You are currently viewing සමගිව රැස්ව මරාගනිමින් විසිර යෑම..!

සමගිව රැස්ව මරාගනිමින් විසිර යෑම..!

-කේ. සංජීව-

පසුගිය ජුනි 03 වෙනිදා පස්වරුවේ ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය. මේ කාලේ ආණ්ඩු පක්ෂය පවත්වන කැබිනට් රැස්වීම් වගේම අනෙකුත් මැති ඇමති රැස්වීම් සාමාන්‍යයෙන් උණුසුම් බව දැනගන්නට ලැබෙන්නේ ය. මේ උණුසුමට එක හේතුවක් වන්නේ මැතිවරණ උණුසුම ඉහළ යාම ය. පොහොට්ටුව අස්සේ ඇතිවෙලා තිබෙන නායකත්වය පිළිබඳ ප්‍රශ්නය සහ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ තමන්ට කුමක් වෙයිද කියා පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සිත්සතන් අස්සේ ඇතිවී තිබෙන නොසන්සුන්තාවය මෙම උණුසුමට තවත් හේතුවක් ය. මේ නිසාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් පැවැත්වෙන සාද සම්භාෂන පවා උද්වේගකර සහ උණුසුම් අවස්ථාවලින් පිරී ඇත.. හොඳම නිදර්ශනය පසුගිය දිනක බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති සාදයකදී රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් වුණ ලොහාන් රත්වත්තේ මහතා සහ ප්‍රසන්න රණවීර මහතා පැටලීම ය. මේ පැටලීමත් අවසානයේ ගුස්ති ඇල්ලීමක ආසන්නයටම ගියබව දැනගන්නට ලැබෙයි.

පසුගිය ජුනි 03 වෙනිදා ජනාධිපති ලේකම් කාර්‍යාලයේ පැවැති මෙම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමත් වඩාත්ම උණුසුම් වීම මෙම තත්ත්වය අස්සේ අපිට තේරුන් ගන්න අමාරු නැත. මෙම රැස්වීම තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ එකිනෙකා හා පැටලුනු වාදකරගත්ත නුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් රැස්වීමෙන් එළියට ඇවිත් හොඳටම ගහගත්තා පමණක් නොව මේ ගුස්ති ඇල්ලීම කෙළවර වුණේ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රතිකාර වෙනුවෙන් යුද්ධ හමුදා රෝහලට ඇතුලත් කිරීමෙන් ය. මේ සිදුවීම ගැන නොයේක් මාධ්‍ය වාර්තාවන් යන අතරේ ඇත්තටම මේ අවස්ථාවේ සිදුවුණේ කුමක්ද යන්න සොයලා බලන්නට අප කටයුතු කළෙමු. අපි මුලින්ම කතා කළා ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුත් නිලුපුල් රාජපක්ෂ මහතාට ය.

‘තාත්තා තමයි නුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති. ඒ වගේම යටිනුවර ආසනයේ සංවර්ධන කමිටුවෙත් සභාපති විදිහට හිටියේ තාත්තා තමයි. ඒත් පහුගිය දවසක තාත්තගෙන් ඒ ධුරය අයින් කරලා ඒක මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට දීලා තිබුණා. යටිනුවර ආසනයේ සංවර්ධන කමිටු සභාපති විදිහට ඉන්නකොට තාත්තට පාරවල් සංවර්ධනය කරන්න රුපියල් මිලියන 55ක් අනුමත වෙලා තිබුණා, මහින්දානන්ද මහත්තයා ඒ තනතුරට ආවා විතරයි ඒක නතර කරලා තියෙනවා. තාත්තා මේ සල්ලි නතර කිරීම ගැන තමයි මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී අහලා තියෙන්නේ. ඒක එතනින් ඉවරයි. රැස්වීමෙන් එළියට ආපු ගමන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා තාත්තගේ කොලර් එකෙන් අල්ලලා අතින් පයින් හොඳටම ගහලා තියෙනවා. යදාමිනී ගුණවර්ධන මන්ත්‍රීවරයාත් මේක බේරන්න උත්සාහ කරලා තියෙනවා. කොහොමහරි මේ ප්‍රහාරය නිසා තාත්තා බිම වැටිලා තිබෙනවා.

මේ ප්‍රහාරය නිසා බිමවැටුණු තාත්තගේ දකුණු කකුලේ දණහිසේ ඉදලා ඉණගාවට එනකම් කොටස කැඩිලා බිඳිලා ගිහිං තියෙනවා. තාත්තා යුද්ධ හමුදා රෝහලට ඇතුල් කළාට පස්සේ පසුගිය 4වෙනිදා සර්ජරි එකක් කළා. ඒ සර්ජරි එක කරලා උඩින් යටින් යකඩ ඇණ දාලා ප්ලේට් එකක් දාලා කකුල හදලා තියෙනවා මේ වෙනකොට‘.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමක තීන්දු තීරණ ජනාධිපතිවරයා ඉදිරියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රශ්න කිරීම කකුල කඩාදමන්න තරම් දෙයක්ද? පාර්ලිමේන්තු සාම්ප්‍රදාය යනු කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද? සමගිව රැස්වීම සමගිව විසිරීම ගැන නිරන්තරව බන දේශනා කරන ජනාධිපතිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක් අවසනායේ එම රැස්වීමේදී ප්‍රශ්නයක් ඇසූ මන්ත්‍රීවරයෙක් ගේ කකුල කඩාදමනවා නම් එහි පවතින දසරාජ ධර්මය කුමක්ද?

ඇත්තටම ගැහුවද? මොකද්ද සිද්ධවුණේ යන්න දැනගැනීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ දූරකථනයට ඇමතුවත් ඔහුව සම්බන්ධ කරගන්න නොහැකිවිය. එහෙත් ඔහු ලංකාදීප පුවත්පට අදහස් දක්වමි ප්‍රකාශ කර තිබුණේ තමන් රැස්වීමෙන් එළියට ආ විගස ‘උඹ මට කිව්වේ මොකක්දැයි‘ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කොලරයෙන් අල්ලා විමසූ බව ය. ඒ අවස්ථාවේ පොළොන්නරුවේ ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා පැමිණ ගහන්න එපා යැයි කියා ගුණතිලක රාජපක්ෂ මහතා පසුපසට අදින විට ඒ දෙදෙනාම එක ගොඩේ ඇද වැටුණු බව ය. මේ ප්‍රකාශය නිවැරදි නම් මේ කොලරයෙන් ඇල්ලීම සහ බේරාගැනීමට පිටුපසට ඇදීම මාරාන්තික ඇදවැටීමකට හේතුව වී ඇත.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පසුව එහිදී අසනු ලැබූ ප්‍රශ්නයකට රැස්වීම අහවරවී එළියට පැමිණි පසුව ප්‍රහාරයක් එල්ලකිරීම විග්‍රහ කරගන්නේ කුමන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයට අනුවද? ප්‍රශ්නයක් ය. මහින්දානන්ද අලුත්ගමගේ වැනි මන්ත්‍රීවරුන් ජේෂ්ඨත්වයෙන් තමන්ට වඩා පහළ තමන්ගේ දිස්ත්‍රික්කයේම මන්ත්‍රීවරයෙක් ඉදිරියේ හැසිරෙන්නේ මෙසේ නම් තමන්ට ඡන්දය දුන් සාමාන්‍ය පුරවැසියෙක් ඉදිරියේදී කුමනාකාරයෙන් හැසිරෙනු ඇතිද? සිතාබැලිය යුතුය..!

මෙම සිදුවීමට පසුව පසුගිය ජුනි 5 වෙනිදා වනවිට ප්‍රහාරයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙන්ම ඔහුගේ පුතාද කොටුව පොලීසියට සිදුවීම පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කරන්නට කටයුතු කර තිබුණි. සමාන්‍යයෙන් නම් යුද්ධ හමුදා රෝහල් පොලීසියද මේ සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන්නට ඕනෑ ය. මෙවැනි ප්‍රහාරයකට හෝ අනතුරකට ලක්වී පුද්ගලයෙක් රෝහල් ගතකළ විට සාමාන්‍යයෙන් පොලීසිය ක්‍රියාත්මක වන පිළිවෙලක් ඇත. ඒ පිළිවෙලට අනුව නම් එසේ විය යුතුය. එහෙත් පසුගිය ජුනි 5 වෙනිදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරන්නේ මෙම ගැටුමට අදාළව එක් පාර්ශවයකින් පැමිණි පොලිස් පැමිණිල්ලකට අනුව කොටුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් අනෙක් පාර්ශවයේ තොරතුරු නැතිබැවින් තවමත් යමක් හරිහැටි ප්‍රකාශ කරන්නට නොහැකි බවත් ය.

මෙහිදී ඔහු නොකියා කියන්නේ මහින්දානන්ද පාර්ශවයද පොලීසියට පැමිණ පැමිණිලි කළ යුතු බවද? යම් අපරාධයක් වූ පසුව එහි චූදිතයා පොලීසියට පැමිණ පැමිණිලි කරන සාම්ප්‍රදායක් නැත. අනෙක් පැත්තෙන් ඔහු පොලීසියට පැමිණෙන තෙක් බලාසිටිමේ ක්‍රමවේදයක් ද නැත. පසුගිය ජූනි 5 වෙනිදා දහවල් වනවිටත් නිලුපුල් රාජපක්ෂ මහතා කියන ආකාරයට කොටුව පොලීසිය මේ පිළිබඳව ප්‍රහාරයට ලක්වූ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නට කටයුතු කර නැත. පොලීසිය පැත්තෙන් මේ ප්‍රමාදයට හේතුව ලෙස කරුණු දක්වන්නේ මන්ත්‍රීවරයා හදිස්සි ශල්‍යකර්මයකට ලක්වීම සහ ඉන්පසුව දැඩි සත්කාර ඒකකයට මන්ත්‍රීවරයා ඇතුල් කිරීම නිසා ප්‍රකාශයක් සටහන් කරගැනීම ප්‍රමාද වූ බවය.

එහෙත් බැලූ බැල්මට ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා රෝහල් ගතකර තිබෙන පසුබිමක සහ ඔහුට සැත්කමක් සිදුකර තිබෙන පසුබිමක ප්‍රහාරය එල්ල කළ බවට සැකකරන පුද්ගලයා අත්අඩංගුවට ගත යුතුය. අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීම පොලීසියේ සාමාන්‍ය ක්‍රමයයි. එහෙත් මෙහිදී ඒ සාමාන්‍ය ක්‍රියාවලිය සිදුවන බවක් පෙනෙන්නට නැත. එයට හේතුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ළඟම අනුග්‍රාහකයෙක් ආධාරකරුවෙක් වීම ද?.

අප දන්නා පරිදි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා යනු මේ මොහොතේ පොහොට්ටුව පාර්ශවයෙන් ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයා ය. ඒ අනුව එවැනි පුද්ගලයෙක් ඉදිරියේ නීතිය නැමෙන්නට ඉඩ ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් කරන ප්‍රධාන ඉල්ලීම වන්නේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ සීසීටීවී දර්ශනයන් නරඹා හෝ ගුණතිලක රාජපක්ෂ මහතාට සාධාරණය ඉටුකිරීමට පොලීසිය කටයුතු කළ යුතු බවය. ඒ ඉල්ලීම තුළම නීතිය මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පැත්තේ සිට බව ප්‍රකාශ වෙයි. ඒ අනුව ආණ්ඩු පක්ෂයේම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් යුක්තිය ඉල්ලාසිටින වින්දිතයෙක් බවට පත්වී ඇත..!