ලෙස හඳුන්වා දිය හැකි මෙම පුද්ගලයා චීන සහ තායි සබඳතා ප්‍රවර්ධනය කරන බැංකොක්හි පිහිටි සංගමයක් වන තායි-ආසියා ආර්ථික හුවමාරු සංගමයේ උප සභාපති ලෙස ද සේවය කර ඇත.

ඒ අනුව මෙම වහල් සේවාවේ මුල මොකද්ද යන්න සහ එයට මියන්මාරයේ මිලිටරි ආණ්ඩුව සමග තිබෙන බැඳීම කුමක් ද යන්න සිතා ගැනීමට අමාරු වන්නට විදිහක් නැත. එමෙන්ම මෙම වහල් කඳවුරු පරිශ්‍රය මෙන්ම එහි සිද්ධවෙන බොහෝ නීති විරෝධී කටයුතු වෙනුවෙන් කුප්‍රකට චීන සමාජයක් වන Hongmen Culture Exchange Center ද සම්බන්ධ බව වාර්තා වෙන අතර එහි නායකයන් සහ ප්‍රධානීන් චීනයේ BRI ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටින එය ප්‍රවර්ධනය කරන පුද්ගලයන් ය.

ලංකාවෙන් ගිය අය යැව්වේ කවුද?

ඉන්ටර්පෝල් ආයතනයට අනුව ආසියාව, නැගෙනහිර අප්‍රිකාව, දකුණු ඇමරිකාව සහ බටහිර යුරෝපයේ තරුණ තරුණියන් දහස් ගණනකට පරිගණක ආශ්‍රිත රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් සිහින ලෝක මවමින් මෙම වහල් කඳවුරු වෙත ගෙන්වාගෙන ඇත. ලක්ෂ පහක පමණ විශාල වැටුපක් පෙන්නූ පසුව එයට රැවටී තායිලන්තයේ බැංකොක් වෙත පැමිණෙන පුද්ගලයන් පසුව තායිලන්තයේ බටහිර දිගින් පිහිටි සොට් නගරය වෙත ගෙන ගොස් ඒ හරහා තායි – මියන්මාර වාටියේ මෙම කඳවුරු භූමියේ රඳවා ඇත. එහිදී තායිලන්තය දෙසින් ඇතුලු වනවිට හමුවන ගංගාව තරණය කිරීමට බෝට්ටු භාවිතා කර ඇත.

මෙම ජාවාරම ඩුබායි සහ බැංකොක් නගර අතර සිදුව ඇතැයි වාර්තා වෙයි. මෙම මිනිස් ජාවාරම පිළිබඳව 2023 වර්ෂයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කරන අතර ඒ අනුව මෙම ජාවාරමේ මහ මොළකරු ලෙස හඳුනාගත් චීන ජාතිකයා ඇතුලුව තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නට කටයුතු කරයි. මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම පිටුපස චීන ජාතිකයන් බොහෝ ප්‍රමානයක් සිටින බවය. චීනයෙන් පිටත සිට ව්‍යාපාරයන් කරමින් චීන ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන චීන රජයේද නොමසුරු ආදරයට සහ රැකවරණයට පාත්‍ර බොහෝ දෙනෙක් චීන ව්‍යාපාරිකයන් මේ ජාවාරම පිටුපස සැඟව සිටීමත් සමග පරීක්ෂණ මන්දගාමී තත්ත්වයකට පත්ව ඇත.

එහෙත් ලක්ෂ 3ත් ලක්ෂ 5ත් අතර වැටුපක් ලබාදෙනවා කියමින් ඩුබායි හරහා හෝ කෙලින්ම තායිලන්තයේ බැංකොක් වෙත පියාසර කිරීම තුළ චීන ජාවාරම්කරුවන්ට හසුව දුක් විඳින ශ්‍රීලාංකිකයන් ප්‍රමානයේ මිම්ම (රජයේ) 48ක් වුණාට එම ගණන තවත් ඉහළ හා හැකි බව මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මතයයි. 2022 වර්ෂයේ උද්ගත ආර්ථික අර්බුදයත් සමග වැලනොකැඩී රටගිය පිරිස් අතරින් සමහරු ගොස් ඇත්තේ මෙම වහල් කඳවුරේ රැකියාවට බව අද වනවිට අනාවරණය වී ඇති ඇත්තක් ය. එහෙත් මෙය රැකියාවක් නොව වහල් සේවාවක් යැයි දැනගන්නා විට ඔවුන් ප්‍රමාද වැඩිය.

නේපාල ජාතිකයන් විශාල වශයෙන්

මෙම වහල් කඳවුරු තුළ විශාල වශයෙන් චීන ජාතිකයන්, පිලිපීන ජාතිකයන්, නේපාල ජාතිකයන් රඳවාගෙන සිටින බව වාර්තා වෙන අතර නේපාල ජාතිකයන් 50 දෙනෙක් පසුගිය දා එම වහල් කඳවුරෙන් නිදහස් කරගෙන ඇත්තේ මේ වධකයන්හට විශාල වශයෙන් කප්පම් මුදල් ගෙවීමෙන් ය. ඒ අනුව එක් අයෙක්ට ඇමරිකානු ඩොලර් 6000ක පමණ මුදලක් ගෙවා ඇත. ලංකාවෙන් ගිය අය සම්බන්ධයෙන්ද මේ කතාව බොරුවක් නොවෙන බව කිවයුතුය. වධහිංසාවෙන් ගැලවීම සඳහා බොහෝ දෙනෙක් තම දෙමාපියන්ගෙන් බිරිඳගෙන් සල්ලි ගෙන්වාගෙන ඇත. ඒ කප්පන් ලෙස ලබාදෙන්නට ය. බීබීසී ප්‍රකාශ කරන ආකාරයට මෙම වහල් කඳවුරේ සේවය කළ එක් ඉන්දීය ජාතිකයෙක්ගේ නිදහස පතා ඔහුගේ පවුලේ උදවිය ඇමරිකානු ඩොලර් 7000ක පමණ මුදලක් කප්පන් ලෙස ගෙවා ඇත.

මෙම තත්ත්වය තුළ යුක්‍රේන – රුසියා යුද්ධයට මැදිවූ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්නය මෙන්ම මෙම මියන්මාර ප්‍රශ්නයත් දරුණු ය. මේවනවිට තම දුව පුතා සැමියා ගෙන්වා දෙන්න යැයි මියන්මාරයේ රැකියාවට ගිය පුද්ගලයන්ගේ පවුල්වල උදවිය උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියි. රජයේ පාර්ශවයෙනුත් සාධනීය උත්සාහයන් ගනිමින් තිබෙයි. එහෙත් මෙම පිරිස් නැවත ගෙන්වා ගැනීම ලේසිපහසු දෙයක් නොවෙන බව පෙනෙයි.