IMG-LOGO
Home Articles ‘රාජ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය කිරීමේ යාන්ත‍්‍රණයේ’ ඉතිහාසය සහ විකාශනය

‘රාජ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය කිරීමේ යාන්ත‍්‍රණයේ’ ඉතිහාසය සහ විකාශනය

Date : 2020-Sep-15
IMG
1977 වසරේදී 1972 ජනරජ ව්‍යවස්ථාවට ගෙන ආ දෙවන සංශෝධනය මගින් පළමුවරට ශ‍්‍රි ලංකාව තුල විධායක ජනාධිපතිධූරයක් ස්ථාපනය කරන ලදී. පසුව 1978 නව ජනරජ ව්‍යවස්ථාව තුල වඩාත් ශක්තිමත් විධායක ජනාධිපතිධූරයක් ස්ථාපනය කරන ලදී.


මෙම ජනාධිපතිධූරයේ අසීමිත බලතල නිසා සියළුම රාජ්‍ය ආයතන විධායකයට පාලනය කල හැකි තත්වයක් උද්ගත වන ලදී. 1980 දශකය වන විට රාජ්‍ය ආයතන සියල්ලම දැඩි ලෙස දේශපාලණිකරණයට ලක්වූ බව පෙනී යන ලදී. එම හේතුවෙන් මැතිවරණ, රාජ්‍ය සේවය සහ අධිකරණ දේශපාලනයෙන් ඇත් කර ස්වාධින කල යුතු බවට ජනතා මතයක් ඇතිවිය.


තරුණයන් පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව-1990


රාජ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය කිරීම සම්බන්ධව පළමු නිල ලේඛනය දක්නට ලැබෙන්නේ ර්‍ණතරුණයන් පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව යි” . 1989 ඔක්තෝබර් මාසයේදී ජනාධිපති ආර්.පේ‍්‍රමදාස විසින් පත්කල මෙම කොමිෂන් සභාවේ සභාපති වූයේ මහාචාර්ය ලක්‍ෂමන් ජයතිලකය, මහාචාර්ය ජී.එල්.පීරිස්, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, ඒ.එස්.මුහමඞ් අලි, ආර්.අයි.ටී.අලස්, මොනිකා රුවන්පතිරණ, ෂවීන්ද්‍ර ප‍්‍රනාන්දු, සහ ලාල් කුරුකුලසූරිය යන මහත්ම මහත්මීන් සාමාජිකත්වය දරණ ලදී. 1990 මාර්තු මාසයේදී ප‍්‍රකාශයට පත් කරන ලද මෙම වාර්තාවේ පළමු පරිච්ඡේදය වෙන්වී තිබුනේ පොදු සමාජය දේශපාලනකරණයෙන් ඈත් කිරීම පිලිබදවය එහි සදහන් වූයේ රාජ්‍ය සේවාවන්ට පුද්ගලයන් බදවා ගැනීමේදී දේශපාලන බලය අනිසි ලෙස පාවිච්චි කිරීම, පාලක පක්‍ෂයේ ආධාරකරුවන්ට රජයේ කොන්ත‍්‍රාත්තු හා බලපත‍්‍ර දීමේදී දේශපාලන බලය අයුතු ලෙස යොදා ගැනීම. පවත්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනයන් අපකීර්තියට ලක් කිරීමෙහිලා දේශපාලන බලය අනිසි ලෙස පාවිච්චි කිරීම, රාජ්‍ය ආයතනයන්හි එදිනෙදා පරිපාලනයහි දේශපාලන ඇගිලි ගැසීම්, පිටුදැකිය යුතු බවය. ඒ සදහා කොමිෂන් සභාව විසින් යෝජනා කල එක් ක‍්‍රියාමාර්ගයක් වූයේ කොමිෂන් සභාවන්ට සාමාජිකයනි පත් කිරීමේ ජනාධිපතිගේ බලය සීමා කිරීම සදහා ර්‍ණ නාම යෝජනා කොමිෂන් සභාවක්” පිහිටුවීමයි. මෙම කොමිෂන් සභාවේ කාර්යය වන්නේ ඇතැම් වැදගත් බදවාගැනීම්, උසස් කිරීම්, ස්ථානමාැ හා සේවයෙන් පහකිරීම් පිළිබදව කටයුතු කරන කොමිෂන් සභා සහ ප‍්‍රතිපත්ති සම්පාදනය පිළිබදව වගකිව යුතු වැදගත් කොමිෂන් සභාව වල සාමාජිකත්වය දැැරීමට සුදුසු පුද්ගලයන් ජනාධිපති වෙත නිර්දේශ කිරීමයි . එවැනි නිර්දේශ ඉදිරිපත් කලයුතු කොමිෂන් සභා 9ක ලැයිස්තුවක් නිර්දේශ තුල ඇතුලත් විය. ඒ අතරින් ඇතැම් ඇතැම් කොමිෂන් සභාවන් ඒ වන විට පැවති අතර ඇතැම් කොමිෂන් සභාවන් පසුව ස්ථාපනය වී ඇත, ඇතැම් කොමිෂන් සභාවන් මේ වනතෙක් ස්ථාපනය වී නැත.


