IMG-LOGO
Home Blogs 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරන ලද මත විමසුමක්
OTI

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරන ලද මත විමසුමක්

Date : 2020-Aug-27
IMG

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ අරමුණින් සම්මත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය දේශපාලන සමාජය තුළ නැවත කතිකාවක් බවට පත්ව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවන පිරිස මෙය වෙනස් කළ යුතුයැයි ද එය දෝශ සහගත යැයි ද පවසති.

මේ සංශෝධනයට පක්ෂව කටයුතු කළ පිරිස් එහි දී සිදුවූ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් යම් ආරක්ෂක ස්ථාවරයක් ප්‍රකාශ කරමින් සිටිති. 19 වැනි සංශෝධනය වෙනස් කළ යුතු යැයි පවසන පිරිස කියා සිටින්නේ පාලන ක්‍රියාවලියට කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව එක් කිරීම සඳහා හෝ නිසි පාලන ක්‍රමයක් රට තුළට ගෙන ඒම සඳහා එසේ කළ යුතු බවයි. එම සංශෝධනය කඩිමුඩියේ ගෙන ඒමක් ලෙසත්, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ඇති බලවත් එදිවාදීකම්, එකඟතා නොමැතිකම් හේතුවෙන් කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව අඩුවූ බවත් විරුද්ධව අදහස් දක්වන අයගේ මතය වී ඇත.

එම සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන ප්‍රජාව තුළ මෙවැනි වෙනස් මතයන් ඇතිවී තිබුන ද සිවිල් සමාජයේ සහ ජනතාවගේ අදහස් කුමක් ද යන්න තවමත් පැහැදිලි නැත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනතාව දරන්නේ කවර අදහසක් ද යන්න පිළිබඳ අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් මහජන මත විමසුමක් පවත්වන ලදී.

මේ සම්බන්ධයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව්‍යුහාත්මක ප්‍රශ්නාවලියක් යොමුකරන ලද අතර අහඹු ලෙස දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමෙන් ප්‍රතිචාර දැක්වූවන් 200ක් සහ සම්මුඛව හමු වී දිස්ත්‍රික් මට්ටමින් සිංහල හා දෙමළ භාෂා දෙකම ආවරණය වනව පරිදි අදහස් දැක්වූ 200ක පරිසක් වශයෙන් පුද්ගලයෝ 400ක් සිය මතය ප්‍රකාශ කළහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ප්‍රධාන කරුණු සහ ගැටළු ප්‍රශ්නාවලියට ඇතුළත් වූ අතර ස්වාධීනව ප්‍රතිචාර දැක්වීමට ජනතාවට අවස්ථාව ලබා දෙන ලදී. ප්‍රතිචාර ලබා ගැනීම සඳහා භාවිතා කරන ලද්දේ බහුවරණ ප්‍රතිචාර ක්‍රමයකි. 

1978 ආණ්ඩුකම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපතිවරයාට පවරා තිබූ අධික බලතල සීමා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට හැකි වී තිබේ ද ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බබලාත්මක කිරීම හේතුවෙන් ජනාධිපතිවරයාගේ විධායක බලතල සීමිත වූ බවට ප්‍රතිචාර දැක්වූ බහුතර පිරිසක් එකඟ වූහ. එය 69% කි. ප්‍රතිචාර දැක්වූ අයගෙන් 12% පිරිසක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතල සීමා වී ඇති බවට ඔවුන්ට විශ්වාසයක් නැතැයි කීහ. 19 වැනි ව්‍යවස්ථා 11%ක පිරිසක් ජනාධිපතිවරයාගේ විධායක බලතල සීමා කර ඇති බවට අර්ධ වශයෙන් එකඟතාව පළ කළ අතර සංශෝධනය බලාත්මක වීමෙන් පසුව පවා 5%ක පිරිසක් විශ්වාස කරන්නේ විධායක ජනාධිපතිවරයාගේ බලතලවල කිසිදු වෙනසක් සිදුව නැති බවයි. 3% ප්‍රමාණයක් ජනාධිපිතධූරයේ බලතල පිළිබඳ එකඟ නොවූහ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් රාජ්‍යයේ විනිවිදභාවය සහ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් වී තිබේ ද ?

19 වැනි සංශෝධනය තුළින් රාජ්‍යයේ විනිවිද බව සහ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් වී ඇති බව අදහස් දැක්වූ අයගෙන් 58% පැවසූහ. 18%ක් එම අදහසට එකඟ වූය‍ේ අර්ධ වශයෙනි. 11%ක් කියා සිටියේ විනිවිදභාවය සහ වගවීමේ ක්‍රියාවලිය සාර්ථක වී නොමැති බවයි. 7%ක පිරිසක් පවසන්නේ 19 ව්‍යවස්ථා සංශෝධනය තුළින් විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කරනු ඇතැයි තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බවයි. එමෙන් ම 6% පිරසක් රාජ්‍යයේ විනිවිදභාවය සහ වගවීමේ ක්‍රියාවලියේ කිසිදු වෙනසක් සිදුව නැතැයි කීහ. 

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ පුරවැසියාගේ මූලික අයිතිවාසකමක් ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිගැනීමෙන් පුරවැසියන්ට බලය ලැබී තිබේද ?

තොරුතුරු දැනගැනීමේ පනත බලාත්මක කිරීම පුරවැසියන්ට වඩාත් ප්‍රතිචාරාත්මක රජයක් බිහිවීමට ඉවහල් වී ඇතැයි යන්න 62%ක් වූ බහුතරයක් විශ්වාස කරති. ඔවුන් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් ධනාත්මක අදහස් දරයි. 16% පිරිසකගේ මතය වී ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කිරීම හේතුවෙන් කිසිවක් සිදුව නැති බවයි. එසේ ම 14% ප්‍රකාශය පිළිබඳ අර්ධ එකඟතාවක් දක්වයි. මෙම ප්‍රශ්නයට පිළිතුරු දුන් පිරිස අතරින් 8% පිරිසක් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ එකඟතාවක් නොදක්වයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාට තරඟ කළ හැකි වාර ගණන වෙනස්කිරීම සම්බන්ධයෙන් ඔබ එකඟද ?

විධායක ජනාධිපති ධූර කාලය සහ ජනාධිපතිවරයකුට ඉදිරිපත් විය හැකි වාර ගණන සීමා කිරීම යන කාරණා සමඟ අදහස් දැක්වූවන්ගෙන් ¾ කට වැඩි පිරිසක් පිළිගනිති. 75% පිරිසක් කියා සිටියේ තමන් ඊට එකහෙළාම එකඟවන බවයි. 15%ක් එලෙස කරන ලද වෙනස්කම් වළට අර්ධ එකඟතාවක් දක්වයි. ඒ අනුව එකඟ වූ සමස්ථ පිරිස 90% වෙයි. 9% පිරිසක් කියා සිටියේ විධායක ජනාධිපතිවරයාට අසීමති කාල සීමාවක් තිබිය යුතු බවයි. ඔවුන් ධූර කාලය හෝ ධූරය දැරිය හැකි වාර ගණන සීමා කිරීමට එකඟතාවක් දක්වන්නේ නැත. මේ පිළිබඳ පැහැදිලි මතයක් නොදරන පිරිස 1%කි. 

ජනාධිපතිවරයා සතුව තිබූ පත්වීමේ ඇතුළු ඇතැම් බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අගමැති සහ පාර්ලිමේන්තුව වෙත පැවරීම පිළිබඳ අදහස කුමක් ද ?

ජනාධිපතිවරයා සතුව තිබූ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට, අගමැතිවරයාට සහ පාර්ලිමේන්තුවට ලබාදිය යුතුය යන්න අදහස් දැක්වූ පිරිසෙන් 71%ක පිරිසකගේ මතය විය. 2%ක පිරිසක් අර්ධ වශයෙන් ඊට එකඟ වූ බැවින් 73% විශ්වාස කරන්නේ ජනාධිපතිවරයාගේ පත්වීමේ බලතල ධනාත්මක අර්ථයේ විමධ්‍යගත කළ යුතු බවයි. 16%ක පිරිසක් පවසන්නේ පෙර පරිදිම බලතල ජනාධිතිවරයා සතුව තිබිය යුතු බවයි. 10% ප්‍රකාශය සම්බන්ධයෙන් ස්ථිර අදහසක් ප්‍රකාශ නොකරන අතර 1%ක පිරිසක් පවසන්නේ ජනාධිපතිවරයාගේ බලතල පැවරීමක් ව්‍යවස්ථාපිත කළ ද සැබැවින්ම එය සිදුව නැති බවයි.

 අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව, පොලිස් කොමිසම, අධිකරණ සේවා කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව යන ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත්වන්නේ ද ?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වැදගත් අංගයක් විය. එසේ වුව ද ස්වාධීන කොමිෂන් සභා පිළිබද අදහස් දැක්වූ අයගෙන් 65%ක් සෑහීමකට පත්වන්නේ නැත. එනම් ජනතාව බහුතරයකගේ මතය සෘණාත්මකය. 13% පිරිසක් මේ කොමිෂන් සභාවලට ක්‍රියාකාරීත්වය සම්බන්ධයයෙන් අර්ධ වශයෙන් එකඟතාවක් පෙන්වයි. 11%ක පිරිසක් ස්වාධීන කොමිෂන් සභා සේවා සැපයීම පිළිබඳව දැඩි සතුටකින් පසුවූහ. 9%ක පිරිසක් මේ ගැන විශ්වාසයක් නැති අතර ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමෙන් කිසිදු වෙනසක් සිදු නොවන බව පැවසූ පිරිස 2%කි.

 ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු හයක (6) සිට අවුරුදු පහක් (5) දක්වා සීමා කිරීමට ඔබ එකඟ ද ?

පාර්ලිමේත්තුවේ සහ ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුුරුදු හයක (06) සිට (05)ක් දක්වා සීමා කිරීමට 85% පිරිසක් සිය එකඟතාව පළ කරති. මීට අමතරව පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය යන දෙකම එකට පැවැත්වීමට ද ඔවුහු යෝජනා කරති. 12%ක පිරිසක් එම ප්‍රකාශයන්ට එකඟ නොවෙති.

 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ අමාත්‍ය මණ්ඩල සංඛ්‍යාව සීමා කිරීමට ඔබ එකඟ ද ?

කැබිනට් අමාත්‍යංශය අඩු කිරීම පුරවැසියන්ගේ පැසසුමට ලක්වූවකි. 98% පිරිසක් කියා සිටියේ මම ප්‍රතිසංස්කරණය කාලෝචිත වැදගත් පියවරක් බවයි. නමුත් 2%ක පිරිසක් මේ වෙනස්කම් ගැන විශ්වාසයක් තබා නැත.

 ආණ්ඩුවේ සෑම අංශයක ම ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවට ඔබ එකඟ ද ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුකරන ලද වෙනස්කම්වලින් පසුව ද සියලු රජයේ කාර්යාලවල ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා කටයුතු කරන බව විශ්වාස කරන්නන් ප්‍රමාණය 62%කි. සෑම අවස්ථාවක දී ම ජනාධිපතිවරයා එම කටයුතු ඉටුකරුනු දැකීමට ඔවුන් කැමැත්තක් දක්වයි. එසේ වුව ද 30%ක ජනතාවක් එයට එකඟ‍ නොමැති අතර රජයේ කාර්යාලවල අග්‍රාමාත්‍යවරයා හෝ අදාල අමාත්‍යවරයා ප්‍රධානත්වය දැරීම සුදුසු යැයි යන්න ඔවුන්ගේ මතය වී ඇත. ඔවුන්ගේ මතය ආණ්ඩුවේ නියෝජන බලය විමධ්‍යගත කළ යුතු බවයි. 

රාජ්‍ය පාලනයේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අවබෝධයක් හා එකඟතාවක් පවත්වා ගැනීමට ඔබ එකඟද ?

පිළිතුරු දෙනු ලැබූ අයගෙන් 66% පිරිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සශෝධනය මගින් කරන ලද වෙනස්කම් අගය කරනු ලැබීය. ඔවුන් වැඩි කැමැත්තක් දැක්වූයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අවබෝධතා සහ එකඟතා තබාගැනීමයි. 22% ක පිරිසක් එවැනි තත්ත්වයක් ප්‍රතික්ෂේප කළ අතර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර බල එදිරිවාදිකම් ඇතිවීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අසාර්ථකත්වය ඉවහල් වී ඇතැයි ප්‍රකාශ කළහ. පිළිතුරු දුන් අයගෙන් 8%ක් එකඟතා සහ අවබෝධතා පිළිබඳ ස්ථිර අදහසක් නොදැක්වූ අතර අර්ධ වශයෙන් එකඟ ූ සංඛ්‍යාව 3% වෙයි.

හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම වැනි ජනාධිපතිවරයා සතුව තිබූ බලතල පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් කිරීමට ඔබ එකඟ ද ?

හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමේ ජනාධිපතිවරයාගේ බලය පාර්ලිමේන්තුවේ විෂය පථයට යටත් විය යුතු බව 65% පිරිසක් පිළිගත්හ. පාස්කු ප්‍රහාරය වැනි මෑත කාලීන සිද්ධි ඉස්මතු කරමින් හදිසි රෙගුලාසි ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපතිවරයාට ස්වාධීන බලය ලබා දිය යුතු බව 28%ක් කියා සිටියහ. ජනතාවගෙන් 4% පිරිසකට එවැනි විධිවිධාන පිළිබඳ ස්ථිර අදහසක් තිබුණේ නැත. 3%ක පිරිසක් ජනාධිපතිවරයාගේ ඇතැම් විධායක බලතල සීමා කිරීමට අර්ධ වශයෙන් එකඟ වූහ.

පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛයාවක් ලබාගන්නා පක්ෂයත් සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට ඔබ එකඟද?

එවැනි විධිවිධාන පාලන ක්‍රියාවලියේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව අඩු කරයි යන පදනම මත පිහිටමින් අදහස් දැක්වූළුන්ගෙන් බහුතරයක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පවතින ජාතික රජයක් සඳහා වූ ප්‍රතිපාදන ප්‍රතික්ෂේප කර ඇත. 2%ක් වූ පිරිසක් ජාතික ආණ්ඩුව යන සංකල්පයට සහ‍ාය දෙමින් පැවසුවේ මෙය වගකිවයුතු සමතුලිත රජයක් ලබාගැනීමට වැඩි අවස්ථාවක් ලබා දී ඇති බවයි. ඇතැම් ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සිදුවන්නේ ජාතික රජය පැවැතීම නිසා පමණක් බව ඔවුහු විශ්වාස කරති. 7% අර්ධ වශ‍යෙන් එකඟ වූ අතර රජයේ කර්යක්ෂමතාව ගැන සැැලකිලිමත් විය. 8%ක් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන ස්ථිර අදහසක් නොදැක්වූ අතර 1%ක් කියා සිටියේ දේශපාලන පක්ෂ විසින් පිහිටුවන ජාතික ආණ්ඩුව කවරක් වුවද රටේ තත්ත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි. 

ජනාධිතිවරයා අමාත්‍යධූර දැරීම සහ අවම වශයෙන් ආරක්ෂක ඇමතිවරයා ලෙස සිටිය යුතු බවට ඔබ එකඟ ද ?

ප්‍රතිචාර දැක්වූ 80%ක පිරිසකගේ අදහස වූයේ අවම වශයේන අමාත්‍යාංශ එකක් හෝ කිහිපයක් ජනාධිපතිවරයා යටතේ තබාගත යුතු බවයි. ජනාධිපතිවරයා යටතේ තිබිය යුතු යැයි ඔවුන් ඉස්මතු කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශයයි. 13%ක් ජනාධිපතිවරයා අමාත්‍යධූර දැරීම ප්‍රතික්ෂේප කළ අතර අමාත්‍යවරුන් යටතේ සියලුම අමාත්‍යධූර තිබිය යුතු යැයි කීහ. 6% පිරිසකට ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොවූ අතර 1%ක් අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතේ පැවැතීම සම්බධයෙන් අර්ධ වශයෙන් එකඟ වූ අතර අමාත්‍යධූර ඇතිකිරීමට ද යෝජනා ඉදිරිපත් කරන ලදී. 

මෙම සමීක්ෂණයෙන් පෙනී ගිය කරුණක් වන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සශෝධනය හඳුන්වා දෙනු ලැබුවේ 2015 වර්ෂයේ දී බලයට පත්වූ රජය විධායක ජනාධිපති ධූරයේ බලතල කප්පාදු කර පාර්ලිමේන්තුව ශක්තිමත් කරන බවට පොරොන්දු වූ සන්දර්භයක් තුළ වුව ද වසර පහකට පසු මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ස්බන්ධයෙන් ජනතාව මිශ්‍ර මතයක් දරන බවයි.

විධායක ජනාධිපතිධූරය හඳුන්වාදුන් 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජීවත්වන පුද්ගයන්ගේ වසර 42ක අත්දැකීම් තුළින් මෙම ප්‍රකාශ තේරුම් ගත යුතුය.

දළ විශ්ලේෂණයක දී ජනතාව සමස්ථයක් ලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිගන්නේ ‍හෝ ප්‍රතික්ෂේප නොකරන බව පැහැදිලිය. ඒ වෙනුවට එහි විවිධ කරුණු පිළිබඳ වඩාත් සූක්ෂමව දකියි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ජනතාවට ප්‍රායෝගික මතයක් පවතින බව ද මෙහි දී නිරීක්ෂණය විය.

ජනාධිපති බලතල සම්බන්ධයෙන් ගත් විට ජනාධිපතිවරයා අමාත්‍යධූරය දැරීමට පක්ෂව සිටි අතර ජනාධිපතිධූර කාලය දෙවරකට පමණක් සීමා වීම පිළිබඳ ජනතාවගේ කැමැත්තක් තිබිණි. එමෙන් ම හදිසි අවස්ථා ප්‍රකාශ කිරීම වැනි ඇතැම් ජනාධිපති බලතල පාර්ලිමේන්තු අනුමැතියට යටත් කිරීමට කැමැත්තක් දැක්වීය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ එක් ප්‍රධාන අංගයක් වූයේ ස්වාධීන කොමිෂන් සභාය. කෙසේ වෙතත් ඒ පිළිබඳ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වූ පුද්ගලියන් ඒ සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටිති. කෙසේ වෙතත් ප්‍රශ්නාවලියේ දී එවැනි අතෘප්තිකර තත්ත්වයක් ඇතිවීමට හේතු දක්වා නැත.

ඔවුන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවිධ මත දරයි. ඇතැම් විධායක බලතල අග්‍රාමාත්‍යවරයා සමග බෙදා ගැනීම වැනි කරුණු කෙරෙහි වැඩි කැමැත්තක් දැක්වීය. ස්වාධීන කොමිෂන් සභා කෙරෙහි වූ විශ්වාසය පළුදු වී ඇත.

කෙසේ වෙතත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනතාවගේ හැඟීම් පිළිබඳ වඩාත් සවිස්තරාත්මක අවබෝධයක් ලබාගැනීම සඳහා ඉදිරි අනාගතයේ දී සමීක්ෂණයක් පැවැත්විය යුතුය.

 

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *