IMG-LOGO
Home Articles 20 වන සංශෝධනයෙන් මැතිවරණ කොමිසම ඇතුළු ප්‍රජාත්‍රන්තවාදයේ දොර කවුළු විනාශ කරන අයුරු

20 වන සංශෝධනයෙන් මැතිවරණ කොමිසම ඇතුළු ප්‍රජාත්‍රන්තවාදයේ දොර කවුළු විනාශ කරන අයුරු

Date : 2020-Sep-14
IMG

20 වන ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ කොමිසමේ අධිකාරි බලය සම්පූර්ණයෙන්ම විනාශ කරයි.  රනිල් ගේ එජාප ව්‍යවස්ථාව හා පක්ෂ නායකත්වය පිළිබඳ සංකල්පය මත කෙටුම්පත් වී ඇති 20 සංශෝධනයේ මැතිවරණ කොමිසමට අදාළ වගන්ති නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට මාරාන්තික වනු ඇත. දේශපාලනඥයින්ට, ඡන්දදායකයින්ට, මැතිවරණ නිරීක්ෂකයින්ට, පුරවැසියන්ට පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ටත් එහි දිග පළල තම තම නැන පමණින් තෝරා බේරා ගැනීමට මේ ටික ලියා තබමි.


1.  20 ට අනුව, මැතිවරණ කොමිසම පත්කරන්නේ, අද ව්‍යවස්ථාවේ ඇති ආකාරයට,  ‘ව්‍යවස්ථා සභාවේ නිර්දේශය‘ මත නොව කෙළින්ම ජනාධිපතිවරයා ය. සංයුතිය, ව්‍යූහය හා කාර්යභාරය වෙනස් කළ ‘ව්‍යවස්ථා සභාවකින්‘ බලාපොරොත්තු විය හැකි ‘විනිවිද භාවයක් නැති අතර,  ජේ.ආර්.ගේ ඒකාධිපති ව්‍යවස්ථාවේ කලවාන, මහර, යාපනය සංවර්ධන සභා ක්‍රමයට ලංකාවේ අනාගත මැතිවරණ මිලේච්ඡත්වයට පත් වනු නොවැලැක්විය හැකි වනු ඇත.


2.  ජනාධිපති පත් කරන ත්‍රී පුද්ගල මැතිවරණ කොමිසම, ජනාධිපතිවරයා නැවත වරක් ජනමතය උරගා බලන, ඊලඟ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පවත්වයි.   ජනාධිපතිවරයෙකුට තමන් කැමති තිදෙනෙකු කොමිසමට පත් කර, ජනාධිපතිවරණ කැඳවිය හැකිය.  මෙවැන්නක් මෙයට පෙර හමුවී ඇත්තේ රනිල් ගේ එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාවේ පමනී.  එහි, රනිල්ම ව්‍යවස්ථාව සංශෝධනය කර, රනිල්ම කෘත්‍යාධිකාරි මණ්ඩලය ද පත් කර, කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්දයෙන් රනිල් ම නායකයා බවට පත්වෙයි. යෝජිත 20 දී, ජනාධිපතිවරයා ඔහුම රටේ ව්‍යවස්ථාව සංශෝධනය කර, ඔහුම කොමිසමට සාමාජිකයින් පත් කර, ඔහුටම නැවත රාජ්‍ය නායකයා විමට ඡන්දය ඉල්ලා සිටිය හැකිය.


3.  ප්‍රේමලාල් ජයසේකර ඇතුළු මන්ත්‍රී ඡන්දයෙන් 20 සම්මත වූවහොත්, ජනාධිපති ගේ තනි කැමැත්තට මැතිවරණ කොමිසම පත්වේ. උදාහරණයක් ගනිමු.  2019 නොවැම්බර් පත් වූ වත්මන් ජනාධිපතිවරයාට වසර 4 කට පසුව, නැවත 2023 නොවැම්බර්, නැවත ජනවරමකට ඉල්ලා සිටිය හැකිය.    20 සම්මත වූ පසුව, ජනාධිපති පත්කරන කොමිසම, කොමිසමේ කොමසාරිස් ජෙනරාල් පත් කරයි.  ඒ කොමසාරිස් ජෙනරාල්, 2023 නොවැම්බර් මසින් පසුව ඕනෑම දිනෙක පැවැත්විය හැකි ජනාධිපතිවරණය මෙහෙයවයි.  කොමිසමත් – කොමසාරිස් ජෙනරාලුත් තියෙන පුද්ගලයාම, ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වෙයි.   මේ සන්ධර්භය රනිල්, එජාප පක්ෂ නායකයා, ව්‍යවස්ථාව, කෘත්‍යාධිකාරි මණ්ඩලය හා පක්ෂ නායකත්වය යන ක්‍රියාවලියට සර්ව – සම කරන්නේය.   


