IMG-LOGO
Home Articles ඔබ 19 අහෝසි කරනවාට විරුද්ධ විය යුතු ඇයි ?

ඔබ 19 අහෝසි කරනවාට විරුද්ධ විය යුතු ඇයි ?

Date : 2020-Sep-15
IMG
19 වන ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ජනාධිපති අතේ තිබ්බ අත්තනෝමතික ලෙස භාවිත කළ හැකි බලය පාර්ලිමේන්තුවට, අධිකරණයට ලබා දුන්න ප්‍රගතිශිලි වෙනසක්.  19 අහෝසි කිරීමෙන් මේ රටේ පුරවැසියෝ දීර්ඝ කාලයක් ඉල්ලා සිටි, වෙනස්කම් 29 ක් රටට අහිමි කරලා, මේ රට ශිෂ්ඨත්වයෙන්, මිලේච්ඡත්වය දක්වා ආපසු ගමන් කරවනවා. 


17 සංශෝධනයෙන් දිනා දුන් දේ, 18 න් අහෝසි කළා.  ඒ ජයග්‍රහණ 19 න් නැවත රටට ලැබුණේ, මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු මේ රටේ සිවිල් ක්‍රියාකාරීන් ගෙන ගිය අරගලය නිසයි. 


මම 19 සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට විරුද්ධ වෙන කරුණු 29 ක් තියෙනවා. ඒවා එකින් එක පැහැදිලි කරන්නම්,   


1.      30 (2) වගන්තිය යටතේ වසර 5 ක් දක්වා අඩු කරපු ජනාධිපතිවරයාගේ ධූර කාලය නැවත වසර 6 ක් දක්වා දීර්ඝ වෙනවා.  ඒ කියන්නේ නැවත ඡනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ  2025 සැප්තෑම්බර් – ඔක්තෝබර්. අවුරුදු 6 ක ධූර කාලයක් රටකට බරක්. ලෝකය රාජ්‍ය නායකයාගේ ධූර කාලය අවුරුදු 4 දක්වා අඩුකරන යුගයක, අපි ආපසු වසර 6 ක් දක්වා වැඩි කළ යුතු  නෑ.


2.      31 (2) වගන්තිය හා 92 වගන්තිය අනුව ජනාධිපතිවරයෙකුට අවස්ථා 3 ක් හෝ එයට වැඩි අවස්ථා ගණනක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව ලැබෙන්නේ නෑ.  ලෝකයේ ශිෂ්ඨ රටවල් වාර දෙකකට වැඩිය රාජ්‍ය නායකයෙක් තියාගන්නේ නෑ. අවුරුදු 10 කින් කරන්න බැරි දේ, අවුරුදු සීයක් හිටියත් කරන්න බෑ.  කිසිම ශිෂ්ඨ රටකට ‘යාවජීව නායකයෝ‘ අවශ්‍ය නෑ.  


3.      ජනාධිපතිවරයාට විරුද්ධව දික්කසාද නඩුවක් හෝ පවරන්න බෑ කියලා කලකට ඉහත විහිළු කථාවක් තිබුණා ඔබට මතක ඇති.  19 ව්‍යවස්ථා සංශෝධනයේ 35 වගන්තිය අනුව, ජනාධිපතිවරයාගේ අසීමිත මුක්තිය නැති වුණා.  දැන් ජනාධිපතිවරයාට විරුද්ධව මුලික අයිතිවාසිකම් නඩු පවරන්න පුළුවන්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ රටේ පුරවැසියෝ මුලික අයිතිවාසිකම් නඩු ගණනාවක් පවරලා තියෙනවා. ජනාධිපතිවරයෙකු හිතුවක්කාරී තීරණයක් ගත්තොත් අධිකරණයට යන්නට අවස්ථාවක් තිබිය යුතුයි. 19 අහෝසි වුනොත්, ඒ අයිතිය නැති වෙනවා.


4.      42 වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා පත් කිරීමේ බලය ‘පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගත් මන්ත්‍රීවරයාට පමණක්‘ ලබාදීම සිදු වුණා.  පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය නැති බව පෙන්වන්නට පුළුවන් නම්, ජනාධිපතිවරයාගේ කැමැත්ත කුමක් වුනත් ඒ පුද්ගලයාට අගමැති ධූරයේ කටයුතු කරන්න බැරි පරිසරය හැදුවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙනි. පාර්ලිමේන්තුවේ 113 ක් නැති අයෙකුට අගමැතිකම දෙන්න පාර කපනවාට ඔබ කැමතිද? මම විරුද්ධයි.  ඒ නිසා, 19 සංශෝධනය රැකෙන්නට ඕනි.


5.      43 (1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට තමන් කැමති අමාත්‍යාංශ ගණනාවක් තමන් වෙතම රඳවා ගැනීමේ බලය අහිමි කරනු ලැබුවා.  19 ට කලින් ජනාධිපතිවරයාට රටේ තියෙන ඔක්කොම අමාත්‍යාංශ තමන්ගේ නමින් ගැසට් කර ගැනීමේ හැකියාව තිබුණා. අද එවැනි තත්වයක් නෑ.  ආයෙත් සැරයක් රටේ තියෙන හොඳම අමාත්‍යාංශ ජනාධිපති අතට පත්වෙලා අන්ත අකාර්යක්ෂම පාලනයක් ඇතිවෙනවාට මම විරුද්ධයි. 


6.      43 (2) වගන්තියට අනුව, දැන් අමාත්‍යවරුන් හා කැබිනට් මණ්ඩලය පත් කිරීම විතරක් නෙවෙයි ඉවත් කිරීමත් අගමැතිවරයා විසින් සිදු කළ යුතුයි.  එය ජනාධිපතිවරයාගේ හිතූ මනාපයට සිද්ධ කරන්න බෑ.  (2004 දී චන්ද්‍රිකා ජනාධිපතිතුමිය ජනමාධ්‍ය, ආරක්ෂක ඇතුළු අමාත්‍යාංශ 3 ක් පවරා ගැනීම වැනි ව්‍යවහාරයක් වැලැක්වූනේ 19 සංශෝධනයෙන්) ජනාධිපති, හිතුවක්කාරී ලෙස අමාත්‍යාංශ පවරා ගන්නවාට මම විරුද්ධ නිසයි 19 රැකෙන්න ඕනි.


7.      43 (3) වගන්තියෙන් ජනාධිපතිවරයාට අමාත්‍යවරයෙකු ගේ විෂය හා කාර්යය වෙනස් කරන්න පුළුවන්.  නමුත්, ඔහුට අගමැතිවරයා කැමැත්ත නැතිනම් කැබිනට් මණ්ඩලයෙන් නෙරපන්න බැරි පරිසරය හැදුණේ 19 සංශෝධනයෙනි.


8.      44 වගන්තියේ දැක්වෙන රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේ දී ද, ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත නොව, අග්‍රාමාත්‍යවරයාට එහි වැඩි බලයක් ලබාදීම බල තුලනයට වැදගත්. එය වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නිසයි මම 19 රැකගත යුතු යැයි  කියන්නේ.  


9.      45 වගන්තියෙන් නියෝජ්‍ය ඇමතිවරු පත් කිරීමේ දී ද, අග්‍රාමාත්‍යවරයාට වැඩි බලයක් හිමි වුණේ, 19 නිසයි. කේලම් කියන, ගෙදර බල්ලා නාවපු නිසා නියෝජ්‍ය ඇමතිවරු වුණු යුගය අවසන් කරන්නට 19 සංශෝධනයෙන් පටන්ගත්තා.  ඒක ආපසු හැරවිය යුතු නෑ.


10.  52 වගන්තියෙන් අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙනවා.  අගමැති කැබිනට් මණ්ඩලය තෝරාගත්තාට, ලේකම්වරුන් පත් කිරීම ජනාධිපතිවරයාට ලැබීම තුල විධායකය හා ව්‍යවස්ථාදායකය අතර බල තුලනයක් ඇති වුණා.  ඇමතියි, ලේකම් දෙන්නාම එක්ක අයෙකු පත් කරන විට විධායකයේ අවශ්‍යතාවට නැටවෙන අමාත්‍යාංශ බිහිවෙනවා.  එයින් සිදු වුණු විනාශය අඩු කරන්න, 19 සංශෝධනය හේතු වුණා.


ශිෂ්ඨ රටකට විධායකය, ව්‍යවස්ථාදායක හා අධිකරණය අතර බල තුලනයක් අවශ්‍යයි. තුලන හා සංවරණය ඇති කිරීම යහපත් ආණ්ඩුකරණයක ලක්ෂණයක්. 19 සංශෝධනය ජේ.ආර්. ගේ ව්‍යවස්ථාවෙන් ‘අතුරුදන් කරපු‘ තුලන හා සංවරණය නැවත ඇති කළා.  ලංකාව ආයෙත්, ජේ.ආර්.ගේ ගෑණියෙක් පිරිමියෙක් කරන්න විතරක් බැරි ඒකාධිපති – අශිෂ්ඨ ව්‍යවස්ථාව කරා ආපසු ගමන් නොකළ යුතුයි.     


11.  ජනාධිපතිවරයා සතුව තිබූ බලය ක්‍රියාත්මක කිරීම සඳහා 41 වගන්තිය යටතේ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක්‘ 19 සංශෝධනයෙන් ඇති වුණා.  එය ජනාධිපතිවරයා සතු බලයෙන් කොටසක් පාර්ලිමේන්තුවටත්, රටේ සිවිල් සංවිධානවලටත් බෙදීයාමකි. 


12.  ව්‍යවස්ථාවේ  41 ( ඇ) වගන්තිය අනුව, කොමිෂන් සභා 9 කට (මැතිවරණ, රාජ්‍ය සේවා, ජාතික පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන), මුදල්, සීමා නිර්ණය, ජාතික ප්‍රසම්පාදන) කොමිසන් සභා සඳහා පුද්ගලයින් පත් කිරීමට ජනාධිපතිවරයාට හැකිවන්නේ, ව්‍යවස්ථා සභාවේ නිර්දේශයෙන් පමණයි.


13.  උප ලේඛණයේ දෙවන කොටස යටතේ දැක්වෙන තනතුරු සඳහා  (අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු, අභියාචනාධිකරණයේ සභාපති හා විනිසුරුවන්, අධිකරණ සේවා කොමිසම සභාපති හා සාමාජිකයින්, නීතිපති, පොලිස්පති, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්) පුද්ගලයින් පත් කිරීම ජනාධිපතිවරයාගෙන් නම් යෝජනා කිරීමෙන් පසුව, ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගැනීමට 19 සංශෝධනය නිසා සිදු වෙනවා.  


14.  රාජ්‍ය සේවයේ තනතුරුවලට අදාල බලය 54 වගන්තියේ සිට 61 දක්වා වගන්තිවලින් පාලනය වුණා. 19 අහෝසි වුනාම නැවත සිදුවන්නේ, දේශපාලනඥයින් පිටුපස යන්න වෙන එකයි.


15.  පොලිස්පති, නීතිපති, විගණකාධිපති, ඔම්බඩ්ස්මන්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, විනිසුරුවන් පත් කිරීමේ දී ජනාධිපතිවරයා නම් යෝජනා කිරීමත්, ව්‍යවස්ථා සභාවේ වෙතින් එම නම් සඳහා අනුමැතිය ලබාගැනීමත් 19 නිසා ඇතිවූ ව්‍යහාරයකි.   අඩුම ගානේ පාර්ලිමේන්තුවට, රටේ කණ්ඩායමකට හෝ ඉහතින් දැක්වූ තනතුරු වලට පත්වෙන පුද්ගලයින් ගැන අදහසක්/ විවේචනයක් තියෙනවා නම් එය ඉදිරිපත් කරන්න හෝ අවස්ථාව හෝ ලැබුණේ 19 සංශෝධනය නිසයි. 


16.  අවුරුද්දක් ගිය පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තිබූ බලය  70 වගන්තියෙන් වසර 4  ½ ක් දක්වා වැඩි කරනු ලැබුවේ 19 සංශෝධනයෙනි.  චන්ද්‍රිකා පාර්ලිමේන්තු විසිරුවා හැරි ආකාරයට, තමන් කැමති වෙලාවට, කැමති විදිහට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවන යුගයක් රටට අවශ්‍ය වන්නේ නෑ.  19 අහෝසිවීම වැලැක්විය යුත්තේ ඒ නිසයි.


17.  104 වගන්තිය මගින් මැතිවරණ කොමිසන් සභාවට මැතිවරණ සම්බන්ධයෙන් විශාල බලයක් ලබාදී තිබෙනවා.  එය මෙරට මැතිවරණ ක්‍රමය ප්‍රචණ්ඩත්වයෙන් අවම කරන්න, මැතිවරණ දුෂණ අඩු කරන්නට, රාජ්‍ය සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම සීමා කිරීමට හේතුවක් වුණා.  මැතිවරණ කොමිසම ජනාධිපතිවරයටත් වඩා බලවත් බව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී පැහැදිලිවම පෙනුණා. 19 අහෝසි වෙනවා කියන්නේ මැතිවරණ කොමිසම ඉවත් වී නැවත, අර ‘ආතතිය හැදෙන්නට පුළුවන්‘ තනි පුද්ගලයෙකු යටතේ මැතිවරණ පැවැත්වීමයි.


18.  ජනාධිපතිවරයා ගෙදර යන ගමන් හිටපු හැටියේ ‘විනිසුරුවන්ට පත්වීම් දුන් අතීතයක් තිබුණා.  107 වගන්තිය යටතේ අගවිනිසුරු ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්, අභියාචනාධිකරණයේ සභාපති හා විනිසුරුවන් පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගැනීමට ජනාධිපතිවරයාට සිදු වුණේ 19 නිසයි.  විනිසුරුවන් පත් කිරීමේ දී නම් කිහිපයක් විවෘතව සලකා බැලීමේ තත්වය මතු වුණේ, 19 සංශෝධනය නිසයි.


19.  111 වගන්තිය යටතේ අධිකරණ සේවා කොමිසන් සභාව හා එහි සංයුතිය තීරණය කිරීමේ ප්‍රතිපාදන ලැබුණේ 19 නිසයි. දැන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ බලයට ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පස්සා දොරෙන් බලපෑම් කරන්නට නම්, 19 අහෝසි විය යුතුයි.  අධිකරණ සේවා කොමිසමට ජනාධිපතිවරයා නම් යෝජනා කරන පුද්ගලයා, ව්‍යවස්ථා සභාව විසින් අනුමත නොකරන්නේ නම්, ඔහුට තනතුර ලැබෙන්නේ නැත්තේ ද, 19 නිසයි.


20.  153 හා 153 (අ) වගන්තිය අනුව විගණකාධිපති පත් කිරීම, විගණන කොමිසම පිහිටුවීම හා එහි සංයුතියට අයත් කරුණු ඇතුළත් වෙනවා.  19 අහෝසි කරනවා කියන කොට නිතැතින්ම මතුවන ප්‍රශ්නය තමයි, විගණන කොමිසම අහෝසිවෙනවාද? කියන එක. අපි දැක්කා, විවිධ ආණ්ඩු විගණකාධිපතිවරයාට බලපෑම් කරන්න දරපු උත්සාහයන්.  19 සංශෝධනය එවැනි බලපෑම් නැති කළා විතරක් නෙවෙයි, විගණන කොමිසමක් ඇති කලා. දුෂිත නිලධාරීන් විගණන කොමිසමට කිසි ලෙසකින් වත් කැමති නැති බව පැහැදිලි සත්‍යයක්.


21.  155 අ වගන්තිය යටතේ පිහිටවූ ජාතික පොලිස් කොමිසමේ කටයුතු පිළිබඳ සෘණාත්මක අදහසක් තියෙනවා. දේශපාලනඥයින් පොලීසියේ කටයුතුවලට අත පෙවීම පොලිස් කොමිසම ස්ථාපනය කිරීමෙන් අවසන් වුණා.  19 සංශෝධනය අහෝසි කිරීම, පොලිස් කොමිසම නැතිකරලා අයෙත් ප්‍රාදේශීය දේශපාලනඥයින් පොලීසියට නියෝග දෙන යුගය කරා ගෙනයන්න හේතුවකි.


22.  156 අ වගන්තියෙන් පත් කළ අල්ලස් කොමිසම අහෝසි කිරිම සිදුවනවා නම්, එය සෘජුව ‘අල්ලස හා දුෂණය‘ ප්‍රවර්ධනය කිරිමට හේතුවක් වනු ඇත්තේය.  අල්ලස් කොමිසම අහෝසි කර ගැනීමට අවශ්‍ය වන්නේ දැනට පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් දේශපාලන බලය හිමිකරගෙන සිටින පිරිසට යි.   19 සංශෝධනයෙන් ‘ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු අල්ලස් පනතක්‘ ස්ථාපනය කිරීමට මඟ පැදුණා.  පැමිණිල්ලක් නැතිව අල්ලස් කොමිසමට විමර්ශන ආරම්භ කිරීමේ බලය ලැබුණේ, 19 නිසයි.  මේ තත්වය සම්පූර්ණයෙන්ම ආපසු හැරවීම සිදු නොවිය යුත්තක්.


23.  156 ආ වගන්තියෙන් පත්  කළ ජාතික ප්‍රසම්පාදන කොමිසන් සභාවේ ඉරණම ගැන අපි වෙනම සංවාදයක් කළ යුතු වෙනවා.  ගෙඩිය පිටින් 19 අහෝසි කරනවා කියන්නේ, නැවත වරක් අන්ත දුෂිත දේශපාලනඥයින්ට හා රාජ්‍ය නිලධාරීන් පිරිසකට, සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය තම අභිමතය අනුව ආපසු හැසිරවීමට හැකිවීමයි.   


24.  19 සංශෝධනය 14 අ වගන්තිය මගින් තොරතුරු වෙත ප්‍රවේශය අයිතිවාසිකමක් ලෙස පිළිගනු ලැබූවේ මේ රටේ සිවිල් සමාජය සිදු කළ දැඩි බලපෑම් නිසයි.  අද රටේ බලවත් පුද්ගලයින් පමණක් නොවෙයි, අව වරප්‍රසාදිතයින් පවා, විටෙක පාසල් දරුවන් පවා රජයේ තොරතුරු ලබා ගන්නවා.   තොරතුරු පනත මගින් රජයේ කාර්යාලවලින් තොරතුරු ලබා ගැනීම නිසා රාජ්‍ය ක්‍රියාකාරීත්වයේ විනිවිද භාවයක් ඇතිවී තිබෙනවා.  අකාර්යක්ෂමතාව අඩුවී තිබෙනවා.  මේ තොරතුරු ලබාදීම දුෂණ වැලැක්වීම සඳහා පුළුල් පිටුවහලක්වී තිබෙනවා.  තොරතුරු පනත 19 සංශෝධනය ඇතිකළ වෙනසකි.  එය අහෝසිවනවාට ශිෂ්ඨ මිනිසෙකුට කැමතිවන්නට බෑ.


25.  43 (2) ඇමතිවරු සංඛ්‍යාව 30 ක් සහ රාජ්‍ය /නියෝජ්‍ය ඇමතිරවරු 40 ක් ඉක්මවිය නොහැකි සීමා දැම්මේ 19 සංශෝධනය යි. 


26.     46 (4) ජාතික ආණ්ඩුවක් බිහි කරන්නේ නැතිව ඇමති මණ්ඩලය වැඩි කරන්නට බැරි සීමා පැනවීම සිදුවූයේ 19 සංශෝධනය නිසයි.


27.  92 වගන්තියෙන් අවුරුදු 35 ට අඩු ලාබාලයෙක් ජනාධිපතිවීම වැලැක්වීම,


28.  91 (1) XIII ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බව,


29.  පුරවැසියන්ට නීතියක්, පනතක් පාර්ලිමේන්තුවේ සම්මතවීම වලක්වා ගැනීමට, ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට අවස්ථාව තිබෙනවා. නමුත්, පාර්ලිමේන්තුවට හදිසි පනත් ගෙන ඒම තුලින් ඒ අයිතිය අහිමි වූ අවස්ථා අපි අතීතයේ දැක්කා.  හදිසි පනත් ගෙනඒම වැලැක්වීම 19 සංශෝධනය මෙරට පුරවැසියන්ට දුන්නු විශිෂ්ඨ අවස්ථාවකි.  19 අහෝසිවීමේ වැඩිම බලපෑම, මර්ධනකාරී නීති පස්සා දොරෙන් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නැවත අවස්ථාවක් ලැබීමයි.  


19 අහෝසි කිරීම හුදෙක් නීතියක් වෙනස් කිරීමට ඉක්මවා ගිය දේශපාලනික මැදිහත්වීමක්.  පරිවාස ආණ්ඩුව සමයේ, ගෙන ආ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  නිසා මේ රටේ ජනතාව දිනාගත් ජයග්‍රහණ 18 ව්‍යවස්ථාවෙන් ආපසු හැරවුණා.  ඒවා නැවත ලබා දෙන්නට, වඩාත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී  රාජ්‍යකරණයක් සඳහා 19 ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ සිවිල් ක්‍රියාකාරීන්ගේ බලපෑම නිසයි.  අද නැවත වරක්, 19 රැකගැනීමේ වගකීම දේශපාලනඥයින්ටත් වඩා, සිවිල් ක්‍රියාකාරීන්ගේ වගකීමක් බවට පත්වෙමින් තිබෙනවා.

-රජිත් කීර්ති තෙන්නකෝන් – හිටපු දකුණ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර-


Tags: