IMG-LOGO
Home Blogs කොවිඩියානු සමාජ පරිසරයක ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගැනීමට හැකි ද ?
OTI

කොවිඩියානු සමාජ පරිසරයක ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගැනීමට හැකි ද ?

Date : 2020-Aug-27
IMG

අර්බුදයක ගිලී තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොරෝනා වසංගත තත්ත්වයත් සමග තවත් අර්බුදයකට ලක්ව ඇතත් මෙය ශ්‍රී ලංකා ආර්ථිකය වඩාත් සැළසුම් සහගතව ගොඩගැනීම සඳහා ලැබී ඇති මහඟු අවස්ථාවක් බව විද්වතුන්ගේ අදහස වී ඇත.

මේ අදහස ඉදිරිපත්වූයේ පසුගිය මැයි මස 26 වැනි දින කොවීඩියානු සමාජ පරිසරයක ශ්‍රී ලංකා ආර්ථිකයේ දිශානතිය කොතැනට ද ? යන මැයෙන් පැවැති සංවාද කතිකාවක දී ය.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතර සහයෝගීතාවය සහ ප්‍රතිපත්තිමය එකඟතා ප්‍රවර්ධනය කිරීම සඳහා බොහෝ පක්ෂ විසින් දායක වී සකස් කරගත් One Test Initiative ආයතනය විසින් මෙම සංවාදය මෙහෙයවන ලදී.

එම සංවාදය සඳහා මහාචාර්ය සුමනසිරි ලියනගේ, ආචාර්ය වගීෂා ගුණසේකර, ආචාර්ය අනුර ඒකනායක, එක්ව සිටි අතර One Test Initiative ආයතනයේ හරේන්ද්‍ර දිසානායක සංවාදය මෙහෙයවූයේය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අර්බුදයක් මතු වන විට ඊට විශේෂයෙන් අප රාජ්‍ය හැටියට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව, එය පහසුවෙන්ම ආර්ථික අර්බුධයක් විදියටත් ආර්ථික අභියෝගයක් විදියටත් පරිවර්ථනය විය හැකිය යන්නත් පිළිබඳ අප සතු දැනුම මෙහි දී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

ආර්ථික අර්බුද ඉතා ලෙහෙසියෙන් දේශපාලන අර්බුද බවට පරිවර්තනය වීම සිදු වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය ගොඩ නැඟීම ආරම්භක අවස්ථාවේ පටන්ම, එනම් ප්‍රංශ විප්ලවයේ සිටම, ආර්ථික අර්බුද ඇති වී ඒවා දේශපාලන සමාජ අර්බුද බවට හැරෙන ආකාරය අප අත්දැක තිබනෙ බව කිව යුතුය. ලෝකයේ මීට පෙරත් මෙවැනි විශාල වසංගත තත්ත්වයන් හඳුනාගෙන ඇත. එම වසංගත හරහාත් උගත යුතු පාඩම වන්නේ සෞඛ්‍ය අර්බුදය ආර්ථික සහ පසුව දේශපාලන අර්බුදයක් කරා පරිවර්තනය වෙමින් ඉදිරියට ගමන් කරන බවයි.

එබැවින් එය එක් දෘෂ්ඨී කෝණයකින් පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නැති බවයි. එමෙන්ම එක් ‘කෙටි කාල පරාසයක්’ පමණක් සලකා බලා කතා කිරීමත් එතරම් ප්‍රායෝගික නොවන බව අප නිශ්චිතවම කල්පනා කරන දෙයකි.

වර්තමාන තත්ත්වය කෙටියෙන් සලකා බලන්නේ නම්, ලංකාවේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය ඉතාමත් නරක තත්ත්වයක දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනා’යි කිවහොත් එය නිවැරදිය. එත් පැත්තකින් එහි වර්ධන වේගය කාලයක් තිස්සේ ඉතා පහළ මට්ටමක තිබෙනවායැ’යි ද කිව යුතුයි. පසුගිය අවුරුදු පහක් තිස්සේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට පහක් දක්වා හෝ යා නොහැකි වුණු අතර දළ වශයෙන් ගතහොත් එය පැවතුනේ සියයට තුනක් - හතරක් අතර වර්ධන වේගයක් තුළය. ලංකාවේ එක පැත්තකින් එවැනි අර්බුධයක් ද දීර්ඝ කාලයක් තිස්සේ පවතිමින් ඇති බව මෙහිදී සිහි තබාගත යුතුයි. ආර්ථිකයේ ඇති සීමා කිරීම් නිසා විශාල වශයෙන් රාජ්‍ය ආදායම අඩු වීමක් අපට පැහැදිලිවම දක්නට ඇත. ඒ නිසාම එක තැත්තකින් ආනයන සීමා කිරීමට විශේෂ ක්‍රියාමාර්ග ගත යුතු වන අතර, එහි ප්‍රථීඵල ද අද අප අත්දකිමින් සිටී. එසේම රාජ්‍ය ණය කළමනාකරණයේ දී අප පසුගියදාත් දුටු දෙයක් වන්නේ ලංකාවේ ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඩොලර් මිලියන 1.1 ක ණය මුදලක් ඉල්ලා තිබීමයි. එය හදිසි ණය මුදලක් වශයෙන් ලබා ගැනීමට ආණුඩුව කටයුතු කරමින් සිටී. අපේ රටේ ආර්ථික තත්ත්වය, එසේ නැත්නම් රාජ්‍ය මූල්‍ය තත්ත්වය එතරම් යහපත් තැනක නැති බව අප හොඳින් දන්නා කරැණක් බව මූලිකවම සැලකිල්ලට ගත යුතුය.

එසේම ලෝක මට්ටමින් ඇති වන ගෝලීය විශේෂ තත්ත්වයන් ගැන අවධානය යොමු කළහොත්, මෙම වසරේ (2020) ලෝක ආර්ථිකය සියයට තුනකින් (3%) සංකෝචනය වෙතැයි ආර්ථික විශේෂඥයින් බලාපොරොත්තු වෙන බව පවසා තිබේ. එහි ප්‍රථීඵලය කුමක් වේදැයි නිශ්චිතව ම කිව නොහැකිය. නමුත් සන්සන්දනාත්මකව ඒ පිළිබඳ යමක් කියන්නට උත්සාහ කරන්නේ නම්, 2008 වසරේ ආර්ථික අර්බුදය ඇති වූ අවස්ථාවේ එනම් සියයට එකක (1%) පසුබෑමක් ඇති වුණු අවස්ථාවේ ගෝලීය ආර්ථිකය තුළ විශාල ආර්ථික පසුබෑමක් ඇති වුණි. මෙවන් පසුබිමක ලෝක ආර්ථිකය කුමන ආකාරයෙන් හැසිරේවි ද? තාක්ෂණය භාවිත කිරීම, තාක්ෂණය භාවිතය නව දිශානතියකට යොමු වීමට ඉඩ ප්‍රස්ථාව ඇති වීම යන මේවා මඟින් නව තත්ත්වයන් ඇති වීමට ඉඩකඩ ඇති විය හැකිය. මේ ආකාරයෙන් පුළුල් පරාසයක් සලකා බලමින් සංවාදය සිදුකෙරිණි.

එහි දී ආචාර්ය අනුර ඒකනායක මෙසේ අදහස් දැක්වූයේය.

කොරෝනා වසංගතය නිසාම ශ්‍රී ලාංකීය ආර්තිකයත්, ගෝලීය ආර්ථිකයත් ඉතා දුෂ්කර තත්ත්වයකට වැටුණායැයි කිව නොහැකියි. ආර්ථිකය හොඳින් පැවැති අවස්ථාවක වසංගතය නිසා ගැටළුවක් ඇතිවූවා නම් අප දැකිය යුත්තේ ඉංග්‍රීසී V අකුරේ හැඩයට එය විසඳීමකි. වසංගතය සමග ආර්ථිකය බිඳ වැටී යළි එය වේගයෙන් යථාවත් විය යුතුය. නමුත් ආර්ථික විදයාඥයන් පෙන්වා දෙන්නේ එවැනි අවස්ථාවක් නොමැති බවයි. එය ඉග්‍රීසි U අකුරේ හැඩයට වර්ධනය වනු ඇතැයි යන්න ඔවුන්ගේ විශ්වාසයයි. එනම් ආර්ථිකය පතුලට වැටී ‍බොහෝ කාලයක් පතුලේ ගත කර ඉන් පසු ඉහළට යාම සිදුවිය හැකි බවයි.

ආර්ථිකය මේ තත්ත්වයට පත්වීමට හේතුවී ඇත්තේ ගෝලීය ආර්තිකයේ බරපතල ප්‍රතිරෝධීතා මේ කාලය තුළම ගොඩනැගී තිබීමයි. මේ ගැන අප අවධානය යොමු කිරීම වැදගත් වේ.

2018 දී ලෝක වෙළඳ සංවිධානය සිදුකරන ලද පර්යේෂණයකට අනුව වර්ෂ 1800 සිට 1950 දක්වා ගත වූ වර්ෂ 150 දී ලෝක ආර්ථිකය වර්ධනය වී ඇත්තේ ඉතා මන්දගාමී ලෙස බව තහවුරු වී ඇත. එසේ වුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය නැවත ගොඩනැගීමත් සමඟ 1950 න් පසු ඉතා වේගයෙන් ලෝක ආර්ථිකය වර්ධනය වූ බව මේ පර්යේෂණයෙන් දැක්වෙයි. එය වර්ෂ 2008 දක්වා පැවැතියේය. එසේ වුව ද 2009 වර්ෂයේන පසු ලෝක ආර්ථිකයේ වර්ධනයක් සිදුව නැතැයි ද තහවුරු වී තිබේ. එතැන් පටන් ගෝලීය ආර්ථිකය එකතැන පල්වන ස්වභාවයක් දක්නට තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් සිදුවූයේ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය පුරාම රටවල වැඩ කිරීමට නොහැකි තත්ත්වයක් උදාවීමයි. ඉන් පුද්ල වැටුප් ඉක්මණින් ම අහිමිවිය. වැඩ නොකිරීම නිසා ආර්ථික නිෂ්පාදන ඇණ හිටියේය. භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට නොහැකි විය. ඉදිරියේ දී වසංගත තත්ත්වය අවසන් වීමෙන් පසු මේ තත්ත්වය අවසන් වේද ?

ශක්තිමත් ආර්ථිකයක් ඇති රටවල තත්ත්වය ශ්‍රී ලංකාවේ තත්ත්වය තරම් දරුණු විය නොහැකියි. මේ දක්වාම ශ්‍රී ලංකාවේ තිබුණේ එදිනෙදා කටයුතු සඳහා පවා ආදායමට වඩා වැඩියෙන් වියදම් දරන ස්වභාවයකි. අනෙක් කරුණ වන්නේ ණය බර ඉතා අධික බැවින් අලුතෙන් ණය ලබා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී තිබීමයි. එබැවින් ආර්ථිකයට ගොඩ ඒමට හැකි යැයි අප සිතීම මුලාවකි.