පොදුජන එක්සත් පෙරමුණේ මැතිවරණ ප‍්‍රකාශය-1993


ආණ්ඩුවේ බලය හිතුවක්කාරව පාවිච්චි කිරීම වැළැක්වීමේ ශක්තිමත් සංවරණ සහ තුලන ක‍්‍රමයකින් තොරව පුද්ගලික නිදහස ආරක්‍ෂා කළ නොහැකි බව 1993 පොදුජන එක්සත් පෙරමුණ මැතිවරණ ප‍්‍රකාශයේද සදහන් විය. එසේම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පැවති ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපතිධූරය අහෝසිකරන බවට චන්ද්‍රකා බණ්ඩාරණායක මහත්මිය පොරොන්දුවක්ද ලබාදුන්නාය.


රජයේ බලය බෙදාහැරීමේ යෝජනාවලිය-1995


රාජ්‍ය ආයතන නිර්දේශපාලණිකරණය පිලිබද මීලග නිළ ලේඛනය අපට හමුවන්නේ 1995 වසරේ අගෝස්තු මාසයේදී රජය විසින් එළිදක්වන ලද ‘රජයේ බලය බෙදාහැරීමේ යෝජනාවලිය” තුළය. එහි VII වන කොටස වන රාජ්‍ය සේවය යටතේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවන් පාළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත් කල යුතු බවයි. ර්‍’ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව” යන ආයතනය පිලිබදව පළමු නිල සදහන වන්නේ ‘පැකේය‘ ලෙසින් ජනප‍්‍රිය වු මෙම ලේඛනයයි.


රජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යොජනාවලිය-1997


ඉන් පසුව එම දේශපාලන යෝජනාවලිය තවදුරටත් සංශෝධනය කරමින් 1997 ඔක්තෝබර් මාසයේදී රජය විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලියක් ගෙන ආ අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව පිලිබදව වඩාත් විධිමත් ප‍්‍රතිපාදන ඇතුලත් විය. එහි වන පරිච්ඡේදය වෙන්වී තිබුණේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව පිළිබද ප‍්‍රතිපාදන වෙනුවෙනි. කථානායක. අගමැති,විපක්‍ෂනායක, ප‍්‍රධාන අමාත්‍ය සම්මේලනයේ සභාපති, සෑම ජනවර්ගයක්ම නියෝජනය VIX වන පරිදී තෝරාගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 7 දෙනෙක්, විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ගෙන් යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සමන්විත විය. ජාතික රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චොද්නා විමර්ශන කොමිෂන් සභාව, රාජා්‍ය භාෂා කොමිෂන් සභාව, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, යන කොමිෂන් සභාව සදහා සුදුසු සාමාජිකයින් ජනාධිපති වෙත නිර්දේශ කිරීම මෙම කොමිෂන් සභාවේ එක් කාර්යයකි. නීතිපති, යුධ හමුදා නාවික හමුදා ගුවන් හමුදා සහ පොලිස් ප‍්‍රධානියා, මැතිවරණ කොමසාරිස්. ඔම්බූඞ්ස්මන්, විගනකාධිපති යන ධුරයන් සදහා ජනාධිපති විසින් නිර්දේශ කරන පුද්ගලයන්ට අනුමැතිය ලබාදීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන කාර්යයි.


එක්සත් ජාතික පක්‍ෂයේ 43 වන වාර්ෂික සම්මේලනය-1997


1997 දෙසැම්බර් 21 වන දින පවත්වන ලද එක්සත් ජාතික පක්‍ෂයේ 43ව වාර්ෂික මහා සම්මේලනයේදී සම්මත කරගත් යෝජනාවක් වූයේ ර්‍ණනව දේශපාලන සංස්කෘතියක් උදෙසා ස්වාධීන මැතිවරණ කොමිසමක් පිහිටුවීම, ස්වාධීන පොලිස් කොමිසමක් පිහිටුවීම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් පිහිටුවීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කෙරෙන බලතල තවදුරටත් ශක්තිමත් කිරිම සිදුකළයුතු” බවයි.


නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහ ප‍්‍රධාන ආයතන නිර්දේශපාලනීකරණය කිරීම සඳහා වූ පුරවැසි උපදේශන කමිටු වාර්තාව-1988


1998 සැප්තැම්බර් 14 වනදින ශ‍්‍රි ලංකා පදනම් ආයතනයේදී විද්වතුන් 18 දෙනෙකුගෙන් සමත්විත ර්‍ණ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහ ප‍්‍රධාන ආයතන නිර්දේශපාලනීකරණය කිරීම සඳහා වූ පුරවැසි උපදේශන කමිටුව” නම් කමිටුව මගින් වාර්තාවක් එලිදැක්වූ විය. එකී වාර්තාවේ 8 වන ඡේදය වෙන්ව පැවතියේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදන පිළිබඳවය. ඒ අනුව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව,ජාතික රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, පිළිබඳව මෙන්ම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සභාවක් පිළිබඳව යෝජනාවන් ද එහි ඇතුළත්ව තිබිණි. මෙම පුරවැසි උපදේශන කමිටුවේ වාර්තාව කෙටුම්පත් කරන ලද්දේ කේ.එච්.ජේ.විජේදාස, බ‍්‍රැඞ්මන් වීරකෝන්, ඞී.එම්.ස්වාමිනාදන්, ස්වර්ණා ඔබේසේකර, ආනා සෙනවිරත්න, සිබ්ලි අසීස්, ඩබ්ලිව්.ඞී.අයිලප්පෙරුම, ඔස්වල් ෆර්ත් පියතුමා, ඒ.සී.එම්.හෂීම්, වෙල්වින් විජේසේකර, හෙන්රි ගුණතිලක, ඔස්ටින් ප‍්‍රනාන්දු, මොනිකා රුවන්පතිරණ, කිංග්ස්ලි රොඩි‍්‍රගො, ඒ.එල්.එම්.තන්ගවේල්, එල්මෝ පෙරේරා, ජානකී ගුණවර්ධන, ඞී.එස්.එස්. මායාදුන්න යන විද්වතුන්ය. මෙම උපදේශන කමිටුවේ කැදවුම්කරු වූයේ කරූ ජයසූරියය.


නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත 2000


2000 අගෝස්තු 3 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා කෙටුම්පතේ 110 ව්‍යවස්ථාව තුළ මැතිවරණ කොමිෂන් සභාව පිළිබදව ප‍්‍රතිපාදනද, 216 ව්‍යවස්ථාව තුළ ජාතික පොලිස් කොමිසම පිළිබඳව ප‍්‍රතිපාදන සහ පළාත් කොමිෂන් සභා පිළිබඳ ප‍්‍රතිපාදනද ඇතුළත් විය. එහි ඞෂඪ වන පරිච්ඡේදය වෙන්වූයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවෙනි. 2000 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 122(1) ව්‍යවස්ථාවට අනුව එකී ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් වූයේ උප ජනාධිපතිවරුන් දෙදෙනා, අග‍්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායකවරයා, පාර්ලිමේන්තුවේ කථානායකවරයා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විෂය භාර අමාත්‍යවරයා, ප‍්‍රධාන අමාත්‍යවරුන්ගේ සම්මේලනයේ සභාපතිවරයා සහ අගවිනිසුරුගේ අදහස අනුව ජනාධිපති විසින් පත් කරනු ලබන අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ලෙස සේවය කළ විශ‍්‍රාමික විනිසුරුවරුන් තිදෙනෙකුගෙන්ය.


විද්වත් වෘර්තිකයන්ගේ සංගම් සම්මේලනයේ 17 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත-2001 ජනවාරි


නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබදව බලාපොරොත්තු තබාගත නොහැකි බැවින් පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට රාජ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය සදහා ප‍්‍රතිපාදන ඇතුලත් කිරීම සදහා විද්වත් වෘර්තිකයන්ගේ සංගමයේ ලේකම් ලෙස කටයුතු කරන ලද එල්මෝ පෙරේරාගේ ප‍්‍රධානත්වයෙන් යුක්තව දේශපාලන පක්‍ෂ කිහිපයකද සහභාගීත්වයෙන් යුක්තව 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කර පාර්ලිමේන්තු මණ්ත‍්‍රිවරුන් 225 වෙතම යොමු කරන ලදී (2001 ජනවාරි මස) මෙම කෙටුම්පත මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවක් යෝජනා කර තිබිණි. එහි සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ට අමතරව දේශපාලනඥයින් නොවන සාමාජිකයින් 7 දෙනෙතුගෙන්ද සමන්විත විය යුතු බවට යෝජනා විය. කොමිෂන් සභා සදහා සුදුසු පුද්ගලයන්ගේ නම් ජනාධිපති වෙත නිර්දේශ කිරීම සහ ජනාධිපති විසින් නිර්දේශ කරන ඉහල රාජ්‍ය නිළධාරීන්ගේ නම් අනුමත කිරීම මෙහි කාර්යයි. එසේම ස්වාධින මැතිවරණ කොමිෂන් සභාවක් පිලිබද වූ ප‍්‍රතිපාදනද මෙම වාර්තාවේ ඇතුලත් විය.


පොදු ජන එක්සත් පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම-2001 සැප්තැම්බර්


2001 සැප්තැම්බර් මස 05 වන දින පොදුජන එක්සත් පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගන්නා ලදී. මෙකී ගිවිසුමේ කොන්දේසි අතර ගිවිසුමේ උපලේඛනයේ සදහන් 17 වන ආණ්ඩුක5ම ව්‍යවස්ථා සංශෝධනය ඔක්තෝබර් මාසයට පෙර සම්මත කල යුතු බවයි. මෙම ඇමුණුම සදහා භාවිතා කරන ලද්දේ විද්වත් වෘත්තියන්ගේ සංවිධාන සංගමය විසින් සම්පාදනය කරන ලද කෙටුම්පතයි.


17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය -2001


අවබෝධතා ගිවිසුමේ ප‍්‍රතිඵලයක් ලෙස 2001 000 දින පාර්ලිමේන්තුව විසින් 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා ලදී. මෙම සම්මත කරගැනීමේ විශේෂත්වය වූයේ කිසිදු මන්ත‍්‍රීවරයකු එකී කෙටුම්පතට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ නොකිරීමයි. පාඨලී චම්පිත මන්ත‍්‍රිවරයා ඡුන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලදී. මෙම සංශෝධනය මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව පළමුවරට නීතිගත විය. මෙම සභාවේ සාමාජිකයින් 10 දෙනෙකු වූ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකයින් 3 දෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නොවන සමාජ පිලිගැනීමට ලක්වූ පුද්ගලයන් 7 දෙනෙකුගෙන්ද මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සමන්විත විය. කොමිෂන් සභා සදහා සාමාජිකයන් ජනාධිපති වෙත නිර්දේශ කිරීමද අගවිනිසුරු ඉහල අධිකරණවල විනිසුරුවරු නීතිපති වැනි ඉහල නිධාරීන්ද පත් කිරීමේදී ජනාධිපතිගේ නිර්දේශ අනුමත කිරීමද මෙම සභාවට පැවරිනි.එසේම මෙම ව්‍යවස්ථා සංශෝදනය මගින් ජාතික පොලිස් කොමිෂන් සභාව සහ මැතිවරණ කොමිෂන් සභාව සදහා ප‍්‍රතිපාදන ඇතුලත් විය.


මෙම පළමු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නොවන සාමාජිකයින්ගේ නිල කාලය 2005 මාර්තු 5 වන දින අවසන් වීය. ජනාධිපති විසින් ඒ සදහා නව සාමාජිකයින් පත් නොකිරීම නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට රැුස්වීමට අවශ්‍ය ඝන පූර්ණය නොවීම නිසා අකර්මන්‍ය විය.


18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය -2010


2010 සැප්තැම්බර් 08 වන දින සම්මත කරන ලද 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අහෝසිකර ඒ වෙනුවට ර්‍ණපාර්ලිමේන්තු සභාව” ස්ථාපනය කරන ලදී. එකී සභාව සමන්විත වූයේ කථානායක අගමැති විපක්‍ෂනායක අගමැතිගේ විසින් නම්කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සහ විපක්‍ෂනායක විසින් නම්කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකුගෙනි. මෙම පාර්ලිමේන්තු සභාව කලින් පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව මෙන් බලැති ආයතනයක් නොවූ අතර ජනාධිපති විසින් සිදුකරන පත් කිරීම් සදහා නීරීක්‍ෂණ ලබාදීමක් පමණක් සිදුකිරිමට බලය පැවරිනි. ඔයට අමතරම මෙම සංශෝධණය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ බලතල අඩු කිරීමක්ද සිදුකරන ලදී.


19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය -2015


2015 අපේ‍්‍රල් 28 වන දින සම්මත කරන ලද 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නැවත ආණ්ඩක‍්‍රම ව්‍යස්ථා සභාව පිහිටුවන ලදී. එහි සාමාජිකයන් වූයේ කථානායක අගමැති විපක්‍ෂනායක ඇතුලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් 7ක් සහ අගමැති හා විපක්‍ෂනායක විසින් යෝජනා කර ජනාධිපති විසින් පත්කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් නොවන විශිෂ්ඨත්වයට පත් දේශපාලන පක්‍ෂ සාමාජිකයන් නොවන තිදෙනෙකුගෙනි. කොමිෂන් සභා සදහා ජනාධිපති වෙත සාමාජිකයින් නිර්දේශ කිරීම සහ අගවිනිසුරු ඉහල අදිකරණවල විනිසුරුවරුන් නීතිපති පොලිස්පති ඇතුලූ ඉහල නිළධාරීන් පත් කිරීමේදී ජනාධිපති විසින් නිර්දේශ කරන නම් සදහා අනුමැතිය ලබාදීම මෙම සභාවේ කාර්යයි. එසේම ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගනන සේවා කොමිෂන් සභාව නම් කොමිෂන් සභා 2ක් මෙම සංශෝධනය මගින් අලූතින් ස්ථාපනය කරන ලදී. එසේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ, මැතිවරණ කොමිෂන් සභාවේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලතල වැඩි කරන ලදී,


20 වන ආණ්ඩකු‍්‍රම ව්‍යවස්තා සංශෝධන කෙටුම්පත 2020 සැප්තැම්බර්


2020 අගොස්තු මස 28 වන දින 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධණය සදහා වන කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයාගේ නියමයෙන් ගැසට් පත‍්‍රයේ අතිරේකයන් ලෙස පලකරන ලදී, මෙම කෙටුම්පත මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා සභාව අහෝසි කිරීමට යෝජනා කර ඇත. ඒ වෙනුවට පත් කරන ර්‍ණපාර්ලිමේන්තු සභාව” කිසිදු බලයක් නොමැති ආයතනයක් වේ. එසේම 19 වන සංශෝධනය මගින් ස්ථාපනය කරන ලද විගනන සේවා කොමිෂන් සභාව සහ ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කිරිමට යෝජනා කෙරේ. එසේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ, මැතිවරණ කොමිෂන් සභාවේ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලතල අඩු කිරීමක්ද සිදු කෙරේ. එසේම විගනකාධිපතිගේ මෙන්ම පාර්ලිමේන්තුවේද මූල්‍ය පාලනය පිලිබද විෂය පථය පටු කිරීමක් මේ මගින් සිදුවේ. සියලූම කොමිසන් සභාවල ස්වාධිනත්වය ඉවත්වන අතර ඒවා විධායකයට යටත් කොමිෂන් සභා බවට පත්වේ.


1980 අගභාගයේදී ආරම්භ වූ රාජ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය කිරීමේ ක‍්‍රියාවලිය සදහා අද පාර්ලිමේන්තුව නියෝජනය කර බොහෝ මන්ත‍්‍රිවරුන් දායක වී ඇති බව ඉතිහාසය පිලිබද විමසා බැලීමේදී පැහැදිලි වේ. මෙම ක‍්‍රියාවලිය 17 හා 19 සංශෝධන මගින් ශක්තිමත්වූ බවද 18 වන සංශෝධනය මගින් දුර්වල වූ බවද පෙනේ, ප‍්‍රසිද්ධ කර ඇති 20 වන සංශෝධනය ඒ ආකාරයෙන්ම සම්මත වුවහොත් වෙන කවරදාකටත් වඩා බලවත් වූ විධායක ජනාධිපතිධූරයක් බිහිවන අතර එකී ජනාධිපතිධූරයට සියලූම රාජ්‍ය ආයතනවල ස්වාධිනත්වය පමණක් නොව ජනතා ඡුන්දයෙන් පත්වන පාර්ලිමේන්තුවද යටත් වනු ඇත. සරලව කිවහොත් විධායක ව්‍යවස්ථාදායක අධිකරණ යන ආයතන එකක් බවට පත්වේ,


-නීතිඥ ජගත් ලියන ආරච්චි-

Tags: