You are currently viewing රැකියාව ලෙස මරණය තෝරා ගැනීමේ කතාව..!

රැකියාව ලෙස මරණය තෝරා ගැනීමේ කතාව..!

කේ. සංජීව

යුක්‍රේනය – රුසියානු යුද්ධය ආරම්භ වන්නේ 2022 පෙබරවාරි 24 වෙනිදාය. යුක්‍රේන – රුසියා යුධ ආතතියේ ඉතිහාසය 2014 තරම් ඈතකට ගියත් රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කිරීම සඳහා අඩියක් ඉදිරියට තබන්නේ 2024 පෙබරවාරි 24 දා ය. මෙම යුද්ධය ආරම්භ වූ මොහොතේදී රුසියාව ඉතාමත් ඉක්මනින් යුක්‍රේනය යටත් කරගනීවියැයි බොහෝ දෙනෙක් සිතූවත් යුක්‍රේනයට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කලාපයෙන් යුධ ආධාරයන් ලැබීමත් සමග මේ අර්බුදය දිග්ගැස්සුන යුද්ධයක් බවට පෙරළුනි. අද වනවිට මෙම යුද්ධය නිසා රුසියානු සෙබළුන් අවම වශයෙන් ලක්ෂ 5ක් පමණ මරණයට පත්වී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරයි. මෙම ගණන් මිනුම් තවත් ඉහළ යා හැකිය. යුක්‍රේන සොල්දාදුවන් ද එවැනිම ප්‍රමානයක් මියගොස් ඇත. තුවාල ලැබූවන් සහ අතුරුදන් වූවන් ගණන් බැලූ විට තත්ත්වය තවත් බිහිසුනුය.

රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කරන්නට පටන් ගත් මුල් කාලයේම යුක්‍රේනයට ආදරේ කරන රුසියන් විරෝධී සමහර විදේශිකයන් සහ කණ්ඩායම් යුක්‍රේනයට පැමිණ යුක්‍රේන හමුදාව සමග එකතුව රුසියානු හමුදාවට විරුද්ධව සටන් කරන්නට පටන් ගත් අතර පසුව එම සංක්‍රමනයන් මුදල් ඉපයීම වෙනුවෙන් සිදුවන සංක්‍රමනයන් බවට පරිවර්තනය විය. රුසියානු යුද්ධ පෙරමුණ තුළද වැග්නර් වැනි කුලී හේවායින් කාර්‍යභාරය විශාල විය. කෙසේවුණත් මෙම යුද්ධය රුසියාව නොසිතූ කොනකට ඇදීයනවිට රුසියානු රාජ්‍යය කුලී හේවායන්ගේ සහාය තම යුද්ධය වෙත ලබාගැනීම සඳහා රටතුළ සිය නීතිමය තත්ත්වයන් ගේ ද වෙනසක් සිදුකර ඇත. ඒ අනුව රැකියාව සඳහා යුද්ධය තෝරාගන්නා විදේශිකයන් හට සිය රටට ඇතුල් වෙන්නට රුසියාව පුලුල් අවස්ථා සලසා දී ඇත. මෙම තත්ත්වය තුළ අද වනවිට මෙම යුද්ධය ලෝකයේ අඩු ආදායාම් රටවල්වලට විදෙස් විනිමය ගලන කෙම්බිමක් වී ඇත.

යුක්‍රේනය වෙනුවෙන් සටන් කළ ශ්‍රී ලාංකිකයෙක් වන කපිතාන් රනීෂ් හේවගේ ගේ මරණය සමග අනාවරණය වුණේ යුක්‍රේනය තුළ රුසියාවට විරුද්ධව යුද්ධ කරන හමුදා කණ්ඩායම් තුළ ශ්‍රී ලාංකිකයන් ද සිටින බවය. මොවුන් ද රැකියාව සඳහා යුද්ධය තෝරාගත් පිරිස් ය. මේ බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා හමුදාව තුළ පසුගිය යුද්ධ කාලයේදී රැකියාව කළ අය වෙති. විශේෂ බලකායේ හිටපු දක්ෂ සොල්දාඳුවන් මෙන්ම කොමාන්ඩෝ බලකායේ කටයුතු කළ සොල්දාඳුවන්ද මෙම සටන්කාමීන් අතර බහුතරය බව දැනගන්නට ලැබෙයි. මෙසේ රැකියාව සඳහා යුද්ධය තෝරාගෙන යුක්‍රේනයට ගිය විශ්‍රාමික සෙබළුන් එහෙට ගෙන්වා ගැනීමේ මූලිකම කාර්‍යයන් මියගිය කපිතාන් රනීෂ් හේවගේ විසින් සිදුකර ඇතැයි මේ වනවිට කරුණු හෙළිව ඇත. ඒ අනුව රනීෂ් හේවගේ මහතාගේ ජොබ් එක ඊටපසුව විදේශ රැකියා ඒජන්සිකරුවන් අතට පත්ව ඇත. එය එසේ වුණත් යුද්ධයක් පවතින රටකට මෙසේ රැකියා සඳහා පුද්ගලයින් යවන්නට නීතිමය හැකියාවක් නැත. ඒ අනුව මෙහිදී සිදුව ඇත්තේ මිනිස් ජාවාරමයි.

අප අද වනවිට මෙම යුක්‍රේනයට ගිය හමුදා සෙබළුන්ට වඩා රුසියාව වෙත යුද්ධ කරන්නට ගිය හමුදා සෙබළුන් ගැන කතාකරමින් සිටියි. ඒ බොහෝ දෙනෙක් මියගොස් ඇති හෝ අතුරුදන් ව ඇති නිසා ය. ඒ අනුව දිනෙන් දින මේ මිනිස් ජාවාරමේ ඛේදනීය තත්ත්වය රට හමුවේ අනාවරණය වෙමින් තිබෙයි. මාධ්‍යන් ද දැන් දැන් වැඩි වශයෙන් මේ යුද්ධ අඩවියෙන් පලා ආ ශ්‍රී ලාංකික කුලී සොල්දාඳුවන්ගේ වීර වික්‍රමයන් ප්‍රචාරය කරමින් සිටියි. මේ අනුව අනාවරණය වන්නේ මේ වනවිට 600-1000ත් අතර ශ්‍රී ලාංකික පුරවැසියන් ප්‍රමානයක් (බොහෝ විට ඊටත් වඩා විශාල සංඛ්‍යාවක්) දැන හෝ නොදැන යුක්‍රේන – රුසියා යුද්ධයට හවුල් වී ඇති බවයි. මේ ප්‍රමානයෙන් වැඩි පිරිසක් සිටින්නේ රුසියාව පැත්තේය. ඔවුන් යුක්‍රේනයට විරුද්ධව ඉදිරිපෙළ සිට සටන් කරමින් සිටින බව වාර්තා වෙයි.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත තෙන්නකෝන් මහතාට අනුව යුද්ධ කරන්නට රුසියාවට ගිය ශ්‍රී ලාංකිකයන්ගෙන් 16 දෙනෙක් මේවනවිට මරණයට පත්වී ඇත. ඔහු ප්‍රකාශ කරන ආකාරයට ආරක්ෂක අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් පැමිණිලි 288ක් ලැබී ඇත. ඔහුට අනුව විශාල පිරිසක් තුවාල වී රෝහල් තුළ සිටියි. තවත් පිරිසක් අතුරුදන් වී ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටින්නේ තමන් රුසියානු තානාපතිවරයා හමුවී මේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බවය. ඒ අනුව රුසියානු හමුදාවට එකතුව සටන් කරන ශ්‍රී ලාංකිකයන්ගේ සම්පූණ නම් ලැයිස්තුවක් ලබාදෙන්න යැයි ඔහු තානාපතිවරයාගෙන් ඉල්ලා ඇත. තුවාල වී රෝහල් තුළ සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා දෙන ලෙසත්, මරණයට පත්වූ පුද්ගයන්ගේ භෂ්මාවාශේෂයන් හෝ ලබාදෙන්නට කටයුතු කරන ලෙසත් ඔහු රුසියානු රාජ්‍යයෙන් මෙහිදී ඉල්ලා ඇත. ඒ අනුව රුසියානු රජයේ අනුදැනුම මත මේ සංක්‍රමනයන් සිදුවන බව පැහැදිලි ය.

මෙම සංවාදය මෙසේ යනවිට හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා ප්‍රකාශ කරන්නේ තමන්හට බලය ලබාදෙන්නේ නම් තමන්ට රුසියාවට ගොස් සිටින සියළුම විශ්‍රාමික සොල්දාඳුවන් ශ්‍රී ලංකාව වෙත වහාම රැගෙන ආ හැකි බවය.

මේ පිළිබඳව පරීක්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආනාවරණය වී තිබෙන කරුණු අනුව පෙනෙන්නේ රුසියාව තම රටේ නීතියට අනුව විදේශිකයන් හමුදා සේවයට යොදාගත්තත් මෙරටින් මෙම ශ්‍රමිකයන් සැපයීමේ කොන්ත්‍රාත්තුව භාරගත් පුද්ගලයන් එය නීතියට පිටතින් ජාවාරමක් සේ කරගෙන ගොස් ඇති බවය. ඒ අනුව ඔවුන් ඇත්ත සඟවමින් කඳවුරු තුළ සේවයක කරන්න පමණක් යැ‍යි ප්‍රකාශ කරමින් පුද්ගලයන් රට පටවා ඇත.

විශාල යුද්ධයක් පවතින අවස්ථාවක යුද්ධ කඳවුරු තුළ සේවය කරන්න යැයි ප්‍රකාශ කරන විටම එහි යුද්ධයට යවනවා යන්න ගැබ් වී ඇත. ඒ අනුව මේ විදේශ ගතවීම තුළ ජීවිත අවධානමක් ඇති බව ඕනෑම කෙනෙක්ට තේරුන් යා යුතුය. මෙසේ යුද්ධ කරන්නට රුසියාව වෙත ගොස් අමාරුවෙන් ජීවිතය බේරාගෙන ලංකාවට පැමිණි සමහර පුද්ගලයන් ප්‍රකාශ කරන්නේ තමන් යුද්ධයට යොදවන බව දැනගෙනම එහි ගිය බවය.

ඒ මේ රැකියාව පෙන්නූ අය (ජාවාරමුන්) දෙන්නට පොරොන්දු වූ විශාල පඩිය නිසාය. සුව පහසුකම් නිසාය. සොච්චම් පඩියකට ලංකාවේ වැඩ කරනවාට වඩා විශාල පඩියකට රුසියාවේ වැඩකර මියගියත් ඉන්න අයට හෝ හොඳක් වෙන බව බොහෝ දෙනෙක් සිතා ඇත. එසේ සිතන්නට තවත් හේතුවක් ඇත. යම් හෙයකින් යුද්ධය අතර තුර ශ්‍රමිකයෙක් ලෙස මිය ගියහොත් ඔහු වෙනුවෙන් ජීවත්ව සිටින අයට විශාල වන්දියක් හිමිවෙන බව ජාවාරම්කාරයින් ප්‍රකාශ කර ඇත. දැන් ඔබට ලංකාවේ වර්තමාන තත්ත්වය සහ මිනිසුන් පත්වී සිටින තත්ත්වය පිළිබඳව කරුණු වැටහී යා යුතුය.

වසරක ගිවිසුමක් සඳහා රුපියල් ලක්ෂ 18ක්, පවුලටම රුසියානු පුරවැසිභාවය, පදිංචිය සඳහා ශාන්ත පිටර්ස්බර්ග් හි ඉඩම් සහ නිවාස, මසකට රුපියල් ලක්ෂ 7කට වඩා වැඩි වැටුපක් යන මූලික දැනුවත් කිරීම හරහා ජාවාරමුන් හිටපු හමුදා සාමාජිකයන් මේ සඳහා ඉලක්ක කරගෙන ඇත. ඒ සඳහා ඔවුන් හමුදා මූලස්ථානයෙන් විශ්‍රාම ගොස් සිටින හමුදා සොල්දාදුවන්ගේ නාමලේඛනයන් ලබාගෙන ඇති බවද වාර්තා වෙයි. ඊට අමතරව ඔවුන් සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙනයමින් විශ්‍රාමික හමුද සෙබළුන් මේ සඳහා සොයාගෙන ඇත.

කුරුනෑගල, රත්නපුර, ගාල්ල, මාතර, නුවර යන ප්‍රදේශවලින් ප්‍රධානවම පිරිස් එකතුකරගෙන ඇති බව වාර්තා වෙයි. නුගේගොඩ සහ කුරුනෑගල විදේශ රැකියා ආයතනයන් ද මීට මුල් වී ඇති බව කරුණු අනාවරණය වී ඇත. මේ අනුව මෙසේ රට පටවන ලද බහුතරය කුරුනෑගල දිස්ත්‍රික්කයේ පදිංචි හිටපු හමුදා සොල්දාඳුවන් ය. ශ්‍රී ලංකාව පසුගිය කාලයේ හමුදා සාමාජිකයන්ට සලකපු සැලකිල්ල අත්විඳ ඇති මේ සොල්දාඳුවන් හිතන්නට ඇත්තේ රුසියාව ද ලංකා රාජ්‍යය සේ කටයුතු කරමින් යුක්‍රේන යුද්ධය ජයග්‍රහනය කළ පසුව තමන්ට ශාන්ත පීටර්ස්බර් හි ඉඩම් ගෙවල් වතුපිටි තෑගි දෙනු ඇතැයි කියා ය. ආර්ථික අගාධකයට තවමත් කඩා වැටෙමින් සිටින ලංකාව තුළ සිටිනවාට වඩා රුසියාවට ගොස් යුද්ධ කර අමාරුවෙන් හෝ ජීවිතය බේරාගත හොත් තමන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් උරුම වෙනු ඇතැයි මේ බොහෝ දෙනෙක් සිහින දකින්නට ඇත.

රුසියාවට පිටත් කර යැවීම වෙනුවෙන් එක් එක් මිල ගණන් අයකරගෙන ඇති බව අනාවරණය වී ඇත. ඒ අනුව ලක්ෂ 18ක උපරීමයේ සිට ලක්ෂ 3 1/2ක අවමය දක්වා එම මිල ගණන් විවිධය විෂමය. දැන් පෙනෙන්නට තිබෙන්නේ පුද්ගලයන්ගේ වාසනා ගුණය මත තමන් වැඩි මිලක් ගෙවා මේ බොරුවට හසුවෙනවා ද නැතිනම් අඩු මිලක් ගෙවා බොරුවට අසුවෙනවාද යන්න තීරණය වී ඇති බවය.

රුසියානු යුද්ධ කඳවුරු තුළ රැකියාව කරන්නට කැමති වූ සහ ඒ වෙනුවෙන් වූ මූලික වියදම් පියවන්නට කැමති වූ හමුදා සෙබළුන් තම ලියකියවිලි මම ජාවාරමේ නිරත පුද්ගලයින්ට භාර දුන් පසුව සතියක් හෝ දෙකක් ඇතුලත වීසා ලැබී ඇත. ඒ අනුව බොහෝ දෙනෙක් රුසියාවට ගොස් ඇත්තේ ටුව‍රිස්ට් වීසා යටතේ ය. මෙසේ ඉක්මනින් වීසා ලැබීමේ ක්‍රියාවලිය තුළින් පේන්නේද රුසියානු රාජ්‍ය මෙය දැනුවත්ව කරගෙන යන ක්‍රියාවක් බවය. ඒ අනුව ලෝක සිතියමේ බොහෝ රටවල් වලින් යුද්ධය සඳහා කුලී හේවායන් ගෙන්වාගෙන ඇත. ලංකාව එහි එක රටක් පමණය. ලංකාවට අමතරව නේපාලයද කැපී පෙනෙන බව කිව යුතුය.

රුසියාවට ගිය පසුව අවුරුද්දක රැකියා ගිවිසුමකට අත්සන් ගෙන ඇති අතර එහි රුසියානු භාෂාවෙන් යුද්ධය වෙනුවෙන් දායකකරගන්නා බව සඳහන් කර ඇතැයි ප්‍රකාශ වෙයි. එහි කඳවුරු තුළ කෙරෙන රැකියාවක් ගැන සඳහනක් නැත. භාෂා අවුල නිසා ගොඩක් දෙනෙක් හට මෙය නොතේරෙන අතර ගූගල් වැනි මාධ්‍ය හරහා පරිවර්තනය කර ගත්තත් ආපසු හැරෙන්නට ඉඩක් ද නැත. මෙසේ රුසියාවට යන ශ්‍රමිකයන් හට සතියක පුහුනුවක් ලැබෙන අතර ඉන්පසුව කෙළින්ම යුද්ධය දරුණුවට යන ඩොනෙට්ස්ක් වැනි ප්‍රදේශවල යුද්ධ කටයුතුවලට යොදවා ඇත.

ඒ අනුව ශ්‍රී ලාංකිකයන් බොහෝ ප්‍රමානයක් මිය ගොස් ඇත්තේ ඉදිරි ආරක්ෂක වළල්ලේ මෙහෙයුම් කටයුතු අතරතුර ඩ්‍රෝන ප්‍රහාරයන්ට ලක්වීම නිසා ය. පසුගිය 2023 වර්ෂයේ ඔක්තෝම්බර්, නොවැම්බර් අතර කාලයේ බහුලව රුසියාවට ලංකාවෙන් යුද්ධ ශ්‍රමිකයන් පිටව යෑම ඇරඹී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි ද 2024 අවුරුද්දේ පෙබරවාරි මාර්තු අප්‍රේල් මාස වල වැඩි පිරිසක් මෙසේ ගුවන්ගත වී ඇතැයි ද කරුණු වාර්තා වෙයි.

මෙසේ රුසියානුගත වූ සමහර පුද්ගලයින්ට නිසි අයුරින් පඩි ලැබී ඇති අතර බහුතරයකට නිසි අයුරින් පඩි ලබාදී නැත. බොහෝ දෙනෙක්ට සතයක් හෝ ගෙවා නැති බවට ද කරුණු වාර්තා වී ඇත. ඒ අනුව පෙනෙන්නේ රුසියාව තම රටේ නීතියට අනුව තම යුද්ධය සඳහා විදේශිකයන් ගෙන්වා ගෙන ඇතත් එම රැකියාවන් සඳහා මෙරට ශ්‍රමිකයන් යවනු ලැබූ අතරමැදියන් නිසි අයුරින් මුදල් ගෙවන්නට කටයුතු කර නැති බවයි. ඒ අනුව මෙය කැත මිනිස් ජාවාරමක් බව කිව යුතුය.

මෙසේ ලංකාවේ සිට ටුවරිස්ට් වීසා හරහා කෙලින්ම රුසියාවට ශ්‍රමිකයන් කොටසක් ගොස් ඇති අතර තවත් පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලිතුවේනියාව, රුමේනියාව වැනි රටවල් හරහා ද රුසියාව සහ යුක්‍රේනය වෙත සංක්‍රමනය වී ඇති බව කරුණු අනාවරණය වී ඇත. මේ පිරිසට ද අත්වී ඇත්තේ එකම ඉරණමක් ය.

මෙම ලිපිය හා සම්බන්ධ තොරතුරු සොයන විට ලිතුවේනියාව හා සම්බන්ධ පුද්ගලයෙක් ලියුම්කරු සමග ප්‍රකාශ කළේ මේ වනවිට ලිතුවේනියාවට නොයේක් ක්‍රම හරහා යවනු ලබන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමානය ඉහළ ගොස් ඇති බවය. එම පිරිස් ද අවසානයේ ලිතුවේනියානු – බෙලරුසියානු බෝඩර් එක හරහා යුක්‍රේන – රුසියා යුද්ධයට යවන්න ජාවාරම්කරුවන් පියවරයන් ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය කාලයේ අධික සීතලට හසුව පාදයක් අහිමිවූ ශ්‍රී ලාංකික තරුණයෙක් පිළිබඳව එරට රූපවාහිනිය කරුණු වාර්තා කළ බවය. මෙයින් පෙන්නේ මේ මිනිස් ජාවාරමේ තත්ත්වය ඉතාමත් බියකරු බවය.

මෙම සිදුවීම පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ජාවාරමේ ශ්‍රී ලාංකික මහ මොළය යැයි කියන අංක 169, වෙළගොල්ල වත්ත, කුරුණෑගල ලිපිනයේ පදිංචිව සිටි විශ්‍රාමික මේජර් ජෙනරල් දැල්කඳුරේ ආරච්චිලාගේ රණරාජ රණවක නමැති පුද්ගලයා සහ තවත් විශ්‍රාමික සාජන් මේජර්වරයෙක් අත්අඩංගුවට ගන්නට කටයුතු කළේය. ඔවුන් දෙදෙනා හරහා මෙම ජාවාරම පිළිබඳව බොහෝ කරුණු අනාවරණය කරගන්නට හැකිවී ඇති බව ප්‍රකාශ වෙයි. රුසියාව තුළ මෙම ජාවාරම මෙහෙයවමින් සිටින්නේ රමේෂ් නම් ඉන්දි‍යානුවෙක් බවද කරුණු අනාවරණය වී ඇති බව දැනගන්නට ලැබෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද පසුගිය දා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කරුණු අනාවරණය කරමින් නම් කිහිපයක් ප්‍රකාශ කළේය.

මේ විමර්ෂනයේ අලුත්ම තත්ත්වය කුමක්දැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතාගෙන් ලියුම්කරු කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ, දැනට හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවය. ඒ අනුව ශ්‍රමිකයන් රුසියාවට යැවීම පිළිබඳව 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ යුක්‍රේනයට යැවීම වෙනුවෙන් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ කීවත් තවත් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙයි. දිස්ත්‍රික්ක කීපයක් තුළ ක්‍රියාත්මක වූ මෙම ජාවාරම විශාල පරිමානයේ ජාවාරමක් ය. මෙයට ගුවන්තොටුපළ පරිශ්‍රයේ වැඩකරන යම් යම් රාජ්‍ය සේවකයන් පවා හවුල් බව දැනගන්නට ලැබේ. මෙම අවලස්සන ජාවාරම පිටුපස විශ්‍රාමික ජේෂ්ඨ හමුදා නිළධාරීන් මෙන්ම දේශපාලකයින්ගේ නම් ද කියවෙන බව දැනගන්නට ලැබෙයි. ඔවුන් සඟවා ගන්නට උඩින් සිටින දේශපාලකයින් ක්‍රියා නොකළහොත් එම පුද්ගලයන් අත්අඩංගුවට ගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත. සමහරවිට ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයටම මේ සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන්නට ඉඩ ඇත..!