මේ සම්බන්ධයෙන් තර්ක කරන ඇතැම් පිරිස් පවසන්නේ ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථිකය සමග දැඩි සම්බන්ධතාවක් පවත්වාගෙන යන බැවින් කිසියම් ආකාරයකින් ඉන් ඉවත්විය යුතුයි යන්නයි. නමුත් එය ප්‍රායෝගික ද ? ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට තිහක් ම (30%) වන්නේ ලෝක පද්ධතීන් සමග සම්බන්ධතා පවත්වාගෙන යාමෙනි. ඊට අමතරව විදේශගත ශ්‍රමිකයන් අප වෙත එවන මුදල් දළ ජාතික නිෂ්පාදිතයක් සමඟ සසදන විට එය සියයට අටක් (8%) පමණ වෙයි. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හතරක් (4%) පමණ වෙයි. වාර්ෂිකව විදේශ රවටලින් අප ලබාගන්නා ණය මුදල් දළ ජාතික ආදායමෙන් සියයට පහක් (5%) වෙයි. මේ අනුව අපගේ ආර්ථිකයෙන් සියයට පනහක් (50%) ක් පමණ ගෝලිය ආර්ථිකය හා සෘජුව සම්බන්ධ වී තිබෙන බව දැකිය හැකියි.

මීට අමතරව තාක්ෂණය, අධ්‍යාපන වැනි අංශයන් ගත් විට ඉහත කී ගෝලීය ආර්ථිකයෙන් ඉවත්වීම ප්‍රායෝගික නොවේ. මෙවැනි තත්ත්වයක් තුළ අප ඉදිරියට යා යුත්තේ කෙසේ දයන්න ගැන අවධානය යොමු කළ යුතුය.

ශ්‍රී ලංකාවේ වැඩියෙන් ම තිබෙන්නේ කුමක් ද කියා සළකා බැලුවහොත් ඉදිරියටම එන්නේ ශ්‍රමයයි. නමුත් අපේ රටේ කාන්තාවන්ගෙන් රටේ ආර්ථිකයට ශ්‍රම දායකත්වය දක්වන්නේ සියයට තිහක් (30%) පමණි. සිසුන් විශාල වශයෙන් විරැකියා තත්ත්වයක පසුවෙයි. මේ ශ්‍රමය අප භාවිතයට ගත යුතුයි. අපිට භූමිය සීමිත වුවත් වර්ෂාව, ඉර එළිය, සුළඟ අවුරුද්ද පුරාම හොඳින් තිබෙනවා. ඒ වගේම රට වගේ හත් ගුණයක් විශාල මුහුදක් අපට හිමිව තිබේ. මේ සම්පත් ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් රටේ ආර්ථිකය සකසා ගැනීම වැදගත් කරුණකි. 

නමුත්, ගැටලුව ඇත්තේ දැඩි කම්පනකින් පසුව වුව ද නිවැරදි මාවතකට අවතීර්ණවන තැනක අප නොමැති වීමයි. එබැවින් තීන්දු තීරණ ගනිමින් නිවැරදි දිශාවකට යාමටනම් සුළු පරිමාන නිෂ්පාදන සම්බන්ධයෙන් සහ ඒවාට දායකවන පිරිස් බලගැන්වෙන වැඩපිළිවෙලක් අවශ්‍යය.

මේ වනවිට ශ්‍රී ලකාවේ ඇති වී ිතබෙන ප්‍රශ්නය කොවිඩ් - 19 වසංගතය පිළිබඳ ප්‍රශ්නයකට වඩා එහා ගිය එ එකකි. ගෝලීය ආර්ථිකය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අතර තිබූ විශාල ප්‍රතිවිරෝධතා මත ඇතිවූ ආසන්නම අර්බුදය ලෙස කොවිඩ් - 19 වසංගතය හඳුනාගැනීම සහ එය තහවුරුවීම වුව ද මේ වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාව හෝ ගෝලීය තත්ත්වය හෝ නිරායාසයෙන් සමතුලිතතාවයට පත්විය හැකියැයි යන්න පිළිබඳ ඇත්තේ සැකයකි.

දේශීය වශයෙන් අප රටේ බහුලව ඇති සම්පත් වැඩි වශයෙන් භාවිතයට ගැනීම සඳහා විධික්‍රමයක් සොයා ගැනීමට ඉක්මන්විය යුතුය. ඒ සඳහා ගඩොල්, සිමෙන්ති සහ කොන්ක්‍රීට් මත පදනම් වූ විදේශීය ණය මත ගොඩනැගෙන මාර්ග හෝ කුළුණු හෝ මත මෙරට ආර්ථිකය ගොඩනැංවීමට ක්‍රමයක් නොමැති බව අප තේරුම්ගත යුතුය.

ආචාර්ය වගීෂා ගුණසේකර මෙසේ කීවේය.

කො‍රෝනා වසංගතය ගොලීය සෞඛ්‍ය අර්බුදයක් වුවත් එය රටේ ආර්ථිකමය සමාජයීය දේශපාලනමය නව ව්‍යුහයක් සංවිධානය කරගැනීම සදහා අපට දුන් අවස්ථාවකි. අප අද මුහුණ දී සිටින ආර්ථික අර්බුදය කොවිඩ් නිසා ඇතිවූවක් නොවූව ද එය කොවිඩ් විසින් අන්තයක් වෙත තල්ලුකර දමා තිබේ. චීනය පවා තමන් කලින් සැළසුම් කළ ඉලක්කයන් පසු පස යාම අතහැර දමා රැකියා විරහිතභාවය, දරිද්‍රතාවය වැනි අංශ කෙරෙහි ප්‍රමුඛතාව දෙමින් සුබසාධනය පිළිබඳ වැඩිඅවධානයක් යොමු කර ඇති බව එරට අග්‍රාමාත්‍යවරයා පවසා ඇත. චීනය ආර්ථික වර්ධනය හඹායන රටක් වුව ද ඒ තත්ත්වය දැන් වෙනස් කරගෙන තිබේ. යුරෝපය ගැන අවධානය යොමුකිරීමේ දී පෙනී යන්නේ මෙවැනිම කතිවාතක් ගොඩනැගී ඇති බවයි. යුරෝපය පවසන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් ‍ගෝලීය ආර්ථිකය උඩුයටිකුරු වන බවයි. ඇමෙරිකානු සහ ඉතාලියානු සම්භවයක් සහිත ආර්ථික විශේෂඥයෙක් වන මරියානෝ මසුකාටෝ ලෝක වෙළඳ සංවිධානයේ හමුවේදීත් මේ පිළිබඳව කතා කර තිබුණු බවට සාක්ෂි ඇත.

කොවිඩ් වසංගතය ලෝකයේ ප්‍රධාන ක්‍රියාවලීන් දෙකකට සෘජජුවම අභියෝග කර තිබේ ගෝලීය පාලන (Global Governance) නම් සංකල්පය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය (International Corporation)  නම් ක්‍රියාදාමයන් ‍මේ වනවිට අභියෝගයට ලක්වී තිබේ. කවර ජාතික රාජ්‍යක් වුවත් ජනතාව ඊට කැමති වුවත්, අකමැති වුවත් හැම රටකම මෙම වසංගතය මැඩලීමට ඉදිරිපත් වී තිබෙන්නේ රාජ්‍ය බව අප පිළිගත යුතුයි. අනෙක් කාරණය එනම් දෙවන සාධකය වන්නේ අධි - ගෝලීයකරණය වටා බැඳී ඇති මෙරට ජාතික ආර්ථිකයයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර ශ්‍රම විභේදනය මත පදනම් වුණු සැපයුම් දාම ජාලාවක් මත ලංකාවේ ජාතික ආර්ථිකය රැඳී පවතී. එමෙන්ම වෙනත් බොහෝ රටවල ද තත්ත්වය එසේමය. නමුත් එම තත්ත්වය ගිලිහී යන බවක් අපට මේ වන විට තාවකාලික වශයෙන් හෝ දැනෙමින් තිබෙනවායි කිව හැකිය. එහිදී ප්‍රධාන වශයෙන් මිනිසුන්ගේ සංචරණවලට සීමා පැනවීම. සාප්පු සංකීර්ණ වැසී පැවතීම. ඇණවුම් අවලංගුවීම යන හේතූන් නිසා අපනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනයෙන් තාවකාලිකව වශයෙන් හෝ ඉවත් වී ඇත. ගෝලීය තලයේ වෙළඳපල ක්‍රියාකාරකම් සීමා වී ඇති නිසා ලක්ෂ සංඛ්‍යාත ජනගහනයක් අද රැකියා අහිමි වීමෙන් පීඩාවට පත්ව සිටී.

ශ්‍රී ලංකාවේ ඇත්තේ ආනයනික භාණ්ඩ මත යැපෙන සහ ණය මත දිවෙන අධි පාරිභෝගීකරණයකට ලක්වුණු ආර්ථික ව්‍යූහයකි. වසංගතයෙන් මෙයට සෘජු බලපෑමක් සිදුව ඇත. ශ්‍රී ලංකාවේ මෙම කොවිඩ් 19 වසංගත තදින්ම දැනෙන දේ වන්නේ ආහාර, ඹෟෂධ සහ ඉන්ධන ය. මේ භාණ්ඩ අප රටට ආනයනය කරන රටවල පවා කර්මාන්ත වැසී යන තත්ත්වයක් තුළ අත්‍යාවශ්‍ය දේවල් මිළදී ගැනීම පවා අද රටට අභියෝගයක් වී ඇත. ආනයන මිළදී ගැනීමට නම් අප රටට විදේශ විනිමය සංචිත යහපත් මට්ටමක තිබිය යුතුයි. අපේ විදේශ විනමය සංචිතය ඉතා අඩඩු අගයක පැවතීම හේතුවෙන් ආනයනික භාණ්ඩ සීමා කිරීමට තාවකාලිකව ආණ්ඩුව තීන්දු කර ති‍බේ.

මෙරට ආනයනික ආහාර සඳහා ගෙවීම ආසන්න වශයෙන් ඩොලර් බිලියන දෙකක් ($ 2 billion) පමණ වෙයි. ඩොලර් මිලියන තුන්සියයක පමණ පාන් පිටි, සීති, තිරිඟු සහ කිරි පිටි ආනායනය කරයි. වසර 2005 සිට 2019 දක්වා ලංකාවේ ආහාර ආනයනය තුන් ගුණයකින් වැඩි වී ඇති බවට සාක්ෂි තිබේ. මෙහිදී දේශීය කෘෂි කර්මාන්තය ශක්තිමත් කරන්නේ නම්, පවතින අර්බුධය යම් තාක් දුරකට හෝ ආවරණය කර ගත හැකිය යන්න කෙරෙහි වැඩි අවධානයක් යොමු කර යුතුය.  

ශ්‍රී ලාංකිකයන් සහ ලෝකවාසීන් ලෙස අප ඉතා වැදගත් සංධිස්ථානයකට එළැඹ ඇත. ක්‍රියාකාරී, දිඟු කාලීන සහ පරිවර්තනීය ඇරඹුක් (Pro-active) දෙසට ලංකාවේ අප වහා යා යුතුව ඇත. මේ සඳහා ජාතික සැළසුම්කරණ ප්‍රතිපත්තියකට අප යා යුතුය. භාණ්ඩ ආනයනය සහ ණය මත යැපෙන අධි පාරිභෝගිකත්වයට ඇබ්බැහි වුණු සමාජ ආර්ථික රටාවෙන් මිදීමත් එහිදී අප මූලික වශයෙන් අරමුණු කරගත යුතුයි. අද පවතින කොවිඩ් වසංගතය අභිබවා ඉදිරියට ගෝලීය උෂ්ණත්වය, කාලගුණික විපර්යාසයන් ලෝකය මහත් ව්‍යවසනයන්ට පීඩාවට පත් කළ හැකි බව මෙහිදී අමතක නොකළ යුතුය. එහෙයින් අප Progressive Environmental Model පිළිබඳ ව සලකා බැලිය යුතුය. භූතානය වැනි රටවල ජාතික සැලසුම් කේන්ද්‍ර වී ඇත්තේ මෙම තිරසර පරිසර හිතකර ආර්ථික උපාය මාර්ගයන් මත බව අප දන්නා කරුණකි. අප එම රටවලින් එම ආදර්ශය ගත යුතුය.

මහාචාර්ය සුමනසිරි ලියනගේ දැක්වූයේ මෙවැනි අදහසකි.

මෙම අර්බුදයට මුහුණදීම සඳහා අප කළ යුත්තේ කුමක් ද ? මහජන සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් විය යුතු එකක් බව දැන් ජාත්‍යන්තරව පිළිගෙන තිබේ. ස්පාඤ්ඤයේ පවා සියලුම රෝහල් ජනසතු කළ යුතු යැයි හඩක් නැගෙමින් පවතී. සමාජ මාධ්‍යවලට අනුව, දැන් සෑම කෙනෙක්ම කියුබාව සඳහා හෝ අවම වශයෙන් කියුබානු සෞඛ්‍ය පද්ධතිය හා සමාන විය යුතු බවට පවා පිළිගෙන තිබේ. එමෙන් ම ශක්තිමත් රජයක් පිහිටුවා රටට සිදුකරන ආනයන සීමා කිරීම සඳහා ආදේශන කර්මාන්ත වෙත ආපසු යා යුතුව ඇත. කොරෝනා වසංගතය සාමාන්‍ය තත්ත්වයක් නොවන නමුත් එය විශේෂ ආකාරයේ අර්බුදකාරී තත්ත්වයක් බව තේරුම්ගත යුතුය. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.එම්.ජයවර්ධන පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව අද වඩාත් ම අසරණ වූ ආයතනයක් වී ඇති බවයි. එබැවින් 1978 වර්ෂයේ දී හඳුන්වා දී ඇති ආනයනයන් පාලනය හෝ වෙනත් ව්‍යුහ වෙනස් කරන තත්ත්වයක් කරා අප ආපසු නොයා යුතු බවයි. 1978 දී හඳුන්වාදුන් ප්‍රතිපත්තිමය ආදර්ශය සමග අප ඉදිරියට යා යුතුය. නමුත් එහි අප විසින් යළි යළිත් සළකා බැලිය යුතු ගැටලු කිහිපයක් තිබේ. මේ සඳහා 1960 – 1977 දක්වා කාලයෙන් යම් ආදර්ශයක් ගැනීමට හැකියාව ඇත. කොරෝනා වසංගතයෙන් ඇති වූ ආර්ථික අර්බුදය විසඳීම සඳහා අනුවර්ථනය වීමට අපට දෙමුහුන් ක්‍රමයක් අවශ්‍යව ඇත. කොරෝනා වසංගතය නාගරික සංසිද්ධියක් බව ලෝකයේ මෙය පැතිරයන රටාව අනුව පැහැදිලි ‍වෙයි. කොරෝනා වසංගතය නාගරික බැවින් මේ තත්ත්වයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ ගම් 35,000ක් කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් ගොඩනැගීමට උත්සාහ ගත යතුය.

අපගේ ආර්ථිකය නිෂ්පාදන ක්ෂේත්‍රයට යොමු කළ යුතුයැයි තර්කයක් තිබේ. නමුත් මෙහි දි අප මූලික වශයෙන් මතක තබාගත යුතු වන්නේ දේශීය අවශ්‍යතා විනා ජාත්‍යන්තර අවශ්‍යතා නොවේ. වත්මන් ආර්ථික අර්බුධය වූකලී කෝවිඩ් - 19 වසංගතය හෙයින් ම හටගත් එකක් නොවේ. වාමාංශික පෙරමුණෙන් ඉදිරිපත් වන අදහස වන්නේ, මෙම ආර්ථික අර්බුධය වනාහී කාලයක් තිස්සේ ධනේෂ්වර ක්‍රමය හේතුවේන ආරම්භ වූවකි.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *