You are currently viewing පාවෙන බලාගාර ව්‍යාපෘතියට ගොවියෝ විරුද්ධ වීම හොඳ දෙයක් ද?

පාවෙන බලාගාර ව්‍යාපෘතියට ගොවියෝ විරුද්ධ වීම හොඳ දෙයක් ද?

කේ. සංජීව

මහවැලිය වළව කලාපයට අයත් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් තලය මත සහ කිරිඉබ්බන් ආර වැව් තලය මත ඉදිවෙමින් තිබෙන (80%ක් වැඩ අවසන්) පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘතීන් නිසා තම මානව හිමිකම් කඩවන බව ප්‍රකාශ කරමින් පසුගිය මැයි 16 වෙනිදා වළව ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මොකද්ද මේ බලාගාර ව්‍යාපෘතීය? අප ඒ පිළිබඳව වලව කලාපයේ ගොවි නායකයන්ගෙන් කරුණු විමසන්නට කටයුතු කළෙමු.

සුනිත්‍ය බලශක්ති අධිකාරිය කොරියානු සමාගමක් සමග එකතුව මෙම වැව් තලයන් දෙක මත පාවෙන සූර්‍ය බලාගාරයන් දෙකක් නියමු ව්‍යාපෘතියක් ලෙස මේවනවිට ඉදිකිරීම අරඹා ඇති අතර වැව් දෙක ආශ්‍රිත ජීවත් වෙන මිනිසුන් ප්‍රකාශ කරන්නේ මෙම ව්‍යාපෘතීන් දෙකෙහිම වැඩ 80%ක් පමණ අවසන්ව ඇති බවය. මෙම ව්‍යාපෘතිය සඳහා එක් වැවකින් ජලතලය මත අක්කර 2 1/2ක වපසරියක් සහ ගොඩබිමින් පර්චස් 40ක බිම් කොටසක් දැනට වෙන්කරගෙන ඇත.

මෙම ව්‍යාපෘතීන් දෙක මගින් මෙගා වොට් එකක විදුලි බලයක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්නට අපේක්ෂා කරන බවත් මෙම නියමු ව්‍යාපෘතීන් සාර්ථක වුවහොත් දිවයිනේ අනෙකුත් වැව් ජල තලයන් වලද මෙවැනි බලාගාර ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන්නට සුනිත්‍ය බල ශක්ති අධිකාරිය අදහස් කරන බවත් ප්‍රකාශ වෙයි. බැලූ බැල්මට මෙවැනි බලශක්ති ව්‍යාපෘතීන් හොඳය. එහෙත් මෙවැනි ව්‍යාපෘතීන් ක්‍රියාවේ යොදවන්නට ප්‍රථම මහජන අදහස් විමසිය යුතුය. වැවක් යනු ජන ජීවිතය හා බැඳුන තැනක් ය. එහෙත් එසේ මහජන අදහස් විමසීම හෝ පාරිසරික ඇගයුම් වාර්තාවක් සකස් කිරීම හෝ කිසිදෙයක් මේ ව්‍යාපෘතීන් තුළ සිදුව නැත.

‘සාමාන්‍යයෙන් වැවක පිටාර මට්ටමේ ඉදලා මීටර් 100ක් ඇතුලට යනකොට මොකක් හෝ දෙයක් කරනවා නම් අනිවාර්‍යයෙන් පාරිසරික ඇගයීමක් කරන්න ඕනෑ. ඒත් මේ වැව් දෙකෙන් එකම වැවකට අදාළවවත් එහෙම දෙයක් කරලා නෑ. අනික මේ වැව් දෙක ආශ්‍රිතව විශාල ගොවි ප්‍රජාවක් ජීවත් වෙනවා. සමනැලින් එන වතුර මේ වැව් දෙක හරහා ගිහිං තමයි මුලු හම්බන්තොටටම වතුර දෙන්නේ වගාවට සහ බීමට. එහෙම තත්ත්වයක් තිබියදී ගොවීන්ගෙන් ධීවරයන්ගෙන් කිසිම දෙයක් අහන්නේ නැතුව මේවගේ ව්‍යාපෘතීන් කරන්නේ කොහොමද? අනික් පැත්තෙන් මේ ව්‍යාපෘතීන් දෙක සාර්ථක වුණා කියමු එතකොට වැවේ විශාලම කොටසක් වැහෙන්න බලාගාර ගහනවාද? දැන් මේ වැව්වල හිමිකාරීත්වය තියෙන්නේ මහවැලියට සහ එයින් ජීවත්වෙන ගොවියන්ට, වතුර බොන ජනතාවට, මේ නව තත්ත්වය එක්ක මේ වැව්වල පාලනය විදුලි බල මණ්ඩලය තමන් සතු කරගන්න ද මේ හදන්නේ?‘

මෙම ව්‍යාපෘතීන් නිසා විපතට පත්වී සිටින ගොවියන් සහ ධීවරයන් එකතුකරමින් මෙම ව්‍යාපෘතීන්ට විරුද්ධව හඬ නඟමින් සිටින සමාජ ක්‍රියාකාරික රවීන්ද්‍ර ලියනගේ අනිද්දා වෙත තම හඬ අවධි කළේ එසේය.

සමනැල වැවෙන් එන වතුර කඳ උඩ වළව ජලශයට පැමිණ එම ජල තලය වළව වම් ඉවුර හරහා ගොස් කිරි වැවට නැතිනම් කිරිඉබ්බන් ආර වැවට ගොස් එතනින් සූරිය වැව, මයුරපුර හරහා හම්බන්තොට ඈත ඉමටම ගමන් කරවන්නේ ගොවි ජනතාවට කුඹුරු කරන්නට ය. පානීය ජලය ලබාගන්නට ය. උඩ වළව දකුණ ඉවුරෙන් ගලන ජල තලය මේ ආකාරයටම චන්ද්‍රිකා වැවට පැමිණ එතනින් මුරවැසිහේන, අඟුණුකොළපැලැස්ස, තංගල්ල රන්න දක්වාම ගමන් කරවන්නේද ගොවිතැන වෙනුවෙන් ජලය දෙන්නට ය. පානීය ජලය සපයන්නට ය. මේ භූමි වපසරිය දෙස ඔබ ටිකක් විමසිලිමත්ව බැලුවහොත් මේ ජලාශ දෙකෙහි තිබෙන වටිනාකම ඔබට පසක් වෙනු ඇත.

චන්ද්‍රිකා වැවට අදාළව පමණක් ප්‍රජා ජල සමිති කිහිපයක් ඇති අතර එමගින් වතුර බිල් ලබන පාරිභෝගිකයන් 3000ක් පමණ සිටින බව වාර්තා වෙයි. බිල් 3000ක් කැඩෙනවා යනු පුද්ගලයින් 15000ත් 20000ත් අතර ප්‍රමානයක් ජලය පානය කරන බව සිතිය හැකිය. ඇඹිලිපිටිය නගරයට ද පානීය ජලය සැපයීම සිදුකරන්නේ චන්ද්‍රිකා වැවෙන් ලබාගන්නා දියවරින් ය. මේ තත්ත්වය තුළ ජනතාව දැනුවත් නොකර මේ කරන දේවල් නිසා ජනතාව නොසන්සුන්තාවයට පත්වන්නට පුලුවන් ය.

මේ  ව්‍යාපෘතීන් දෙක නිසා වෙන්නට පුලුවන් කුමක්ද? අනිද්දා මුරවැසිහේන ප්‍රදේශයේ ජීවත්වෙන එස්.ඒ චමින්ද මහතාට කතා කළේය. ඔහු ප්‍රදේශයේ ගොවි සමිති 15ක ප්‍රධානියා ය.

‘චන්ද්‍රිකා වැව ගත්තොත් අක්කර අඩි 42000ක් වගේ තියෙනවා. චන්ද්‍රිකා වැවෙන් පවුල් ලක්ෂයක් විතර ජීවත් වෙනවා. පවුල් 60000ක් විතර චන්ද්‍රිකා වැවේ වතුරෙන් ගොවිතැන් කටයුතු කරනවා. මේ ව්‍යාපෘතිය කරන්නේ ඝණ මීටර් 1 කොන්ක්‍රීට් කුට්ටි වැවට බස්සලා. ඒ කියන්නේ වැවේ වතුර ධාරිතාවය අඩුවෙනවා මේ තත්ත්වය එක්ක. මේ ව්‍යාපෘතීන් සාර්ථක වුණොත් මුලු වැවේම මෙයාලා සෝලා පැනල් ගහන්න පුලුවන්, එහෙම වුණොත් අපිට මොකද්ද වෙන්නේ?

පහුගිය නියඟය වෙලාවේ උඩවළව හිඳුනහම හරිනම් සමනැලින් වතුර දෙන්න ඕනෑ, ගිවිසුමේ තියෙන්නේ එහෙමයි, ඒත් විදුලි බල මණ්ඩලය මොකද්ද කළේ? සමනැල වැව හදනකොට අපිට කිව්වේ වළවේ ජලාශය පුරවන්න ටැංකියක් තමයි ඔය හදන්නේ කියලා, ඒත් අන්තිමට ඒක විදුලි බල මණ්ඩලයට අයිතිවුණා, ඔවුන් අපිට වතුර දුන්නේ නෑ. වගාවන් මැරිලා ගියා. මේකෙනුත් වෙන්නේ මේ වැව් විදුලි බල මණ්ඩලයේ ග්‍රහනයට අහුවෙන එක. ඒකට අපි බයයි. ඒ නිසාම මේ ව්‍යාපෘතියට අපි වළව කලාපයේ ගොවියෝ එක හඬින් විරුද්ධයි.‘

මේ ජනතාව කියන ආකාරයට මේ ව්‍යාපෘතීන් දෙකටම ප්‍රාදේශීය ලේකම්වරුන් සිය අවසරය ලබාදී ඇත. මහවැලියේ වගකිවයුතු නිලධාරියා වන ආර්පීඑම් (ඉන්ජිනේරු නිශාන්ත ගුණසේකර) මහත්තයා ද මේ ව්‍යාපෘතීන් දෙක සඳහා සිය අනුමැතිය ලබාදී ඇත. එහෙත් ගොවි නායකයන් කියන්නේ ඔවුන්ට එසේ අවසර ලබාදීම සඳහා නීත්‍යානුකූල බලයක් නැති බවය. මෙම ව්‍යාපෘතීන් දෙක නිසාම මෙම ජලාශ දෙක තුළ ධීවර රැකියාව කරන පවුල් 2000කට ආසන්න ප්‍රමානයකට උදාවී තිබෙන්නේ සිය ජීවනෝපාය ගැන අවිනිස්චිත තත්ත්වයක් ය.

‘කිරිවැව ගත්තොත් මේ වැව යටතේ ගොවි සංවිධාන 34ක් තිබෙනවා. ධීවර සමිති 2කක් තිබෙනවා. අපි කාගෙන්වත් අහලා නෙවෙයි මේක පටන් ගත්තේ. අපිට කිසිම දෙයක් කිව්වේ නෑ. මේවා ප්‍රදේශීය ලේකම්ට අයිති වැව් නෙවෙයි, අපි දන්න තරමට මේවා අයිති වෙන්නේ මහවැලියට. කිරිවැව ගත්තොත් සූරියවැව මයුරපුර ගොවි පවුල් 8000ක් විතර කුඹුරු කරන්නේ මේ ජලාශය දෙන වතුරෙන්. මේ ව්‍යාපෘතීන් නිසා ඇලුමිනියම් ජලාශයට එකතුවෙනවා. ඊළඟට හිරු එළිය වැවට වැටෙන්නේ නැතිව යනවා. එතකොට මේකේ ජීවත් වෙන මසුන්ට මොකද්ද වෙන්නේ? ඊළඟට මේ ජලාශවලින් වතුර බොන අපිට ඇලුමිනියම් ප්ලාස්ටික් අංශු එක්ක තමයි වතුර බොන්න වෙන්නේ. මේ කිසි දෙයක් සුනිත්‍ය බලශක්ති අධිකාරිය හිතලා බලලා නෑ කියලා තමයි අපි කියන්නේ. ජල තලයක් බදු දෙන්න ලංකාවේ මොකද්ද තියෙන නීතිය කියලා තමයි අපි රජයෙන් අහන්නේ?‘

මෙසේ අනිද්දා සමග සිය අදහස් බෙදාගත්තේ සූරියවැව මුදිත ගොවි සංවිධානයේ සභාපති ඩොනල්ඩ් කුමානායක මහතා ය. ඔවුන් සියල්ලෝම මේ වනවිට එකමිටට සංවිධානය වෙමින් සිටින්නේ මේ ව්‍යාපෘතීන් දෙකට විරුද්ධව බරපතළ විරෝධයක් අවුලුවාලන්නට ය.

සුනිත්‍ය බල ශක්ති අධිකාරිය පැත්තෙන් දැනගන්නට ලැබෙන්නේ පූනගරි ප්‍රදේශයේ ඉදිකරන්නට යෝජිත බලාගාර ව්‍යාපෘතියද මේ නියමු ව්‍යාපෘතියේ තත්ත්වය මත තීරණය වෙනු ඇති බවය. ලංකාවේ බලශක්ති ක්ෂ්‍රේතය දියුණු කරන්නට නම් මෙවැනි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළ යුතු බව අපගේත් අදහසයි. එහෙත් මෙවැනි ව්‍යාපෘතීන් සඳහා ස්ථාන තෝරාගැනීමේදී රාජ්‍ය නිළධාරීන්ට මීට වඩා බුද්ධියක් තිබුණේ නම් ගැටුම් අවම වපසරියක් තුළ ව්‍යාපෘතීන් සාර්ථක කරගන්නට ඉඩ තිබුණි. ගොවිතැන ද ප්‍රමුඛ බලශක්තිය ද ප්‍රමුඛ යන්න මෙහිදී රජය සලකා බැලිය යුතුය.
වැව් ගැන සලකා බැලීමේදී නම් ගොවිතැන සහ පානීය ජලය ප්‍රමුඛ බව අපගේ අදහසයි. ඒ මන්ද වැව් නැති වුණත් මෙවැනි බලාගාර ව්‍යාපෘතීන් සඳහා සුදුසු ස්ථාන ලංකාව තුළ ඕනෑ තරම් සොයාගන්නට පුලුවන් බැවින් ය.