4.  කොමිෂන් සභාවේ එක් සාමාජිකයෙකු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු හෝ එයට ඉහළ නිලයක් දැරූ අයෙකු විය යුතු යැයි කියන වත්මන් ව්‍යවස්ථාවේ, 103 (1) වගන්තිය 20 න්  සංශෝධනය වේ.  ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාවට පළපුරුද්දක් ඇති අයෙකු පත්වීමට තිබූ අනිවාර්ය අවශ්‍යතාව ඉවත් වන්නේය.  මැතිවරණ ක්‍රියාවලිය ගැන විධිමත් අවබෝධයක් නොමැති පුද්ගලයින්ගේ කථා, වැඩ, මෙහෙයුම්, ක්‍රියාවන් සමඟ වසර 13 ක් මම මැතිවරණ හා ගෙවා ඇත්තෙමි.  මා ඉදිරිපිට මැවෙන චිත්‍රය ගැන කියන්නට ඇත්තේ ‘බුදු අම්මෝ‘ කියා පමණකි.


5.  19 සංශෝධනයෙන් පසුව, මැතිවරණ ක්‍රියාවලිය ‘නිදහස් හා සාධාරණ‘ සාධනීය පාලනයකට නතු වූවේය.   එය සිදුවුයේ රාජ්‍ය සේවකයින්, ජනමාධ්‍ය, මැතිවරණ නිරීක්ෂකයින් ආදී වශයෙන් තෝරාගත් කණ්ඩායම්වලට උපමාන නිකුත් කිරීම මගිනි. යෝජිත 20 සංශෝධනය මගින්,  104 (5) (අ) වගන්තිය සංශෝධනය කර,  උපමාන පැනවීම සම්බන්ධයෙන් සීමා පනවා ඇත. මෙය ඒ අනුව, මැතිවරණ කොමිසමට උපමාන පැනවිය හැක්කේ, මැතිවරණයට සෘජුව සම්බන්ධ වූ කාරණාවලට පමණකි.  (ජනාමධ්‍යයට උපමාන පැනවිය නොහැකිය) 


තව ද, එම උපමාන ‘‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ පාරිපාලන සීමාව ඇතුළත වූ යම් කාරණයකට හෝ  සෘජුව සම්බන්ධ නොවිය යුතු බව‘‘ ට 20 හි දැක්වේ.   මෙහි අරුත පැහැදිලිය.  මැතිවරණ කොමිසමට කිසිදු පත්වීමක් නැවැත්වීමේ බලය අහිමිවන්නේය.  කිසිදු මාරු කිරීමක්, උසස් කිරීමක් නැවැත්වීමේ බලය අහිමි වන්නේය.  උදාහරණයක් ලෙස, පසුගිය ජනාධිපතිවරණ සමයේ නවතා දැමූ ‘ව්‍යාපෘති සහායක‘ පත්වීම, මහා මැතිවරණ සමයේ නැවැත්වූ ‘‘රැකියා ලක්ෂයේ වැඩසටහන‘ ආදී දේශපාලන අල්ලස් නැවැත්වීමේ බලය අහිමි වන්නේය.  රජයේ අරමුදල් වලින් බඩු බෙදිල්ල කැමැති ලෙස කරගෙන යා හැකිය.   රාජ්‍ය ඇමතිවරුන්ගේ වාහන පිළිබඳ කටයුතු කළ නොහැකි වනු ඇත.  ජේ.ආර්. 1982 ජනමත විචාරණය තැබූවෙත්, චන්ද්‍රිකා යුගයේ වයඹ ඡන්දය තිබුණේත් මෙවැනි සංදර්භයකය.  ඔබට මතක ද?


