You are currently viewing ගංවතුර පාලනයට සැලසුම් නැතිකම ස්භාවිකද?

ගංවතුර පාලනයට සැලසුම් නැතිකම ස්භාවිකද?

-කේ. සංජීව-

කඳුවලින් බැහැලා පල්ලමට ආපු ගංගාවන් හතක සුවඳ පැතිරුණු නිල් බිමක ඉපදිලා ජීවිතේ අවුරුදු විස්සකටත් වඩා එහාට ඒ ගංගාවන් එක්ක හුරතල් වුණ අපි දැනගෙන හිටියා සිංහල අලුත් අවුරුදු දවසේ ඉදලා දවස් 45ක් ගියාට පස්සේ එන දවසේ අනිවාර්යයෙන් ගංවතුර එනවා කියලා. අපේ අම්මලා ඒකට කිව්වේ දවස් 45 මහා ගංවතුර කියලා. ඉතිං අලුත් අවුරුද්ද ඉවරවෙලා දවස් 40 යනකොටම ඇල්ල කෑගහන්න තියාගන්නකොට අපි කෙහෙල්කොට ඔරු හදන්න එහෙම නැත්තං උණගස් පාරු බඳින්න ලෑස්ති වෙනවා. ඒක තමයි අපේ ගංවතුර විනෝද සමය. ඕසෙට ගඟ දෙගොඩතලාගෙන යනකොට උඩින් පැනලා මැදට පීනලා ගසාබසාගෙන එන පොල් අල්ලගෙන ආයෙත් මෙගොඩට පීනන එක අපේ ගංවතුර ආතල්ලුවේ තවත් එක කොටසක් විතරක් වුණා. ප්‍රශ්නය මේ දේශගුණික දැනුවත්භාවය පාවිච්චි කරලා මිනිස්සු වාර්ෂිකව එන මේ ව්‍යසනයෙන් ගලවා ගන්න පාලකයෝ කටයුතු නොකිරීමයි. 

2003 ගංවතුර කියන්නේ රත්නපුර ගංවතුර ඉතිහාසයේ යෝධම ගංවතුර. ඒ ගංවතුර රත්නපුර මිනිස්සුන්ට කරපු හානිය අති විශාලයි. 2003 ගංවතුර ඉවර වෙලත් අපි ගංවතුර පාලනය ගැන කතා කළා. නොයේක් සැලසුම් හැදුවා. සංවාද සම්මන්ත්‍රන කළා. ඒත් අපිට අවුරුදු 20ක් ගිහිං ආයෙත් ගංවතුර ගැන කතාකරන්න ඉතුරුවෙලා. ඒකයි අපි කියන්නේ ගංවතුර ස්භාවිකයි. ව්‍යසනය නිරන්තරව චක්‍රයක් වගේ සිදුවීම දේශපාලනිකයි කියලා. 

අපි මුලින්ම කළුගඟ ගැන කතාකරමු. රත්නපුර නගරය දිහා ඔබ කුරුල්ලෙක් වගේ බැලුවොත් පෙනෙයි රත්නපුර නගරය පිහිටලා තියෙන විදිහ. කළුගඟ අයින දිගට තියෙන භූමි තීරුවක් තමයි රත්නපුර නගරය කියලා කියන්නේ. නගරය මැදත් පහත් වඟුරු බිම් තියෙනවා. ඒවා ගොඩක් තැන් දැන් අවිදිමත් ගොඩකිරීම්වලට ලක්වෙලා. මේනිසා ගංවතුර තත්ත්වයකදී ගඟ නගරයට මුදාහරින ජලය රඳවාගන්න කියලා තැනක් දැන් රත්නපුරේට නෑ. රත්නපුරේ පැරණි දුම්රිය ස්ටේෂම ඉදිරියෙන් පටන් අරගෙන වෙරළුප හරහා කොළඹ රත්නපුර මාර්ගයට සමාන්තරව කොළඹ දෙසට දුවන වගුරත් දැන් ගොඩක් තැන්වල ගොඩකරලා. ඒ දේශපාලන හයියෙන්. සමහර තැන් පතල් නිසා විනාශ වෙලා. ඒත් දේශපාලන හයියෙන්.

මේ සියලු තත්ත්වයන් එක්ක රජයේ ගොඩනැගිලි රත්නපුර නව නගරයට ගෙනයන ව්‍යාපෘතියක් තිබුණත් ඒකත් හරිහැටි ක්‍රියාත්මක වෙන බවක් පෙනෙන්නට නෑ. අනෙක් පැත්තෙන් යෝධ ගංවතුරකින් මේ විශාල නගරය ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් ඇත්තෙත් නෑ. හැමදාම කතාකරනවා විතරයි. රත්නපුර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ඉදලා ඇලපාත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට යනකොට කළුගඟට වේ ගඟ, හංගමුව ගඟ, නිරිඇල්ල ගඟ සහ ගලතුර ගඟ එකතුවෙන නිම්නය පොඩි ගංවතුරකටත් යටවෙනවා. රත්නපුර, නිවිතිගල, පැල්මඩුල්ල, රත්නපුර කියන මැතිවරණ ආසන හතරට තමයි මේ පහත් බිමේ වැඩි කොටසක් අහුවෙන්නේ. ඒත් මේ මිනිස්සු අවුරුද්දකට වතාවක් එන මේ අනිවාර්‍යය ගංවතුරෙන් බේරගන්න ක්‍රමයක් ගොඩනගා ගන්න අපිට තවමත් බැරිවෙලා තියෙනවා.

කළුගඟ වම් ඉවුරේ දිමියාව රද්දැල්ල කියන ප්‍රදේශ කියන්නේ ගංවතුරක් ඇවිත් දවස් දෙක තුනක් යනකම් ජලය බැස යන්නේ නැති අතිශ්‍ය පහත් ප්‍රදේශ. මෙහෙම ප්‍රදේශ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර වගේ පැතිවලත් තියෙනවා. පාලින්ද නුවර, මෝල්කාව, බදුරලියේ සමහර පහත්බිම් ජල ගැලීමෙන් දවස් 5ක් විතර යනකම් යටවෙලා තමයි තියෙන්නේ. කළුගඟේ විශාලම අතුගංගාව වුණ කුකුළේ ගඟ ජල විදුලි බලාගාරය නිසා අද මේ ගංවතුර ප්‍රශ්නය දෙගුණ වෙලා. මෝල්කාව පාලින්දනුවර විතරක් නෙවෙයි ඉඩංගොඩ කිරිඇල්ල හැරණියාවක වගේ කළු ගඟ මිටියාවතේ අනෙක් පැත්තේ පහත් බිම්වල තත්ත්වයත් එයම තමයි.

මෙහෙම කළු ගඟ ගංගා ද්‍රෝනියෙන් බෙන්තර ගඟ ගංගා ද්‍රෝනියට එනකොටත් තත්ත්වය මෙයම තමයි. ඊටපස්සේ ගිං ගඟේ ගංවතුරට නිරන්තරව අහුවෙන බද්දේගම වගේ තැනකට එනකොට මේ ගංවතුර කියන තත්ත්වය තවත් බරපතළයි. බද්දේගම පැරණි නගරය වගේම මාජුවාන කියන ප්‍රදේශය මේ ලිපිය ලියන පසුගිය ජුනි 5 වෙනිදා වෙනකොටත් යටවෙලා. මේ විදිහට හැම අවුරුද්දකම මේ මෝසම් වර්ෂා කාලයට මේ මිනිස්සුන්ගේ ජන ජීවිතය සතියකට විතර එකතැන නතර වෙනවා. මිනිස්සු ඒ සතිය ගෙවන්නේ ජලජ ජීවියෝ වගේ. මේක මොන කරුමක් ද? එහෙමයි දැන් ගොඩක් අය වාර්ෂිකව කියන්නේ.

ගිං ගඟ ගංගා නිම්නයෙන් නිල්වලා නිම්නයට එනකොට මේ ගංවතුර තත්ත්වය තවත් දරුණුයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගංවතුරට අසංවේදී ඉදිකිරීම් නිසා වගේම මාතර ලවන බාධකය නිසා මාතර තිහගොඩ මාලිම්බඩ වගේ පැති දැන් නිරන්තරව සුළු වර්ෂාවකටත් යටවෙන ජලජ ප්‍රදේශ වෙලා. මේ නිසා මාතර පිලදූව, මාලිම්බඩ, කත්දූව කටුවන්ගොඩ, අත්තුඩාව වගේ පැතිවල ගංවතුර තත්ත්වය පසුගිය ජුනි 5වෙනිදා වෙනකොටත් පහව ගිහිං නෑ. ගෙවල් යටවෙලා මිනිස්සු ඉන්නේ අවතැන් කඳවුරු අස්සේ නැත්තං නෑ ගෙවල්වල. ව්‍යාපාරික ස්ථාන ජලයෙන් යටවීම නිසා මිනිස්සුන්ට දෛනික රැකියාවත් අහිමිවෙලා.

අනෙක් පැත්තෙන් බස්නාහිර පළාතේ ගම්පහා නගරයේ පහත් බිම් පසුගිය ජුනි 5 වෙනිදා වෙනකොටත් යටවෙලා.

ගම්පහා කොටුගොඩ ගුරුගේ වත්ත ප්‍රදේශයේ නිවාස 100ක් විතර පහුගිය 4 වෙනිදා වෙනකොටත් ජලයෙන් යටවෙලා තමයි තිබුණේ. කැළණිමුල්ල අබතලේ පැත්තට එනකොටත් පහත් බිම්වල තත්ත්වය මෙයම තමයි. මෙහෙම බැලුවාම ගම්පහා දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔයේ ඉදලා මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ නිම්නයට එනකම් මේ ගංවතුර ප්‍රශ්නය උග්‍රවෙලා. ඒක වසරින් වසර වැඩිවෙනවා මිසක් අඩුවක් නෑ. දේශගුණික විපර්‍යාසයන් සහ අවිදිමත් සංවර්ධනය හේතුව වෙන්න පුලුවන්. අත්තනගලු ඔය, කැළණි ගඟ, කළුගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ කියන මේ ගංගා ද්‍රෝනි සංවර්ධනය වෙනකොට ඊට සමගාමීයව ගංවතුර පාලනය සඳහා අපිට තිරසර වැඩසටහනක් නෑ. ඒක තමයි මේ ව්‍යසනයට ප්‍රධානම හේතුව.

කොළඹ නගරය, කොලොන්නාව බත්තරමුල්ල වගේ ප්‍රදේශ ගංවතුරෙන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් යහපාලන සමයේ ක්‍රියාත්මක වුණා. ඒකේ ප්‍රථිපලයක් විදිහට තමයි එවක මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් ගංවතුර පාලනය සඳහා ව්‍යාපෘති හයක් ක්‍රියාත්මක වෙන්නේ. තව එවැනි ව්‍යාපෘති නවයක් ක්‍රියාත්මක කළ යුතුව තිබුණා. හැබැයි ඒ කිසි දෙයක් පහුගිය කාලයේ ක්‍රියාත්මක වුණේ නෑ. අනික් පැත්තෙන් ක්‍රියාත්මක වුණ ව්‍යාපෘති හය යටතේ ඉදිවුණ පොම්පාගාරවල ජල පොම්ප සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වෙලා මේ ගංවතුර තත්ත්වය පාලනය කරන්නට වැඩකරලා නෑ.

කොලොන්නාව වගේ ප්‍රදේශ උග්‍ර ගංවතුර තත්ත්වයකට යටත් වෙන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇති. කොහොමවුණත් කැළණි ගඟේ ඇතිවෙන විශාල ගංවතුර තත්ත්වයක් තුළදී කොළඹ නගරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් යෝජනා වෙලා තියෙන වේල්ලක් ඉදිකිරීමේ යෝජනාවනුත් ක්‍රියාත්මක කරන්න දේශපාලකයන් උත්සාහ ගන්න බවක් පේන්න නෑ. සුද්දෝ හදපු වේලලත් මිනිස්සු අල්ලගෙන පදිංචිවෙලා ඉන්නවා. අනික් පැත්තෙන් මේ මෝසම් කාලයේදී කළු ගඟ ගිං ගඟ නිල්වලා ගඟ මුහුදට අරගෙන එන යෝධ ජල කඳ දකුණට හරවලා හම්බන්තොට සහ අම්පාර ශුෂ්ක වියලිබව නැති කරන්නට සංවර්ධන වාරි යෝජනා ක්‍රමයක් ගැන දිගින් දිගටම සාකච්ඡා වුණත් ඒ යෝජනාවන් ක්‍රියාත්මක වෙන බවකුත් පේන්නට නෑ.

මෙන්න මේ තත්ත්වය අස්සේ මෝසම් වර්ෂාව ස්භාවික ක්‍රියාවලියක ප්‍රථිපලයක් වුණාට මේ ඛේදවාචකයෙන් මිනිස්සු මිය යෑම හෝ දේපල විනාශ වීම ස්භාවික නෑ. ඒක දේශපාලනිකයි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්තයා පසුගිය ජූනි 5 වෙනිදා පාර්ලිමේන්තුව අමතමින් පසුගිය මැයි මාසේ 15 වෙනිදා ඉදලා ජුනි මාසේ 4 දක්වා කාලය අස්සේ මේ ස්භාවික ආපදා තත්ත්වය හේතුවෙන් පුරවැසියෝ 30 දෙනෙක් මිය ගිහිං කියලා සංඛ්‍යා දත්තයන් ඉදිරිපත් කළා.

ඔහුට අනුව පූර්ණ නිවාස හානි 71යි. අර්ධ නිවාස හානි 9378යි.  කුඩා හා මධ්‍ය පරිමානයේ ව්‍යාපාරයන් 825ක් සහ යටිතල පහසුකම් පද්ධති 63ක් මේ ව්‍යසනය නිසා හානියට පත්වෙලා. මේ තත්ත්වය අස්සේ සුරක්ෂිත මධ්‍යස්ථාන 165ක පවුල් 3261ක සාමාජිකයන් 113028ක් රඳවලා ඉන්නවා. ඔහුට අනුව මෙවැනි ව්‍යසනයකින් පුද්ගලයෙක් මියගියාම දේහය පිළිබඳ අවසන් කටයුතු වෙනුවෙන් රුපියල් 25000ක් රජය දෙනවා. මේ මියගිය මිනිස්සු වැඩි හරියක් මිය ගිහිං තියෙන්නේ නාය යාම්වලට අහුවෙලා. නැත්තං ගංවතුරේ සැඬපහට හසුවෙලා. එහෙම බැලුවාම මේවා රාජ්‍යයට වළක්වාගන්නට තිබුණ මරණ කියලා කියන්න පුලුවන්. ඒකයි වැස්ස ස්භාවිකයි, වැස්සට හසුවෙලා මිනිස්සු මිය යෑම දේශපාලනිකයි කියලා අපි කියන්නේ.