You are currently viewing ජනාධිපතිවරයාට තවත් අවුරුද්දක් බලයේ සිටිය හැකිද?

ජනාධිපතිවරයාට තවත් අවුරුද්දක් බලයේ සිටිය හැකිද?

කේ. සංජීව

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තිය පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාකරනු පෙනෙයි. අපි මුලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තිය යනු කුමක්ද යන්න සොයා බැලිය යුතුය.

‘අවස්ථානුචිත පරිදි ජනාධිපතිවරයාගේ ධුර කාලය සය අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සහ අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට, පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් ද, ජනමත විචාරණයකදී එය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වන ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් ද, ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් වන්නේ ය.’

මෙම වගන්තිය භාවිත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් අවුරුද්දක් සිය පාලනය පවත්වාගෙන යනු ඇතැයි ආණ්ඩු හිතවාදීන් මේ වනවිට ප්‍රචාරයක් ගෙන යමින් තිබෙයි. මෙම වගන්තිය දඩමීමා කරගනිමින් ඡන්දයකට නොයා තවත් අවුරුද්දක් පාලනය පවත්වාගෙන යන්නට සිතයි නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3කක අනුමැතියක් සහ ජනමත විචාරණ‍යක් පවත්වා 50%කුත් තවත් එක ඡන්දයකින් අනුමැතිය ලබාගත යුතුය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කලාය වසර 6කට සිට පහක් දක්වා අඩු කළ අතර එහෙත් 83 (ආ) ව්‍යවස්ථාව නොසලකා හරිමින් නොවෙනස්ව තබා ඇති තත්ත්වය තුළ වර්තමාන ජනාධිපතිවරයාට තම ධුර කාලය තවත් වසරකින් පමණ දික්කරගන්නට අවස්ථාව උදාවී ඇතැයි ජනමත විචාරණයට පක්ෂව කරුණු දක්වන්නන්ගේ අදහස වී ඇත. අනෙක් පැත්තෙන් ජනමත විචාරණ අදහසට විරුද්ධ මතයක සිටින පිරිස් ප්‍රකාශ කරන්නේ මෙය ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තියේ පවතින දෝෂයක් අල්ලාගෙන තම ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කරන්නට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ හොත් එය සදාචාර විරෝධී මෙන්ම ව්‍යවස්ථා විරෝධී බවද ඔවුන්ගේ අදහසයි.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා නම් නිතරම ප්‍රකාශ කරන්නේ ජනමත විචාරණයක් හරහා තවත් අවුරුද්දකින් ජනාධිපතිවරයාට සිය ධුර කාලය දීර්ඝ කරගත හැකි බවය. ඒ සඳහා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් පවතින බවය.

රනිල් වික්‍රමසිංහ මහතා යනු ජනවරමින් තේරී පත්වුණ ජනාධිපතිවරයෙක් නොවෙන පසුබිම තුළ ඔහු ව්‍යවස්ථාවට අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් ය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 (1) (අ) වගන්තිය අනුව ඔහුට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස එම ධුරයේ කටයුතු කරන්නට අවස්ථාව ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටි කාලය අවුරුදු පහක කාලයෙන් අඩුකර ඉතිරි කාලය සඳහා පමණි.  ‘අනුප්‍රාප්තික වන යම් තැනැත්තෙකු, ධුරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් සිය ධුරය දැරිය යුත්තේ ය’ ලෙස 40 (1) (අ)ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ 2019 වසරේ නොවැම්බර් 18 දා ය. 40 (1) (අ) ව්‍යවස්ථාවට අනුව ඔහුගේ වසර 5ක ධුර කාලය අවසන් වන්නේ, 2024 වසරේ නොවැම්බර් 17දා ය. ඒ අනුව 2024 නොවැම්බර් 17 දා රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුප්‍රාප්තික ජනාධිපති ධුර කාලය අවසන් වෙයි. ව්‍යවස්ථාවට අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් හට සිය ධුර කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපතිවරණයක් කැඳවිය නොහැකිය. එයින් පෙනෙන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් හට ජන වරමින් පත්වූ ජනාධිපතිවරයෙක් සේ කටයුතු කළ නොහැකි බවය.

මේ ජනමත විචාරණ සාකච්ඡාවට සහ සංවාදයට මැදිහත්වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මෙසේ ප්‍රකාශ කරයි.

‘ජාත්‍යන්තර නීතියේ තියෙනවා එක්තරා මූලික සිද්ධාන්තයක්, ඒකට කියනවා ‍යුස් කෝජන්ස් (jus cogens) කියලා, ඉතාමත්ම මූලික සම්මතයන් හෙවත් norms, ඒවා කිසිම ආකාරයකින් උල්ලංඝනය කරන්න බැහැ. උදාහරණයක් හැටියට වහල්භාවයෙන් තොරව ජීවත්වීමට තියෙන අයිතිය වෙනස් කරන්න බැහැ. වධහිංසාවෙන් තොරව ජීවත්වෙන්නට තිබෙන අයිතිය වෙනස් කරන්න බෑ. වාර්ගික ජන සංහාරය නීතියක් කරන්න බෑ. මහමුහුදේදී බලය පාවිච්චි කරලා කොල්ලකන්න බෑ. ජන වාර්ගික පදනම අනුව කිසිවෙක් වෙනස් කිරීමකට ලක් කරන්න බැහැ. මම අහන්නේ මේ වගේ ලංකාව තුළත් අපට වෙනස් කරන්න බැරි මූලික සම්මතයන් නැද්ද? තිබිය යුතුමයි. නැත්තම් අර කලින් කිව්වා වගේ පීඩාකාරී බහුතරයකට තමන්ට වුවමනා ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයකදී 50%ක් හා එක ඡන්දයක් විතරයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට බලය නොතිබිය යුතුද ඒ ගැන සොයා බලන්න’. – උපුටාගැනීම අනිද්දා පුවත්පත

එසේ ප්‍රකාශ කරන ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතා වෙනත් තැනක මෙසේ ප්‍රකාශ කරනවා. ‘අපේ වත්මන් ව්‍යවස්ථාවේ තියෙන හැටියට පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයාගේ කාලය අවුරුදු පහ යි. 83 වන වගන්තියේ තියෙනවා, අවුරුදු හයකට වඩා දික් කරන්න අවශ්‍ය නම් ඒක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වෙලා, ජනමත විචාරණයකිනුත් අනුමත වෙන්න ඕනෑ කියලා. නමුත් දැන් කතාව තියෙන්නේ, අවුරුදු 6ට එහා දික් කරන්න නෙවෙයි, අවුරුදු හයකට දික් කරන්න කියලා. ඒ කියන්නෙ ජනාධිපති ධුරය යි, පාර්ලිමේන්තුව යි අවුරුද්ද බැගින් දික් කරන්න කියලයි කියන්නේ.

මගේ මතය නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් විතරක් ඇතිව ජනමත විචාරණයක් නැතිව, එසේ දික් කළ හැක්කේ, අනාගත පාර්ලිමේන්තුවක හෝ අනාගත ජනාධිපතිවරයෙකුගේ කාලය විතර යි. ඊට හේතුව තමයි, ජනතාව තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරලා අවුරුදු 5කට බලය දුන්නා ජනාධිපතිවරයෙකුට. ඒ කියන්නෙ ගෝඨාභය රාජපක්ෂට. ඒ වෙලාවෙ ඡන්ද දායකයෝ දැනගෙන හිටියා ඒ ජනාධිපතිවරයාට අවුරුදු 4කින් පසුව අවශ්‍ය නම් ජනාධිපතිවරණයක් තියන්න පුළුවන් කියලා. ඒ වෙලාවෙ ජනතාව ඡන්දය දුන්නෙ අවුරුදු පහක් ඉන්න ජනාධිපතිවරයෙකුට. මහ මැතිවරණයේදී ඡන්දය දුන්නෙත් අවුරුදු පහකට විතර යි. එතකොට ඒ දෙකේ ම උපරිම කාලය අවුරුදු පහක් කියල තමයි ජනතාව දැනගෙන හිටියේ. එතකොට අවුරුදු පහකට පමණක් පත් කරපු ජනාධිපතිවරයෙකුගේ සහ පාර්ලිමේන්තුවක කාලය දීර්ඝ කරන්න පුළුවන් ද කියන එකයි මම අහන්නේ.

ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන 4 වන වගන්තිවලින් සහතික වන ඡන්ද බලය කියන සංකල්පයට පටහැනිව යනවා. ඡන්ද බලය කියන්නේ ඡන්දය දෙන්න තියෙන බලය විතරක් නෙවෙයි. ඡන්ද බලය කියන්නේ, ජනතාව ඡන්දය පාවිච්චි කළේ කුමක් වෙනුවෙන් ද, ඒක ආරක්ෂා වෙන්න ඕනෑ. අවුරුදු පහක කාලයකට ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවක් පත් කරන්න ඡන්දය දීලා, ජනතාවගෙන් අහන්නෙ නැතුව ඒක අවුරුදු 6කට දික් කරන්න බෑ. ඡන්ද බලය උල්ලංඝණය වන ඕනෑ ම සංශෝධනයකට ජනමත විචාරණයක් අවශ්‍ය යි.

මම තර්ක කරන්නෙ ඊටත් එහා තැනක ඉඳන්. මම කියන්නේ, ජනමත විචාරණයක් කියන්නේ මොකක් ද? සියයට 50ක් සහ ඊට වඩා එක වැඩි ඡන්දය යි නේ අවශ්‍ය. ඒකෙන් පුළුවන් ද, ව්‍යවස්ථාවේ හරය නැති කරන්න? ව්‍යවස්ථාවේ පූර්විකාවේ තියෙනවා, අනුල්ලංඝණීය සංකල්පයක් තමයි, අපේ ව්‍යවස්ථාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් ජනතාව ඡන්දය දුන්න තත්ත්වයන් වෙනස් කරන්න නම් ජනතාවගෙන් අහන්න ඕනෙ. ඒ අනුව, දැන් ඉන්න අවුරුදු 5කට පත්වූ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය දික් කරන්න බැහැ.

ඊළඟට මේ ජනාධිපතිවරයා ඡන්දෙන් පත්වුණ ජනාධිපති කෙනෙකුත් නෙවෙයි. එයත් සැලකිල්ලට ගත යුතු යි. ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ඡන්දයෙන් පත්වුණ ජනාධිපතිවරයෙකුට පුළුවන්, අවුරුදු 4ක් ගිය ගමන් නැවත ජන වරමක් ඉල්ලන්න. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට ඒ බලයවත් නෑ. කලින් ජන වරමක් ඉල්ලන්නවත් බැරි මිනිහෙක් කොහොම ද කාලය දික් කර ගන්නෙ?’ – බීබීසී සිංහල