6.  104 (ආ) අ වගන්තියට සිදු කර ඇති සංශෝධනය ලැජ්ජා සහගතය.  රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව මැතිවරණ කොමසාරිස්ගේ උපමාන අනුව ක්‍රියාකළ යුතු විය.  ජාතික රූපවාහිනියට මැතිවරණ කොමිසම කඩා වැදුණේ මේ බලය ඔවුන් සතු වූ නිසාය.  ස්වාධීන කොමිසමට ගැසූ ලිපිය ආපසු කැඳවූයේ කොමිසමේ සාමාජිකයින් අතර  එකඟතාවයක් නොවූ නිසාය.  දැන්, 20  සංශෝධනයෙන් කියන්නේ ‘‘සභාපතිවරු උපමාන පිළිපැදිය යුතු බව පමණී.  පිළි නොපැද්දොත් කොන්ද කැඩූ මැතිවරණ කොමිසමට කළ හැකි දෙයක් නැත. ගත හැකි ක්‍රියාමාර්ගයක් නැත. මෙවැනි නීතියක් යටතේ ලංකාවේ නම ගිය මැතිවරණ දුෂකයින්ට අවශ්‍ය නම් ‘ගස් කපන්නට වනාතවිල්ලුව ගිණි තැබූ ලෙස‘ කටයුතු කිරීමේ හැකියාව ලැබෙන්නේය.  19 න් බලය දී තිබුණත්, මැතිවරණ කොමිසම ක්‍රියාත්මක නොකළ බලය, ප්‍රජාතන්ත්‍රවාදයේ ‘වාන් දොරටු‘ විවර කළ පසු රැකෙන්නේ නැති බව කියන්නට ඡන්දයකින් ගුටිකන්නට අවශ්‍ය නැත.


7.  මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් පත් කරන්නේ මේ කොන්ද කැඩා ගත් කොමිෂන් සභාව යි.  සංශෝධනයෙන්, 170 ව්‍යවස්ථාවට සිදු කර ඇති සංශෝධනය මගින්, මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා තවදුරටත්, රාජ්‍ය  නිලධාරියෙකු නොවේ.  කොමසාරිස් ජෙනරාල් තනතුර තවදුරටත් රාජ්‍ය නිලධාරියෙකු නොවීම නිසා, ඕනෑම පුරවැසියෙකු එම තනතුරට පත් කිරීමේ හැකියාව කොමිෂන් සභාවට ලැබේ.  (රාජ්‍ය නිලධාරියෙක් තම තනතුර, රැකියා සුරක්ෂිත භාවය, වරප්‍රසාද නැති කරගෙන කොමසාරිස් ජෙනරාල්වීමට පැමිනෙතැයි සිතිය නොහැකිය) මැතිවරණ පිළිබද අත්දැකීම් නොමැති,   කොමසාරිස්වරු තිදෙනෙකු හා මැතිවරණ අත්දැකීම් නැති කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත් වූ විට, මැතිවරණ කොමිසමට, මැතිවරණ ක්‍රියාවලියට දෙවියන්ගේම පිහිටය.


8.   තව ද, මැතිවරණ කොමිසමේ සිටින ඉහළ රාජ්‍ය සේවකයෙකුට ඒ අනුව කිසිදා කොමසාරිස් ජෙනරාල් වන්නට හැකියාව හෝ අවස්ථාව ලැබෙන්නේ නැත.   ඒ නිසා කිසිදු දක්ෂ රාජ්‍ය නිලධාරියෙකු වැඩි කලක් මැතිවරණ කොමිසමේ නොරැදෙනු ඇත.    


9.   යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ 40 (1) වගන්තිය (සිංහල ලේඛනයේ 32 පිටුව) ට අනුව ජනාධිපති හා අගමැති කාර්යාලය විගණනයෙන් විගණකාධිපති ඉවත් කර ඇත.  (දැන් කැමති විදිහට සිල් රෙදි බෙදිය හැකිය)  නමුත්, ‘‘මැතිවරණ කොමසාරිස් කාර්යාලය‘‘ නම් විගණනය සඳහා විගණකාධිපතිට බලය දී ඇත.    


10. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 උඋ මගින් රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අසීමිත බලයක් මැතිවරණ කොමිසමට ලැබී තිබුණි.  මැතිවරණ කොමිසමේ උපමාන, නියෝග අනුව කටයුතු නොකරන රාජ්‍ය සේවකයින්ට රු. ලක්ෂයකට නොවැඩි දඩයක්, හෝ අවුරුදු තුනක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩුවම් දෙකටම යටත් කළ හැකිව තිබුණි.  රාජ්‍ය  නිලධාරීන්, දේශපාලනඥයින්ගේ අතකොළු බවට පත්වීම වැලකුණේ මේ වගන්තිය නිසාය.  මැතිවරණ කොමිසමට දත් ලැබුණේ මේ 104 උඋ නිසාය. 20 න් ඒ බලය සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙන්නේය.  එයින් සිදුවන්නේ නැවත වරක්, සිල් රෙදි බෙදිල්ලට, පයිප්ප බෙදිල්ලට, රස්සා දීමට, ඡන්ද අල්ලස් දීමට කිසිදු බාධාවක් ඇති නොවන බවය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් වැඩියෙන්ම දුෂණය වන්නේ රාජ්‍ය දේපල අයථා පරිහරණයෙනි.  එහි පරිමාව, 2014 ඌව පළාත් සභා ඡන්දයේ දී අත් දැක්කෙමු.   සනීපාරක්ෂක තුවායේ සිට ටයර් පමණක් නොව ට්‍රැක්ටර් පවා මැතිවරණයට අල්ලස් ලෙස දුන් යුගය නැවත ඇති උට්ඨානය කිරීමට ’20 වන සංශෝධනයට‘ හැකිය. කොමිසන් සභා සාමාජිකයින්, කොමසාරිස් ජෙනරාල් පත් කිරීමෙන් මැතිවරණ කොමිසමේ කොන්ද කඩා දැමූ මැතිවරණ කොමිසමේ, හුස්ම හිර කරන්නේ 104 උඋ වගන්තිය ඉවත් කිරීමෙනි.   


පුද්ගලිකව මම බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙනවාට කැමතිය. ඒ ඔහුගෙන් ප්‍රශ්න කරන්නට හෝ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලැබෙන  බැවිනි.  මේ රටේ ද්විත්ව පුරවැසියන් අති බහුතරය, ව්‍යවහාරික භාෂාවෙන් ‘ඩයසපෝරා කාරයින්‘ ය. වෙනම රාජ්‍ය සංකල්පයට ලැදි පිරිසය.  අනාගතයේ දවසක උතුරු නැගෙනහිර ප්‍රශ්නය සාකච්ඡා කරන්නට වන්නේ, ඡන්දයෙන් පරාජයවී ගෙදර ගිය මාවෙයි සේනාධිරාජා හෝ  වැල්ලවත්තේ තෝසේ කඩේ දී හමුවන, ධර්මලිංගම් සිද්ධාර්ථන් හෝ අළුත්කඩේ දී හමුවිය හැකි සුමන්දිරන් සමඟ නොව,  20 වන ව්‍යවස්ථාවෙන් ඡන්ද බලය හිමිවන ජිනීවා හි ඩයසපෝරා සාමාජිකයෙකු සමඟ විය හැකිය.  මේවාට හිත හදාගෙන 20 ට අත ඔසවන්නට පක්ෂ – විපක්ෂ  මන්ත්‍රීවරුන් හිත හදා ගත යුතුය.


19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා උඩ පිනුම්, බඩ පිනුම් ගැසූ සිවිල් ක්‍රියාකාරීන්, විශේෂයෙන්ම මැතිවරණ නිරීක්ෂකයින් ගොළුවන් – බිහිරන්, කරන්නට 20 ව්‍යවස්ථා කෙටුම්පත සමත් වී තිබේ. එය රටේ නීතිය බවට පත් වූ විට ඇති වන තත්වය ‘පානා හීය, පානා කෙදිරිල්ලෙන්ම‘ ම දැනෙන්නේය.  


20 සංශෝධනය සම්මත වන්නේ නම්, මැතිවරණ කොමිසමේ ගලිවර්ලා ද, එලෙසින්ම සුවච කීකරු පූස් පැටවුන් වීම වලක්වා ගත නොහැකි වනු ඇත.  අප ඉදිරියේ ඇති අභියෝගය මැතිවරණ විෂය සම්බන්ධයෙන් අද පවත්නා, නිදහස් හා සාධාරණ බව මෙලෙසින් හෝ විනාශ නොවී පවත්වාගෙන ගන්නේ කෙසේ ද යන්නය.


මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට යාම තබා, අද පවත්නා ශිෂ්ඨත්වයෙන් හෝ පවත්වා ගැනීමට නම්, 20 පරාජය කිරීම හැර වෙනත් විකල්පයක් අනිවාර්යයෙන්ම නැත.


-රජිත් කීර්ති තෙන්නකෝන් – දකුණු හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර-


Tags: